‍යංකින්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මන්ති

යම් කිසිවක් හට ගන්නා ස්වභාව ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවය ඇත්තේ ය. මෙය ලෝක ධර්මතාවයයි. මෙහි  මාතෘකාව ලෙස සදහන් කල පාඨය බුදු රජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශණාවේදී  දේශනාකොට වදාළ ධර්ම කණ්ඩයකි. වැකිය කෙටි වූවා ට එම වැකියෙන් අති විශාල ධර්ම කණ්ඩයක් විවරණය වේ. මෙය ඉතා ගැඹුරු ධර්මයක් විග්‍රහ වන හෙයින් ඒ සම්බන්ධව  දක්වන අර්ථ නිරූපණය විවිධ විය හැක. විෂම විය හැක. එහෙත් බුදුරජාණන් වහන්සේ විවෘත කළ අර්ථ නිරූපණයට සමීප වීමට දක්වන ප්‍රයත්නයන් වේ. සදොස් නම් සාවද්‍ය නම් විග්‍රහය විකෘති වී ඇත්නම් කීමට ඇත්තේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකථං වශයෙන් බුදුන් වහන්සේගෙන් පමණක් ක්ෂමාව ඇයැද සිටීමයි. වෙනත් අයගේ ගුණ දොස් කිසිවක් කෙරේ කිසිම සැලකිල්ලක් නොදැක්වේ. ඊට හේතුව සබ්බේ ප්‍රතඃජනා උන්මත්තකයා යන බුදුවදන අනුව ප්‍රතඃජන අය දක්වන අදහස් විවිධ මත වල නිශ්චිත වලංගුතාවයක් නොවන නිසයි.

බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිලිබදව දේශනාවේදී සමුදය සත්‍ය. නිරෝධ සත්‍ය වශයෙන් දුක ඇති වීමට හේතුවත්, දුක නැති කිරීම ගැනත්, වශයෙන් අනිත්‍ය ධර්මතාවය වශයෙන් ඇති වීමත් ඒ සමගම නැති වීමත්, සදහන් කර ඇත. බුදුන් වහන්සේ දුක ඇති වීමට හේතු වශයෙන් දේශනා කොට වදාළේ තෘෂ්ණාවයි. තණ්හාවයි.මෙය ප්‍රබේද වශයෙන් 108කින් විස්තර වී ඇතත් මෙතනදී අප සාකච්ඡා කරන්නේ ලෝක ධර්මතාවය වන ඇතිවීම, නැති වීමේ ස්වභාවය සම්බන්ධයෙනි. යමක ය, යුගල සිදුවීමක් ය. මෙය ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවය නොව දුකක් ඇතොත් ඊට ප්‍රතිවිරුද්ධ වූ සැපක් ඇත. උපතක් වෙතොත් මරණයක් ඇත. ආදී වශයෙන්‍ ය. අනිත්‍ය ධර්මයේදී ඇති වීමත් සමගම නැති වීමත්ද සිදු වේ. විශ්ව නිර්මාණයේදී ලෝපතල විද්වතුන් විසින් විශ්වයේ හටගැන්ම මෙන්ම විනාශයද, නැතහොත් විශ්වයේ උපත හා විපත ගැනද එය ක්ෂණයක් පාසා සිදු වන බවද, භෞතික උපකරණ භාවිතයෙන් අනාවරණය කරගෙන ඇත. බුදුන් වහන්සේ විද්වත් මතය ඉක්මවා යමින් යමක් හෝ යමෙක් ඇති බවට දක්වන මතය බැහැරකොට යම් විශ්ව ශක්තියක ක්‍රියාකාරීත්වය ලෝකධර්මතාවය පැහැදිලි කර ඇත. නූතන විද්‍යාඥයෝ බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමට එකගව සමීප වෙමින් යම් යම් උපකරණ (කොස්මිස් කැමරාව) ආශ්‍රයෙන් යමක්, යමෙක් නැති බව ප්‍රකාශ කරමින් සිටිති.

ඇති වන සෑම දෙයක්ම ඒ ක්ෂණයෙන්ම නැති සුළු බවය. මෙහි සෑම දෙයක්ම කී විට යම් දෙයකට හෝ යම් සත්ව, පුද්ගල සංඥාවකට වැටීමකට ඉඩ ඇත. එය භෞතික වාදයයි. බුදු දහම ගොඩනැගී ඇත්තේ අනාත්මභාවය (ආධ්‍යාත්මිකභාවය) තුලින්‍ ය. බුදු දහම සත්ව, පුද්ගලභාවයක් ගැන් නොකියයි. ඒ වෙනුවට ඇත්තේ හේතුඵල වාදයයි. අවිද්‍යාව හේතු වනවිට එයට ප්‍රත්‍ය වන්නේ සංකාරයයි. පටිච්ච සමුප්පාද ධර්මතාවයක් ක්‍රියාත්මක වීමක්‍ සිදු වේ. මෙය පංච ස්කන්ධ‍යක ක්‍රියාකාරීත්වය යි. මෙහිදී පංච ස්කන්ධ‍ය යනු පුද්ගල සංඥාවක් නොවන බව පේණ/පිණ්ඩුක සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කර ඇත. එහි දක්වා ඇති අන්දමට රූපය පෙණ පිඩකි, වේදනාව දිය බුබුලකි, සඤ්ඤාව මිරිගුවකි, සංඛාර කෙසෙල් බඩයකි, විඤ්ඤාණ මායාවකි. සඤ්ඤාව යනු හදුනා ගැනීමයි. අප දෙයක් හෝ කෙනෙක් කියා යමක් හදුනා ගන්නේ නම් අප මුලා වී ඇත. ඊට හේතුව සඤ්ඤාව මිරිගුවකට උපමා කර ඇති හෙයින්‍ ය. මිරිගුව තුල දෙයක් නැත. දෙයක් ඇත යන මිත්‍යාවටය රැවටීමකටය අප භාජනය වන්නේ, විඤ්ඤාණය මායාවකට උපමා කර ඇත. එයද අප මුලා කිරීමකි, මේ අන්දමට සත්ව, පුද්ගල, රූප, සඤ්ඤාව පෙණ පිඩකි, වේදනාව දිය බුබුලකි ඒවායේ පැවතීමක් නැත. මුලාවක් පමණයි. මෙය ඉතාම සරල නිදර්ශනයකින් පැහැදිලි කර ගත හැකිය. අප නිසල ඡායාරූප දැක ඇත්තෙමු. කැමරාවකින් එ වනි ඡායාරූප රාශියක් ලබාගෙන එය ප්‍රොජෙක්ටරයකට දමා ක්‍රියා කරන විටක එම ඡායාරූප චලන රූප බවට පත්වේ. රූපවාහිනියේ එවැනි චලන රූප දැකිය හැක්කේ වීඩියෝ යන්ත්‍ර මගින් රූප ගතකර තිරයේ වැටීමට සැලැස්වීමෙනි. චිත්‍ර පටියක පුළුල් තිරයේ පුද්ගලයින් සිටීද එම තිරයේ දර්ශනයවන්නේ පුද්ගලයින්ද? නැත එය ඡායාවන්‍ ය. එහි සත්ව, පුද්ගල සංඥාවක් නැත. චිත්‍රපටි ශාලාවක තිරයේ වැටෙන ඡායාරූපත් ඒ හා සමානය. මන්ද කැමරාවක ඇසත්, අපගේ කළු ඉන්ගිරියාවත් එකම කාර්‍ය් කරයි. ඒ නිසාම පංචස්කන්ධයේදී රූප ලෙස හදුන්වා ඇත්තේත්, ඇසට වැටෙන්නේත් රූපයයි. මේ රූප වල සත්ව, පුද්ගල සංඥාවක් නැත. මීළගට සරල නිදසුනක් ඔබේ අවදානයට යොදවමි. මෙයින්ද අදහස් කරන්නේ යංකිච්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං යන පදය පැහැදිලි කර ගැනීමක්‍ ය.

ආත්මවාදයෙන් දෘෂ්ඨි ගත වී සිටි පස්වග තවුසන්ට එම ධර්මය ක්ෂාත්සාත් කර ගැනීමට මාස ගණනාවක් ගත වූ බවට සදහන් වේ. අපගේ බහුස්‍රැතිභාවය, අපගේ දැනුම, අපගේ උගත්කම, අපට සත්‍යාවබෝධයට හරස් වීමට බොහෝ ඉඩකඩ ඇත. පෝටිල හිමිට සිදු වූයේ එයැයි. බුදු වදනින් අවදි වූ පෝටිල සත් වයසැති රහත් බවට පත්ව සිටි සාමණේරහිමි නමකගෙන් කමටහන් ලබා ධර්මය ක්ෂාත්සාත් කර ගැනීමට සමත් විය. ඒ අනුව පුද්ගල තරාතිරමෙන් අපට වැඩක් නැත.

අනිත්‍ය ධර්මතාවය අවබෝධය සදහා බුදුන් වහන්සේ දේශනා කලේ බඹයක් පමණ වූ තව පූතිකාව දෙස බලන ලෙසය. නාම රූප වල අනිත්‍යතාවය නිසාමය මවුකුසින් උපන් ළදරුවා ළමයා බවටත් ක්‍රමයෙන් වෙනස් වී මහල්ලා බවටත් පත් වූයේ නාම කොටසත් රූප කොටසත් ඒකාකාරව වෙනස් නොවී විවිධ අංග යටතේ වෙනස් වූයේ. මෙයින් පසක් වන්නේ සිතිවිලිවල ගලායෑමක් නැති බවත්, රූප වල ගලා යෑමක් නැති බවත්‍ ය. මේවා එකකට එකක් වෙනස් වන බව පසක් වේ. නාම රූපවල ක්ෂණයක් ක්ෂණයක් පාසා කැඩි කැඩී සියලුම නාම රූප පැවති ඒවාට වඩා වෙනස්‍ ය. අප ව්‍යවහාර කරන අන්දමට මේරූ නැතහොත් පැසුණු නාම රූප ඇති වන බවත් පසක් වේ. මෙහිදී ධර්ම ග්‍රන්ථවල අඩංගු වන  ධර්මය අනුව චිත්තක්ෂණ 17ක් එක් රූප කලාපයක් ලෙස සලකා ඇත. මේ සම්බන්ධව ගැඹුරින් අධ්‍යනය කිරීමට අවශ්‍ය නැත. බුද්ධධ‍ර්මය, ස්වාක්ඛාතය, සන්දිට්ඨිකය, අකාලිකය, ඒහි පස්සිකය, ඕපනයිකය, පච්චත්තං වේති තබ්බෝය.

බුදුන්වහන්සේ යම් යම් අයට ධර්මාවබෝධය කරවීම සදහා විවිධ උපක්‍රම, උපමා, නිදර්ශන, යොදා ගත්බව ධර්මයේ සදහන්ව ඇත. අප විසින් අපගේ මානසික තත්ත්වය නිවරදිව පලමුව අවබෝධ කරගත යුතුය. අප තුළ ඇති දහසකුත් එකක් කෙලෙස් ධ‍ර්ම හදුනා ගත යුතුය. ඒවා මතුවීමට, වැඩීමට, ඉඩ නොදීමට අවදියෙන් සිටිය යුතුය.

පංචස්කන්ධය අප කවුරුත් භවයට ගෙන යාමට කටයුතු සිදුකරයි. චුති චිත්තයන් සමග සකස් වී ඇති පංච උපාදානස්කන්ධය ඊලග භවය ඇති කරයි. සඤ්ඤාවක් ඇති වීමත් සමග එම සඤ්ඤාව ඇසුරුකොට විඤ්ඤාණය උපදී. පැවති සඤ්ඤාව නිරුද්ධ වේ. සඤ්ඤාවක් තිබියදී තවත් සඤ්ඤාවක් නූපදී, සඤ්ඤාව නිරෝධ වීමත් සමගම එකී නිරෝධ වූ  සඤ්ඤාවෙන් විඤ්ඤාණය හට ගැනීමට පැවති විඤ්ඤාණයද නිරුද්ධ වී තවත් විඤ්ඤාණයක් ඉපද විය යුතුය. නිරෝධ වූ  සඤ්ඤාවත් එයින් හට නොගත්  විඤ්ඤාණය අතර කාලයක් නැත. අකාලිකය. අකාලික වූ තැන සත්ව පුද්ගල සඤ්ඤාවක්  නැත. මෙය ඉතාම ගැඹුරින් විමර්ශනය කරනවිට සත්වයෙකු පුද්ගලයෙකු නැති බව පසක් වේ. එය විමුක්තියයි. උපාදානය නොකරන තැන උපතක් නැත. මරණයක් නැත. කෙනෙකු ජීවත්වෙනවා යනු කාලය ගමන් නොකර රැදී තිබීමයි. සිහියෙන් හොදින් විමර්ශනය කරන්න. එහෙත් කාලය නැවැත්විය නොහැක. කාලය රැදිය නොහැක. ඒ අනුව උපන් කිසිවෙකු ජීවත් වෙනවා යැයි කිව නොහැක. එසේ සිතීම මුලාවකි. එසේනම් සිදුවන්නේ කුමක්ද? මෙයට උත්තරය නම් යංකිච්චි සමුදය ධම්මං- සබ්බංතං නිරෝධ ධම්මං…..යන්නයි. එනම් ඇතිවීමත් සමග නැතිවීමයි. සඤ්ඤාව ඇති වී එයින් විඤ්ඤාණය හට ගනී. සඤ්ඤා ඇති වී ඒ ක්ෂණයෙන්ම නැතිවේ. සඤ්ඤාව නිසම විඤ්ඤාණය හට ගනී. විඤ්ඤාණයද නිරුද්ධ වේ. නැවත හටගන්නා සඤ්ඤාවෙන් විඤ්ඤාණය හට ගනී. මෙයයි පුනර්භවය.

නැති වූ සඤ්ඤාවෙන් ඇති වූ විඤ්ඤාණය ඇති වන්නේ නැති වූ විඤ්ඤාණයට පසුව එන විඤ්ඤාණය තුලටය. මෙම ක්‍රියාවලිය අඛණ්ඩව ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදු වේ. මෙහි කැඩි කැඩි යන සිතිවිලි අතර කිසි නාමරූප, පච්චායා, සලායතන, සලායතන වලින් විඤ්ඤාණය උපාදාන නොකරන විටක බවය හට නොගනී. මෙය ගැඹුරු විමර්ශනයකින්ම කලයුතු කාර්යකි.

තුම්මෙහි කිච්චං ආත් ජතං අක්ඛාතාරෝ තථාගත..

මේ සම්බන්ධව තව දුරටත් විමර්ශනය කරමු. ශාක වල ස්වභාවයත් සත්වයින්ගේ ස්වභාවයත් සලකන විට ශාක වලද විඤ්ඤාණය හැර අනිත් ස්කන්ධ හතරම පවතී. ශාක තම වර්ගයා පවත්වාගෙන යාමට බීජ මුදා හැරීම, ශාක වලින්ම ශාක ඇති කිරිම, මුදා හරින බීජ විනාශ කිරීමෙන් ඒවායේ පැවැත්ම අවසන් වේ. ශාක වලින් වර්ගයා ඇති කිරීමද, ශාක විනාශ කිරීමෙන් අවසන් වෙයි. ශාක වල න්‍යාය ධර්මය සියලුම අන්දමින් සලකන විට සත්ව කොට්ඨාස වල න්‍යායධර්මයට සමානය. මනුෂ්‍යයා ගත්කල, මවු කුසින් බිහි වී මහලු වියට පත් වීම දක්වාම ක්ෂණයක් ක්ෂණ‍යක් පාසා වෙනස් වී ඇති වීමත් සමගම නැති වීමේ න්‍යාය ධර්මය නිසාය ළදරුවා මහල්ලා බවට පත් වූයේ. ශාක වල න්‍යාය අධ්‍යනය කරන විට එකී තත්වයම සිදු වේ. බීජයක් රෝපනය වී විශාල ගසක් බවට පත්ව මැරී වැටෙයි. එක් එක් ශාක වල පැවැත්ම සිදු වන්නේ විවිධාකාරවය. සත්ව කොට්ඨාශ වලද එසේය. මදුරුවාගේ ආයුෂ උපරිම දින 07 ක් බව සොයා ගෙන ඇති අතර සමහර සත්ව කොට්ඨාශ අවුරුදු සියගණනක් ජීවත් වන බව සොයාගෙන ඇත. එහෙත් සෑම සත්වයෙක්ම සංකිංචි සමුදය සබ්බත්තං නිරෝධ ධම්මං යන න්‍යාය ධර්මයට යටත්‍ ය. මෙහි කෙලවරක් නැත.

යමෙක් මෙම සත්වයාගේ න්‍යාය ධර්මය වන ඇති වීමත්, නැති වීමත්  නැවත නැවත මෙම ක්‍රියා පද්ධතිය නැතහොත් පුනර්භවය අවසන් කිරීමේ මාර්ගය සොයා ගනීද, ඒ බුද්ධය ස්වයං මහා ප්‍රඥාව තුළින් සොයාගන්නා උතුමා ලොව්තුරා බුද්ධය. එවැනි කෙනෙකුගේ මග පෙන්වීමෙන් එකී මාර්ගයෙන් යමෙකු ප්‍රථිපල ලබයිද ඒ උත්තමයා අරහත් බුද්ධය. ලොව්තුරා බුදුන් වහන්සේ විවෘත කරන්නේ චතුරාර්‍ය සත්‍යය යි. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග වශයෙන් එම සත්‍ය හතරෙන් මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ලෝකය දුක පදනම් කරගෙන සකස්වී ඇති බැවින් ලෝකයෙන් මිදීම යනු දුකින් මිදීමයි. දුක නැති තැන ලෝකයක් නැත. සමුදය යනු දුක ඇති වීමේ හේතුවයි. නිරෝධය යනු දුක නැති කිරීමයි.

මෙහිදී අප සාකච්ඡා කරන්නේ මනුෂ්‍යයා කේන්ද්‍ර කරගෙනය. මනුෂ්‍ය ආත්මයක් ලැබූ අය භාග්‍යවන්තයෝය. මන්ද අනන්ත අප්‍රමාණ කාලාන්තරයක් විවිධ ආත්මයන් උත්පත්තිය ලබා මනුෂ්‍ය ආත්මයක් ලැබීම තුලින් මේ සියල්ල අවබෝධ කර ගැනීමටත්, දුකින් මිදීම භවගමන අවසන් කිරීමටත්, මනුෂ්‍ය ආත්මයේදී පමණක් හැකි වීම නිසයි, ඊට හේතු වී ඇත්තේ සෑම සත්වයෙක්ම උපන් ආත්ම භාවය උතුම්කොට සලකා එය රැක ගැනීමට හැම උත්සාහයක්ම දරයි. තත්‍ර තත්‍රාහි නන්දති ජරාව ආහාරයට ගන්නා ඌරාට කතා කොට ජරාව නොකන හොද ආහාරයක් ගන්නා ආත්මයක් ලැබීමට ඌරුබාවයෙන් නිදහස් කරන්නදැයි ඇසුවොත් ඌරා ඊට කිසිසේත්ම එකග නොවේ. ඌරාට ඌරු ආත්මභාවය ප්‍රියය. මේවායේ ස්වභාවය වටහාගත හැක්කේ මනුෂ්‍ය ආත්මභාවයේදී පමණය.

අප මරණය වශයෙන් සලකන්නේ ප්‍රාණය නොහොත් චුති චිත්තය නිරුද්ධ වී වෙනත් ආත්මයක් ලැබීම මතය. එහෙත් සෑම සත්වයෙක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා මියයනබව වටහා ගැනීමට අපහසු වී ඇති අවබෝධ කරගැනීම දුෂ්කර වී ඇත. මීට පූර්වයෙන් ශාක සත්ව අනිත්‍යභාවය විස්තර කලේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරි මැරී උපදින අන්දමය. සත්වයා ක්ෂණයක් ක්ෂණයක් පාසා මැරි මැරී උපදින්නේ තෘෂ්ණාව නිසා බව ප්‍රකාශ කල බුදුන් වහන්සේ තන්හක්ඛය නොහොත් ආසවක්ඛය තුළින් මෙම ක්ෂණික මරණයත්, සම්මත මරණයත් අවසන් කල හැකි බවත්, ඒ තුළින් අමරණීය විය හැකි බවත්, ප්‍රත්‍යක්ෂ කොට විවෘත කල සේක. මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඇතත් ඒවා තවත් අවස්ථාවකදී සාකච්ඡා කරමු.

නීතිඥ

බී.සුමිත් අමරසිරි

බදුල්ල.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *