වෙනස් වන දේ වෙනස් වේය සැමවිට…
නොවෙනස්ව පවතින සිත වැදගත් වේය සදහට…
දිවිය තිබෙන තුරු හැමවිට…
නමස්කාර කරමි.. අත මුඳුනින් උතුම් සම්බුදු සමිඳුන්ට…
පෘථිවිතලය මත අපි ජීවත් වෙමු. නොයෙක් භාෂාවන් මාධ්‍ය කොටගත් මනුෂ්‍ය කණ්ඩායම් සිටිති. ඒ ඒ සංස්කෘතීන්ට හැඩගැසුණු චරිත ලක්ෂණද ඇත. ගස් වැල්, ගංගා ඇළ දොළ, සමුද්‍රයන්ගෙන් සමන්විත පෘථිවි තලය තුල තවත් සිව්පාවුන්, උරගයින්, පක්ෂීන්, කෘමීන්, ක්ෂුද්‍රජීවීන් මෙය වාසස්ථානයක් කර සිටිනු පෙනෙයි. එහි ජීවත් වන අපද විටෙක මහා උවදුරුවලට ලක් වෙමින් මේ මාගේය යන හැගීමෙන් කාලය ගෙවා දමයි.
පෘථිවිය ස්වභාවික සම්පතින් පරිපූර්ණයි. ගස්, වැල්, මල්, ඵල දරයි. ඇත්තෙන්ම පෘථිවිතලය සෞභාග්‍යමත් ය. එහි ඇති සෞභාග්‍ය විදගන්නේ දෙවියන් වහන්සේගේ ලැබුණු මහා දායාදයක් ලෙසටයි. කෙසේ වෙතත් එහි සෞභාග්‍යමත් පැතිකඩක් සේම විටක නායයෑම්, සුළි සුළං, සුනාමි, ගිනිකදු, පිපිරීම්, භූමිකම්පාවෙන් මහත් විනාශ ඇති වේ. නැතහොත් නොයෙක් ඇන කොටා ගැනීම්, උද්ඝෝෂණ, යුද්ධ වැනි විනාශයන් ය. ඒවා කලින් කලට මුහුණ දෙන ගැටළුය.
පෘථිවියේ පිහිටීම ප්‍රදේශ, ප්‍රදේශ වලට විවිධයි. ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් අතර සෞභාග්‍යමත් රටක් නමුත් අභ්‍යන්තරයෙහි එකිනෙකට වෙනස් වූ ප්‍රදේශයන්ගෙන් යුක්තයි. ශීත, ශුෂ්ක, අර්ධ ශුෂ්ක ලෙස වර්ගීකරණයක් ද වේ. එසේම මෙම පෘථිවිය මහද්වීප, දූපත්, සාගර, කදු ප්‍රදේශ, කාන්තාර ප්‍රදේශයන්ගෙන්ද යුක්තයි. මෙහි ඇතැම් ප්‍රදේශ වල දුෂ්කරතා නැත. සංවර්ධිතයි. නමුත් සාගින්නේ දුක් විදිනා ජන කොට්ඨාශද එමටයි. සංවර්ධිත ලෙස හැදින්වෙන රටවල් වල වෙනත් ගැටුම් ඇතත් අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සදහා සම්පත් අධිකයි. අතිරික්තයි.
මා ඉහතින් දැක් වූ සියල්ලටම උරුම කියන්නේ මේ මනුෂ්‍ය සත්වයායි. නමුත් තමන්ගේ බලයෙන්, තේජසින්, මුදලින් මමත්වය නිසාම පෙර කියූ ස්වභාවික විනාශය ලෙසම ඔවුනොවුන්ද මහා විනාශයක මුව අභියසට ළං වෙමින් සිටිති.
අසංඛ්‍යෙය කප් ලක්ෂ ගණන් පාරමී පුරමින් බුදුරජාණන් වහන්සේලා 28 නමක් පහළ වූවත් ඒ උතුම් නිර්මල ධර්මය කන වැටෙන ආරක්ෂා කරන ජන කොට්ඨාශ අල්පයයි. ඒ අතරින් සත්‍ය ධර්මය සැබෑ යථාර්තය හදුනන පිරිස නැති තරම් ය. වර්තමාන ලෝකය මහා විනාශයන්ට ගොදුරු වෙමින් මිනිසාද ඒ රුදුරු සොබාදහමට සමාන වෙමින් තිරිසන් ලෙසම ඇනකොටා ගන්නා කාලයකි. ඒ තරමටම පිරිහෙමින් පවතී. ධර්මය කියා රකිනා පිරිස අතරද විශ්වාසයක් ගොඩනගා ගැනීමට අසීරුයි.
එවැනි… මෙවැනි කාලයක බුද්ධ සභා මණ්ඩපය කියන වචනාර්ථය පවා මා හට නම් නැවුම් පැන් පොදකි. එසේ නම් තවත් වසර 5කින් 10කින් 50කින් 100කින් 400කින් 800කින් කෙසේ වේද? අද දවස තුළ තමන්ගේ දෛනික කාලය ගෙවෙන්නේ කෙසේද යන්නවත් සිතා ගැනීමට නොහැකි සමාජය ඒ තරම් දුරක් නොහිතන්නේ තම තමන්ගේ අවාසනාවටයි.
බුදු රජාණන් වහන්සේ කෙනෙකු ලොව පහළ වී ධර්මය දේශනා කරන විට ඒ ධර්මය අසන්න තමන්ගේ සිත දමනය වී තිබිය යුතුයි. කෙසේ හෝ ඒ බුදු මග අනුගමනය කරමින් සිටිය යුතුයි. නැතිනම් කෙසේ රහත් වන්නද?
බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදිම මඩෙහි හැදී වැඩී මඩ නොගෑවුණු නෙලුම් මලක් සේම ප්‍රඥාවන්තයාද මේ මහා දුකින් මිදෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනී. එවැනි වූ ප්‍රඥාවන්තයා සිතීමෙහි වෙනස නිසාම යහපත්ව වාසය කරමින් තවත් කෝටි ප්‍රකෝටි පිරිසකට රැකවරණය ලබා දෙයි.
විවිධත්වයෙන් යුතු මේ පෘථිවි තලය මොහොතක් මොහොතක් පාසා වෙනසකට නතු වෙයි. ඒ වෙනස පවා හදුනා ගැනීමට නොහැකි වූ අකාරුණික පිරිස නිරන්තරයෙන් මහා විනාශයන් කරා දිනෙන් දින ඇදී යන්නේ මුළු මහත් මිනිස් සංහතියම අගාධයකට තල්ලු කරමිනි. එසේ නම් විනාශය සමග විනාශ නොවන සිතක් අපහට තිබිය යුතුය. සිතෙහි විනාශය මේ පෘථිවි තලයෙහිම විනාශයයි. එහි වේගය අඩු වීමට නම් අකුසලයෙන් මිදී කුසලයෙහිම යෙදීමට උත්සුකවන්න.