නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා… පෙරුම්දම් පුරා නිවනට යන්නා…

නිසි අරුත් දැන දහමේ සැරිසරන්නා... පෙරුම්දම් පුරා නිවනට යන්නා...

“ඔබ දහමෙහි හැසිරෙන්නේ ඇයි?” කියා යමෙක් ඔබෙන් ඇසුවහොත් ඔබ ඊට දෙන පිළිතුර කුමක්ද? දැන් මීට පිළිතුරක් ඔබ ඔබේ සිත තුළ ගොඩනගා ගන්න. බොහෝ විට ඔබේ පිළිතුර “නිවන් දැකීම සදහා” විය යුතුය. සිතන්න… නිවන යනු කුමක්ද? දකින දෙයක්ද? එවිට ඔබ පවසාවි “නැත එය තමාම ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්” කියා හොදින් සිහි තබා ගන්න. සත්‍ය වශයෙන්ම “නිවන” කියා දෙයක් නොමැත. එසේ නම් දහමෙහි හැසිර මෙලොව නොමැති දෙයක් ලබා ගන්නේ කෙසේද? ඔබ මෙතරම් වෙහෙසෙමින් කැපවෙන්නේ මෙලොව නොමැති දෙයක් වෙනුවෙන් නොවේද? එය කෙතරම් නිශ්ඵලද? නිවන යනු පරමාර්ථ අර්ථයකි. දියෙහි ඇදි ඉරක් මෙන් නිවන යනු ඇත්තෙත් නැති නැත්තෙත් නැති දෙයකි. යමෙක් දියෙන් ඉරක් ඇන්දහොත් එය බොහෝ වෙලාවක් නොපවතී. එසේම එය තවත් කෙනෙකුට පෙන් විය නොහැක. තමා ඉරක් ඇදි බවද සැබෑවකි. නමුත් එය දන්නේ තමා පමණි. තමා ඇදි ඉර මොහොතකට හෝ ඉදිරියේ දර්ශනය වූ බවද සත්‍යයකි. එහෙත් ඒ ඉර තවත්‍යෙක් දැකීමට පෙර නැති වී යන්නාක් මෙන් සෙසු පෘතග්ජනයා නිවන ප්‍රත්‍යක්ෂ කරගත් උත්තමයාව කෙසේ නම් හදුනා ගන්නද?

එසේත් නැතහොත් සියළු අකුසල් ඉවත් කරගන්නා වූද, ඉදිරි භව වලට ගෙන යන්නට සියළු පව්, පිං නැති කරගත්තා වූද හිස්තැන නිවන වේ. ඉතින්… නැති නිවනක මොනවා දකින්නද? කවරක්නම් ප්‍රත්‍යක්ෂ කරගන්නද? තම ප්‍රාර්ථනා බෝධිය සඵල සිද්ධි කරගත්තා වූ උත්තම උත්තමාවියන් නම් නිවන යනු කුමක්දැයි හොදින් දනී. එහෙත් එසේ නොමැති අප සියළු දෙනාම දහම පිළිබදව සාකාච්ඡා කිරීමේදී අපගේ පරමාර්ථය සාධනය කරගැනීම තකා “නිවන” නම් වචනය භාවිතා කරයි. එසේ නම් සත්‍ය වශයෙන්ම ඔබ දහමෙහි හැසිරෙන්නේ කුමන අරමුණකින්ද? මීට බහු පිළිතුරු නොමැත. එකම පිළිතුර නම් “ඔබේ ප්‍රාර්ථනා බෝධිය ලබා ගැනීම පිණිස” යන්නයි. දැන් තවත් ගැටළුවකි. කුමක්ද ඔබේ ප්‍රාර්ථනා බෝධිය. එය ඔබගේ යටි සිත දනී. නමුදු යටි සිත මෝහයේ කඩතුරාවෙන් වසා නිරතුරුව උඩුසිත සමග කටයුතු කරන ඔබ එය නොදනී. දැන් කුමක් කළ යුතුද? සමාධි බලයෙන් යටි සිත අවදි වී ඔබගේ අනන්‍යතාව දැන ගන්නා තුරු ඔබ සිටිය යුතුද? කොහෙත්ම නැත… එය එසේනම් ඉහත ගැටළුවට පිළිතුරු දිය හැක්කේ භාවනා යෝගීන්ට පමණි. ඇතැම් විට මේ වන විට ඔබේ ප්‍රාර්ථනා බෝධිය ඔබම නිශ්චය කරගෙන ඇති නමුත් බොහෝ දෙනා ඇත්තේ ඒ ගැන අවිනිශ්චිතභාවයකිනි. දැන් ඒ අවිනිශ්චිතභාවයෙන් අපි මිදෙමු.

අද සිතම එය අරඹන්න. ඔබගේ සිත වෙනසකට බදුන් නොවන ආකාරයෙන් මධ්‍යස්ථව කලක් පවත්වා ගන්න. මෙවිට ඔබේ සිත පිළිබදව ආත්මතෘප්තියකට පත් විය හැකි මානසිකත්වයක් ඔබට ඇති වේවි. ඉන්පසුව ඔබේ සිත එලෙසම තබා ගනිමින් “මාගේ ප්‍රාර්ථනා බෝධිය කුමක්ද” කියා සන්සුන්ව ඔබගේ සිතින්ම ඔබ විමසන්න. නොසැකවම ඔබට එක් පිළිතුරක් ලැබේවි. මෙහිදී ඔබ ඔබගේ සිතට පවසන දෙය නොව ඔබගේ සිත පවසනා දෙයට සවන් දෙන්න. ඔබගේ කැමැත්ත පසෙකලා තම සිතට සිහියෙන් සවන් දෙන්න. අනතුරුව තම සිතට ප්‍රශංසා කළ මුළු හදවතින්ම එම පිළිතුර පිළිගන්න. ඔබට පහසුවෙන් පිළිතුරු සොයා ගත නොහැකි රහස්‍ය ක්‍රමය මෙයයි.

ප්‍රාර්ථනා බෝධීන් තුනකි. එනම් බුදු, පසේ බුදු, මහරහත් බෝධීන් වේ. මෙය තුන්තරා බෝධිය වේ. මම දහමෙහි හැසිරෙන්නේ උතුම් බුද්ධත්වය හෝ උතුම් පසේ බුද්ධත්වය හෝ උතුම් මහරහත් බෝධිය ලබා ගැනීම පිණිස‍යි” යන්න පැවසීමට ඔබ නියම බෞද්ධ‍යෙක් නම් ලැජ්ජාවෙන් බියෙන් පැකිළිය යුතු නැත. අපගේ උතුම් බෝසත්තුමා “මම උතුම් බුද්ධත්වය ලබා ගැනීම පිණිස පාරමිතා පුරමින් නිරතුරුව දහමෙහි හැසිරෙමි” යන්න සිතින් නිති මුමුණමින් කේෂර සිංහ රාජයෙක් මෙන් නොබිය එය මුවින් ප්‍රකාශ කරමින් ක්‍රියාවෙන්ද එම උත්තම හැගීම සපත කරගනිමින් දහමෙහි හැසිරෙන්නේ නම් ඒ උතුම් මග ගත්තා වූ අපද ප්‍රාර්ථනා බෝධියද නිසි සිහිපත් කරගනිමින් තිදොර මෙහෙයවා දහමෙහි හැසිරිය යුතු නොවේද? ඔබ තිදොර මෙහෙයවා දහමෙහි හැසිරෙන සෑම අවස්ථාවකම එම අරමුණ සිතින් මුමුණන්න. එය වචනයෙන් පවසන්න. එම හැගීමෙන් කය මෙහෙයවන්න. එයට ඔබගේ යටි සිත උතුම් ලෙස අවදි කරගැනීමට විශාල රුකුලක් වේවි. “මම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් රහත් බව ලබා ගනිමි” යන අවිනිශ්චිත වදන් මින්පසු ඔබ කිව යුතු නැත. ඔබ ගැන ඔබව දැන ගන්න. යම් දිනෙක සමාධියෙන් යටි සිත අවදි වී ඔබටම ඔබේ ප්‍රාර්ථනා බෝධිය මෙන්ම ඔබේ සංසාර පැතුම පසක් වේවි. ඒ සදහා අප සියළු දෙනාටම ශක්තිය, වාසනාව ලැබේවා!

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *