කළණ මිතුරෙකුගේ අගේ… නිති සග මොක් සුවය ලැබේ…

කළණ මිතුරෙකුගේ අගේ... නිති සග මොක් සුවය ලැබේ...

එක්තරා වෙළද කණ්ඩායමක පුද්ගලයෙකුට තාපසයෙකු  මුණ ගැසී තොරතුරු විමසා ඔහුගෙන් එක්තරා සීලයක් සමාදන් ව එය පිළිබදව දැඩි ඇල්මෙන් ගෞරවයෙන් යුක්තව එයම මෙනෙහි කරමින් සිටියදී තම කණ්ඩායම සමග වෙළදාම් කිරීමට යාමට මහ මුහුදේ නැවක නැගී යාත්‍රා කිරීමට සිදුවිය. මේ පුද්ගලයා නැව් නැගී යන අතරමගදී මහ මුහුද මැදදී යාත්‍රාව අනතුරකට ලක් විය. යාත්‍රාවේ පතුලේ සිදුරකින් මුහුදු ජලය ටිකෙන් ටික අතුලට කාන්දු විය. මුහුද මැද සිටි ඔවුන්ට කිසිවක් කරකියා ගත නොහැකි වූයෙන් අඩමින් දොඩමින් යාඥා කරමින් සියලු දෙවියන් යදින්නට වූහ.

එහිදී ඉහත සීලය සමාදන් වූ පුද්ගලයා පමණක් සන්සුන්ව නිසොල්මන්ව තම සීලය පිළිබදව මෙනෙහි කරමින් පසෙකට වී සිටියේය. මොහුගේ මේ හැසිරීම අන් අයටද පුදුමයක් විය. ඇතැමෙක් ඔහු අසලට ලං වී මේ පිළිබද විමසා බැලූහ. “මහත්මයාණෙනි, මේ මහා විපත් අවස්ථාවක ඔබ පමණක් මෙසේ සන්සුන්ව භාවනාවකට මෙන් සම වැදී සිටින්නේ ඇයි? බලන්න මේ සියලු දෙනාම මහත් විපතකට පත් වෙලා අඩු තරමින් කෑ ගසන්නේවත් නැත්තේ ඇයි?”

ඉහත පුද්ගලයා පිළිතුරු දෙමින් “පින්වත, මේ මොහොතේ කෑගැසීමෙන්/ උදව් ඉල්ලීමෙන්/ දෙවියන් යැදීමෙන් හෝ කුමක් කලක් පලක් නැත. අප සියලු දෙනාම මරු වසගයට යාමට ඇත්තේ තවත් එක් මොහොතක්ම පමණි. මා මෙම ගමන එන්නට පෙ‍රාතුව එක්තරා ශීලයක් සමාදන් විය. මා එහි පිහිට පතමින් එයම සිහිපත් කරමි. එන්න ඔබලාටත් එය කියා දෙන්නම්.”

කරුණු වටහාගත් මේ පිරිස අදෝනා සියල්ල නවතා දැමූහ. එහෙත් එම නෞකාව තුළ එක්වරකට මේ ධර්මය ඇසීමට හැකි වූයේ සිය දෙනෙකුට පමණි. මුල්ම කණ්ඩායමට එය කියා දෙන විට ඔවුන්ගේ විලුඹ තෙක් දියෙන් පිරී තිබිණ. ඔවුන් එම ධර්මය අසා මෙනෙහි කරමින් භාවනාවේ යෙදුණහ. දෙවන කණ්ඩායම එය ශ්‍රවණය කරන විට දණහිස් දක්වා දියෙන් පිරී තිබිණ. තුන්වන කණ්ඩායමට එය ශ්‍රවණය කිරීමට ලැබුණේ උකුල දක්වා දියෙන් පිරුණ විටය.ඔවුහු එම දහම වහ වහා අවබෝධ කරගත් හ. හතරවන කණ්ඩායම උදරය දක්වා දියෙහි ගිලෙමින් එම දහම වටහා ගත් හ. පස්වන කණ්ඩායම පපුව දක්වා දියෙන් වැසී සිටද, හයවන කණ්ඩායම ගෙල දක්වා දියෙන් වැසී සිටද, හත්වන කණ්ඩායම නාසය වතුර ලං වන්නට ඔන්න මෙන්න තිවියදී ධර්මයට සවන් දුන්හ. මේ ආකාරයට මේ හත්සිය දෙනාම තවත් මොහොතකින් මරු තුරුළට ගියහ.

ඒ ක්ෂණයකින්ම සියලු දෙන දෙව්ලොව උපන්නහ. එයද එක් එක් මට්ටම් අනුව සිදුවිය. පළමු දෙවන හා තෙවන කණ්ඩායම් වලට දහම් මෙනෙහි කර ගැනීමට වැඩි කාලයක් තිබිණ. අන්තිමට යන විට සුළු කාලයක් ඉතිරි වූ බැවින් ඔවුන් එම දිව්‍ය තල වල අල්පේශාක්‍ය, මහේශාක්‍ය තත්වයට පත් වූහ. කෙසේ වෙතත් ඔවුන් තමා මෙතනට කෙසේ පැමිණේදැයි, සාකච්ඡා කරමින් තමාට උපකාර කළ පුද්ගලයා නිසා එසේ වූ බැව් දැන ඔහු සොයා ගියහ. ඔහුද ඒ දිව්‍ය තල හතටම ඉහල උසස්ම දිව්‍ය තලයක වැජඹෙමින් සිටියේය. මේ දෙවියන් 700යම බුදුන් වහන්සේ සමීපයට මධ්‍යම රාත්‍රියේ පැමිණ කල්‍යාණ මිත්‍රයෙකුගේ මැදිහත් වීම නිසා ඔවුන් මෙම සම්පත්තීන් වලට පත් වූ බවත්, කලණ මිතුරෙකුගේ වටිනාකම මෙතෙකයි කියා නිමකළ නොහැකි බවත් එක් එක් දෙවියා බුදුන් වහන්සේට වෙන වෙනම කරුණු කියන්නට විය.

අප වත්මන් සමාජයට මෙම කතා පුවත ඉතා වැදගත් වේ. අප කල්‍යාණ මිත්‍රයෙකු යැයි හදුන්වන්නේ කවුරුන්ද? ඇතැම් විට අප හා දුකේදී දුක් වන, සැපේදී සතුටු වන අපට නිතරම උපකාර කරන කෙනා විය හැකියි, අප හා සහායට දුක් නොවුණ, සහායට සතුටු නොවුණ, අපේ වාසියට හේතු නොවුණ, ඔහු/ ඇය අපට එපා විය හැකිය. අනෙක් අය පොදුවේ නොකරන දෙයක් කරන කෙනා පිස්සෙකු සේ සැලකිය හැකිය. ඉහත නෞකාවේ සියල්ලන් හඩා වැළපෙද්දී එක් පුද්ගලයෙකු පමණක් සන්සුන්ව සිටීම දැක්විය හැකිය.

ඒ නිසා නියම කළණ මිතුරා හදුනා ගැනීමට මදක් පමා විය හැකිය. මන් ද ඔහු බාල වැඩ නොකරන නිසාවෙනි. සමහරවිට ඔබට වැඩිපුරම තරවටු කරන්නේ, දඩුවම් දෙන්නේ ඔබේ හොදම කළණ මිතුරා විය හැකිය. එවැන්නන් අද සමාජයේ ඕනෑ තරම් දැකිය හැකිය. බෝසත් ගමන් මගක ගමන් කරන ඔබටත් මටත් සත්‍ය ලෙසම නියම කල්‍යාණ මිතුරන් කොතරම් හමු වී තිබේද? ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරන්න. ඔවුන් අටලෝදහමෙහිදීද කම්පා නොවණු ඇත. ඔබට නිවන් මග පසක් වේවා…

සාධු… සාධු… සාධු…!

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *