වස් විසීම

වස් විසීම

මේ වැසි කාලයයි. බෞද්ධ ඉතිහාසයේ ඇති දීර්ඝ කාලයක් තිස්සේ වැසි කාලය තුළ භික්ෂූන් වහන්සේ “වස් විසීමේ චාරිත්‍රය” පවත්වනු ලබයි. “වස් විසීම” යන්නෙහි තේරුම වැසි කාලයේ ජනපද චාරිකාවේ නොයෙදී කිසියම් ආරාමයක වැඩ සිටිමින් කල් ගත කිරීමයි. පැරණි භාරතයේ බොහෝ ශ්‍රමණ පිරිස් චාරිකාවේ යෙදෙමින් ආගමික ජීවිතයක් ගත කළහ. එය ගිහි පිරිසගේ ජීවිත සැපවත් කරනු සදහා වූ උතුම් මෙහෙවරක් විය.

බුදු සමයේ පහළ වීමත් සමගම බුදුරදුන්ගේ උපදෙස් ලැබූ සසුනෙහි පැවිද්ද ලැබූ මුල් ශ්‍රාවක පිරිසගෙන් පටන් ගෙන මෙම වැසි කාලයේ “වස් විසීම” ආරම්භ විය. වැසි කාලයේ පිණ්ඩපාත ආහාර ලබමින් සංචාරිකව විසීම දුෂ්කර කරුණක් විය. තෙත් සිවුරු ඇතිව, තෙත් ශරීර ඇතිව, කුණු මඩ තැවරුණු පොරෝනා ඇතිව, හැසිරීම ශ්‍රමණ පැවැත්මටද ශෝභනය ගෙන දෙන්නක් නොවීය. ශ්‍රාවක, දායක පිරිසගේ නොසතුටටද, නොපැහැදීමටද හේතු වන්නට ඇත. දායක පිරිසගේ දානාදී ප්‍රත්‍ය ලබමින්, ඔවුන් විසින් ඉදි කරන ලද ආරාමයක “වස් විසීම” පැවිද්ද ගත කරන පිරිසටද, උපස්ථාන කරන දායක පිරිසටද හොද ප්‍රතිඵල සලස්සන්නක් විය.

ජෛන වස් විසීම:

බුද්ධ කාලීන ශ්‍රමණ පිරිස් අතර නිගණ්ඨනාත පුත්ත මුනිවරයාගේ නායකත්වය ඇතිව ජෛන පිරිසද මේ ක්‍රමය පවත්වා ගෙන ගිය අතර එය ඉන්දියානු ජනතාවට හුරු පුරුදු චාරිත්‍රයක් බවට පත්ව තිබිණි. ඔවුන් අදහස් කළ පරිදි ධර්ම දේශනාවෙන් පුද්ගලයන්ගේ ධර්මඥානය දියුණු කිරීමටද,තම ශ්‍රාවක පිරිස වැඩිකර ගැනීමෙන් පක්ෂය තරකර ගැනීමටද මෙය උතුම් මගක් විය. එසේම ජෛන සාධුවරු උග්‍ර සීලයෙන් යුතුව ඊ(ධ්‍රැව ශීලා වර්ෂාසු) වාසය කිරීමට වැසි කාලය යොදා ගත් අයුරු ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවල දක්නට ලැබේ.

ජෛන මුනිවරු (සාදුවරු ) වැසි කාලයේ ආරාමිකව උග්‍ර සීලයෙන් යුතුව විසූ අතර, ජෛන ශ්‍රාවක පිරිසටද උසස් සීලයෙන් යුතුව වාසය කිරීමට උපදෙස් දෙන ලදී. ගිහි පිරිස ප්‍රාණඝාතාදී අකුසලයෙන් බැහැරව අනු ව්‍රත සමාදානයට බැස ගත් හ.

ප්‍රාණඝ්‍රාත විරති ( සතුන් මැරීමෙන් වැළකීම), අදත්තාදාන විරති(සොරකමින් වැළකීම), ඒකදාර ව්‍රතය (එක් භාර්යාවක්ගෙන් සෑහීමකට පත් වීම), මුසාවාදා විරති (සත්‍යය කීම), සීමිත වස්තු පරිග්‍රහය( සීමිත වස්තු පරිහරණය), මෙය ජෛ ශ්‍රාවක පිරිසගේ සංවරයට පාදක වූ පංචසීල ප්‍රතිපත්තිය යි. වැසි කාලයේ ජෛන සාධුවරු උග්‍රව්‍රත තපස් සමාදාන‍යේ යෙදෙමින් වාසය කළහ.

බුදු සමය:

බුදුරදුන් තම ශ්‍රාවකයන්ට ද වැසි කාලයෙහි උසස් ශීලයෙන් යුක්තව වාසය කිරීමට හැකිවන පරිදි වස් විසීම අනුදැන වදාරා ඇත. (අනුජානාමි භික්ඛවේ වස්සේන වස්සං උපගන්තුම) එහි අනෙක් අංශය නම්, ගිහි දායක පිරිසට නිතර තම පූජ්‍ය පක්ෂයට ප්‍රත්‍ය පහසුකම් සැලසීමෙන් යුතුව පින් කරගන්නටද තමා වැඩි කාලයක් තම ජීවිතය ආගමානුකූලව චාරිත්‍ර බද්ධව පවත්වා ගැනීමට උන්වහන්සේලාගෙන් අනුශාසනා ලබා ගැනීමටද එය පිටුවහලක් වීමයි.

ගිහි පිරිස සදහා පොහොය දින ගතකළ යුතු ආකාරය බෞද්ධ සම්ප්‍රදාය තුළ ඉගැන්විය. සුපිරිසිදු ගිහි වතක් දක්වන “ධම්මික සූත්‍රය” ගිහියාගේ කායික, මානසික සුවයක් භාවය ඇතිකරලනු සදහා බෞද්ධ ආරාමය ඇසුරු කොට පොහෝ දිනය ගත කළයුතු ආකාරය උගන්වා තිබේ.

චාතුද්දසිං පඤ්ච දසිං – යාව පක්ඛස්ස අට්ඨිමි

පාට්හාරිය පඤ්ඛඤ්ච – අට්ඨංග සුසමාගතංම

මෙහිදී තුදුස්වක, පසලොස්වක, අටවක දිනයන්හිද පෙළහර පසද, අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන්ව විසීම සුදුසු බව උගන්වයි. සද වැඩෙන පක්ෂයට හෙවත් පුර පක්ෂයටද, සදේ වැසී යන පක්ෂය හෙවත් අව පක්ෂයටද යන පක්ෂ දෙකට අයත් අටවක, තුදුස්වක, පසලොස්වක, දිනවල (චන්ද්‍ර මාස පිළිවෙලට 8,14,15 තිථි වලට අයත් දින) හා එම දින වලට පෙර දින හා පසු දිනද ඇතුළත්ව වැඩි දින ගණනක් උසස් ශීලයෙන් යුතුව විසීම සුදුසු බව උගන්වා තිබේ.

මෙහි ඉතා වැදගත් ඉගැන්වීමක් නම් පෙළහර පස (පාටිහාර්‍ය පක්ඛ) තුළ ගිහි ජීවිතය සකස් වීමට  අවශ්‍ය සීලමය විශුද්ධියක් ඇති කිරීමේ උපදේශයයි. මෙහි උගන්වන පෙළහර පස යනු වස් කාලයයි. ඇසළ පොහොයේ සිට වප් පොහොය දක්වාම කාලය තුළ භික්ෂූන් වහන්සේලාගේ වස් විසීම සිදු වන අතර උන්වහන්සේලා ඇසුරු කරමින්, පින් දහම්හි නියැලෙමින් උසස් බෞද්ධ චර්‍යා පුහුණුවට බෞද්ධ ගිහි පිරිසට ඉඩ සලසා ඇත. මෙහිදී වැඩි කාලයක් අටසිල් සමාදන්ව හෝ අටසිල්හි පිහිටා බෞද්ධ චර්යා පුහුණු කිරීම ඉඩ සලසා තිබීම ශාසන ඉතිහාසයෙහි ලා ඉතා වැදගත් වන කරුණකි.

අධි ශීලය:

වැසි කාලය තුළ භික්ෂූන් වහන්සේලා උසස් ශීලයෙන් යුක්තව වස් විසීම අවශ්‍ය කරුණක් විය. බුදු රදුන් වැඩ සිටි කාලයේ නම්, විදර්ශනා වඩමින් රහත් ඵලයට පත් වීමටද උත්සාහ වන්නටද ක්‍රියා කළ අයුරු දැක ගත හැකි විය. වස් ශික්ෂාව සමාදන්ව උසස් අධිගමයක් ලැබූ භික්ෂූන් වහන්සේ ආවාසය තුළ වස් විසූ පිරිස අතුරෙන් විශේෂ පිරිකර ලබා ගත් හ.වස් කාලය තුළ තමා විසින් ගොඩ නගා ගත් ශීල විශුද්ධියට ලැබෙන සහතිකයක් පරිද්දෙන් කඨින සිවුරක් ලබා ගැනීමට වස් විසූ බොහෝ භික්ෂූන් අතරින් එක් භික්ෂූන් වහන්සේ නමකට හැකි වේ. මෙය බුදු රදුන් වැඩ සිටි කල භික්ෂූන් වහන්සේ තුළ ක්‍රියාත්මක වූ සම්ප්‍රදායක් විය. එය උන්වහන්සේලාගේ සීලාධි උසස් චර්නයට අත්වැලක් බදු විය. මෙයින් උසස් පෙළඹීමක් ලැබූ භික්ෂූන් වහන්සේ පූර්ණ කාලීනව ශාසනික සේවයට කැප වී ක්‍රියා කළහ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *