වැලපී වැලපී හඩා වැටුනා අන්තිමේ දුගතියට ඇදුනා

“සංසාර සාගරය” යනුවෙන් සසර ගැන උපමා කිරීම ඉතා ප්‍රචලිතය. එපමණක් නොව, සසර කතර යනුවෙන්ද එතරම්ම බහුල ලෙස උපමා කොට කතා කරන තැන් අපමණය. සාගරය ජල කදකින් සෑදුනක් වන අතර කාන්තාරය දිය බිදක් නැති, හිරු රැසින් දැවෙන, තැවෙන ඇතැම්විට තණ පදුරක් පවා දැකිය නොහැකි ගොඩබිම් ප්‍රදේශයකි. එසේනම් එකම සංසාරය මේ අන්ත දෙකකට අයත් උපමා දෙකකින් දක්වන්නේ ඇයි?මදකට සිතා බලන්න.

සංසාරය යනු සත්වයාගේ ඉපදෙමින් මැරෙමින් යන නොනවතින ගමනයි. “සංසරණය” වන හෙයින් සංසාර නම් වේ. කුමක සංසරණයක්ද? එක් භවයකින් අනෙක් භවයට ඒ භවයෙන් තවත් භවයකට… ආදී වශයෙන් නොනැවතී ගමන් කරයි. එක් මිනිසත් භවයකින් මියගොස් කල්ප ගණනක් මුළුල්ලේ, තිරිසන්, ප්‍රේත, නරකාදී භවයන්හි ගත කොට යළි මිනිසත් භවයකට පැමිණේ. පෙර සිටි භවයන්ට යළි යළිත් පැමිණෙමින් යාම, භවයන් අතර සංසරණය වීම, සංසාර ස්වභාවයයි. එහි ආරම්භය කොතනද? අවසානය කොතනදැයි ඊට මුහුණදෙන කිසිවෙකුට කිසිම නිනව්වක් අවබෝධයක් නැත, එසේම මහා සාගරය දෙස බැලුවොත් එහි අගක් මුලක් පෙනේද?ගිනිගෙන දැවෙන මරු කතරකට වැටුනොත් එහි අගක් මුලක් පෙනේද? නැත්තේමය. මේ දෙකෙහිම ඇත්තේ ඊට මැදි වන තැනැත්තාට මුහුණ දෙන්නට සිදු වන මරණ බිය හා මරණයෙන් ගැළවීමට ගන්නා උත්සාහයන් නිසා උපදින මහත් වූ දුක් රැස පමණි. සසර කතරට (හෝ සංසාර සාගරයට) වැටුණු සත්වයා හට සෑම භවයකදීම අත් විදීමට සිදුවන ප්‍රධාන ධර්මතා දෙක උපත හා මරණ‍යයි. මෙසේ ඉමක් කොනක් නොපෙනෙන සසර ගමන තුළ කල්ප කෝටි ගණනක් ඈත එපිට සිට ඉපදෙමින් මැරෙමින් එන එක් සත්වයෙකු මරණයට මුහුණ දුන් වාර ගණන ගණනය කල හැකිද? ඒ හැම අවස්ථාවකම “තමාගේ මරණය වෙනුවෙන් බියට පත් වී හැඩූ වාර ගණන ගණනය කල හැකිද? ඒ අතරිනුදු තමාගේ මව පියා සහෝදරයා ඥාතියාගේ මරණ දැක ඉවසා දරා ගත නොහැකිව හඩා වැළපුන අවස්ථා ගණනම කොපමණ විය හැකිද?එකම සත්වයා තම මව් මළ ශෝකයෙන් හඩා වැළපුණු අවස්ථා කදුලු වල ප්‍රමාණය ඒක රාශී කලහොත් මේ සියලු සාගර ජලයට වඩා වැඩිය.”බුදුන් වහන්සේ දේශනා කල සේක. එසේ නම් මව් පිය සහෝදරාදී වෙනුවෙන් හැඩූ වාර ගණන ඊට වඩා කොතරම් විශාල විය හැකිද? මෙතරම් කාලයක්, මේ තරම් අනන්ත වාර ගණනක්, ඔබේද, ඔබේ මව් පියාදීන්ගෙන්ද, මරණය වෙනුවෙන් හඩා වැළපුණ ඔබ මේ භවයේදිත් හඩා වැළපෙන්නේ ඇයි?මරණය හමුවේ හැඩීම සසර පුරුද්දක් නිසාද?එයින් ඔබට අස්වැසිල්ලක් ලබා ගැනීමටද? මේ හඩා වැළපීම තවමත් ඔබට ඇති වීමක් (දැන් හැඩුවා ඇති යන හැගීමක්) නොවිණිද? ඒ ඇ‍යි? මේ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.

මේ ජීවිතය තුළ ඔබ මේ වන විටත් ඔබේ මව, පියා හෝ පවුලේ ඥාතියෙකුගේ, හිතවතකුගේ හෝ මරණය හමුවේ හඩන්නට ඇතයි සිතමි. එසේ නැතත්, එවැනි සිද්ධි‍යකදී හඩා වැළපෙන වෙනත් පුද්ගලයන් කොතෙකුත් දැක ඇතුවාට සැකයක් නැත. බෞද්ධ‍යෙකු වශයෙන් මෙසේ මරණයකදී සිදු කරන හැඩීම් ගැන ඔබ යම් තරමකටවත් සිතා බැලුවද?

හැඩීම් සිදුවන්නේ කෙනෙකුගේ සිතට නැගෙන කිසියම් ආවේගයක් හේතුවෙනි. ඒ ආවේගය දරා ගැනීමට නොහැකි සීමාවට පත් වන විට ඒ සදහා මානසික වශයෙන්ද, කායික වශයෙන්ද, ඇති වන්නේ මහත් කම්පනයකි.සිත තුළ හට ගැනෙන කම්පනය බාහිරව ප්‍රකාෂ වන්නේ මුහුණේ ඉරියව් වෙනස් වීම, පේශීන්ගේ වෙව්ලීම හෝ ඇස් වලින් කදුලු ගැලීම කායික වෙනස් වීම් වශයෙනි. ඒ ආවේගය බලවත්නම් ශබ්ද නගා හැඩීම, යම් යම් දේ කියමින් (විලාප) හඩා වැලපීම (ශෝක පරිදේව) හෝ සිදුවනු ඇත. චිත්තාවේගය කයට හෝ සිතට දරා ගත නොහැකි තරමට බලවත්නම් ඇති විය හැකි හානිදායක තත්වයෙන් පුද්ගලයා මුදා ගැනීම සදහා ඇතුළතින්ම සිදු කරන ආරක්ෂණ ප්‍රතිචාරයක් ලෙස සිහිසුන් වීමද සිදු විය හැකිය. ඉදින් මේ සියලු තත්වයන් හඩන වැළපෙන පුද්ගලයාට කෙසේ බලපාන්නේදැයි මදක් විමසා බලමු.

සිය මවගේ මරණය වෙනුවෙන් කෙනෙක් හඩන්නේ යැයි සිතමු. මව හා දූ දරුවන් අතර ඇත්තේ ජීවිත කාලය තුළම ගොඩනගාගත් ගැඹුරු අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි.මවගේ මරණයේදී මෙසේ දිගුකලක් පවත්වා ගෙන එනු ලැබූ සම්බන්ධතාවය කැඩී යාම, කෙනෙකුට දැනෙන්නේ තමා සතුව තිබූ වටිනා දෙයක් නැති වීමක්, අහිමි වීමක් ලෙසය.එය යළි කවදාවත් නොලැබෙනු ඇතැයි සිතන විට ඇතිවන බිය තුළින් සිතට දැනෙන ආවේගය වඩාත් තියුණු වේ.සමහරවිට මවගෙන් ලැබුණු ආදරය හා තමා මවට දැක්වූ ආදරය හදිසියේම ගිලිහී යාම මේ දුකට හේතුවයි.කෙසේ වුවත් මෙහි එක්තරා සැගවුණ රහසක් ඇත.එය දැනටමත් මේ ලිපියේ ඇතැම් වචන වලින් හෙලිවී ඇත.මගේ මව,මට ලැබුණු ආදරය,මට ලැබුණු උදවු උපකාර,මා ආදරය කල අම්මා මට නැතිව ගියා… යන මේ වදන් තුළ ඇති “මම, මට, මගේ”යන වචන තුළ ඒ රහස ගැබ්ව ඇත.නැති වුනේ කුමක්ද? “මගේ යැයි දැඩි ලෙස අල්ලාගෙන සිටි දෙයකි.” “මම යන හැගීම නිසා”මගේ” , “මට”යන හැගීම්ද උපදී.” එසේනම් “මම” යන හැගීමම මේ හැඩීමට, හැඩීමෙන් දුක් වීමට හේතුවන බව බොහෝ දෙනාට නොපෙනෙන සැගවුණු සත්‍යයයි.

දරුවකුගේ මරණය හමුවේ හඩන මව් කෙනෙක් ඇත්ත වශයෙන්ම හඩන්නේ දරු සෙනෙහස හේතුවෙනි. දරු සෙනෙහස ලොව පැවැත්මට අවශ්‍ය දහමකි. මිනිසා තුළ පමණක් නොව තිරිසන් සතා තුළ පවා දරු සෙනෙහස විශාල බලවේගයක් ලෙස ක්‍රියාත්මක වෙයි.එහෙත් ඒ සෙනෙහසද හුදෙක් මම හා මගේ යන මූලික හැගීම තුලින් හට ගැනෙන බවයි සත්‍ය වන්නේ, ඇතැම්විට තම පුතාගේ අනාගතය තුළින් දහසක් බලපොරොත්තු තබා ගත් අම්මාට හෝ තාත්තාට පුතාගේ වියෝ වීම ඒ සියලු අහස් මාලිගා බිද වැටීමක් වෙයි. දරා ගත නොහැකි දුක හටගන්නේ ඒ හේතුවෙනි. “මම හැදූ දරුවා” මගේ පුතාගේ අනාගතය, ඒ තුළින් මගේ අනාගතය සුරක්ෂිතබාවය, මට පුතා නිසා ඇති වන ගෞරවය…යන මේ සියලු හැගීම් තුළ සැගවී සිට ඇය හඩවන්නේ මම, මගේ යන හැගීම නොවේද?

තම මිත්‍රයෙකු හෝ වෙනත් එබදු සිත් බැදගත් කවරෙකුගේ හෝ මරණයක් වුවද, යමෙක් හඩන්නේ නම් එතනද හැඩීමට හේතුව අප මෙතෙක් සාකච්ඡා කළ පරිදි “මම” මුල් කරගත් හැගීමක්ම වෙයි. තමාට කිසි ලෙසකින් සම්බන්ධ‍යක් බැදීමක් නැති අනෙකුගේ මරණයකදී කෙනෙක් හඩා නොවැටෙන්නේ මරණකරු සමග ඇලීමක් බැදීමක් නැති හෙයිනි.

දැන් අපි තවත් එක් පැත්තක් ගැන අවධානය යොමු කරමු.කිසියම් කෙනෙකුගේ මරණයකදී යමෙක් හඩන්නේ නම්,  ඒ හැඩීමෙන් මිය ගිය පුද්ගලයාට හෝ ඇතිවන ඵලයක් වේද? ඉවසා දරා ගත නොහැකි චිත්තාවේගයක් උපන් කල්හි එය සිත තුළ තෙරපා ගෙන තමා පීඩාවට පත් වෙනවාට වඩා එය බාහිර ක්‍රමයකින් පිට වීමට සැලසීම, කායික හා මානසික, සුරක්ෂිතබාවයට හේතුවන හෙයින් යම් පමණක සහනයක් හැඩීම තුළින් උදා කරගත හැකිය. බුදුන් වහන්සේ බුදුබව ලැබීමෙන් පසු රජගහනුවර මාලිගාවට වැඩි අවස්ථාවේදී යසෝදරාව බුදු සිරිපතුල බදාගෙන හඩමින් සිටි මෙහොතේ, බුදුන් වහන්සේ සුළු වේලාවක් එය ඉවසා වදාල බව අප පොත පතින් අසා ඇත්තෙමු. එයින් යසෝදරාවට ඇතිවන අස්වැසිල්ල බුදුන් වහන්සේ  පවා සැලකිල්ලට ගත් බව පෙනේ. එහෙත් අපට බොහෝ තැන්හීදී දක්නට ලැබෙන ඉමක් කොනක් නැති හැඩිල්ල නම් යහපතට වඩා හඩන අයගේ අයහපතට ම හේතුවන බව, හඩන කිසිවෙක් නොදන්නවා ඇතැයි සිතමි.

දිගුකලක් තිස්සේ සංසාරයේ සැරිසරමින්, මමය, මගේයැයි සක්කාය දිට්ඨිය මත ගොඩනගාගත් ඇලීම් බැදීම් සහිතව ක්‍රියා කොට ගොනු කරගත් දුක් කද, යටි සිත ඔස්සේ කර්මය වශයෙන් මේ භවය දක්වාම ගෙන ඒම සියලු පුද්ගලයන්ගේම ජීවිත තුළ සිදුවන්නකි. අනිකකුගේ මරණයක් හමුවේ දකින විට ඒ ගැන සිතන විට, කෙනෙකු හඩන හැටි දකින විට ඒ හැගීම දුකක් ලෙස සිතින් අල්ලා ගැනීමේදී, පෙර කෙළවරක් නැති භවයන්හි ගොනු කරගත් තමා විසින් කරන ලද මිනිස් හා සත්ව ඝාතන, ඒ අවස්ථාවන්හීදී එදා ඒ සතුන් හැඩූ හැටි, දුක් විදි හැටි හා තමාම මරණයට මුහුණ පාමින් ලද දුක් වේදනා ආදිය පිලිබදව මතක සටහන් අළුයට සැගවූ ගිනි පුපුරු ගොඩක් සේ යටි සිත තුළ තිබී, අළුතින් දැල්වීමට පටන් ගනී. දැන් මුහුණ දෙන අවස්ථාවේ අල්ලාගන්නා දුක, පීඩනය, ඒ අළු යට සැගවුණු කර්මයේ ගිනි පුපුරු දැල්වීමට ගිනි කූරක් වෙයි, එහිදී සිත තුළ දැවෙන්නේ අළු යට සැගවුණු ගිනි පුපුරු වැනි පරණ සංසාරික කර්ම රැස අලුතින් පණ ගැන්වීමක් සමගයි. මෙයින් උපදනා චිත්ත පීඩනය මත ඇඩීම්, වැලපීම් ආදී දුක ප්‍රකාශනයට පත් වන අතර ඒ අනුව ඉරියව් පැවැත්වීමද සිදු වේ.

දැන් සිදු වුණේ කුමක්ද? යහපත්ව, අනුසය වශයෙන් පැවති අතීත අකුසල සිත රාශිය අලුත් කරගැනීමක් පමණි. එයින් දැන් යළි විදින්නේ දුකමයි. චතුරාර්‍ය සත්‍යයට අනුව දුකට හේතුව තණ්හාවයි. එසේනම් අනුන්ගේ මරණයකදී ඒක තමාගේ දුකක් ලෙස අල්ලාගෙන මතු කරගත්තේ කුමක්ද? අර යටපත් වී නිදාගෙන සිටි තණ්හාවයි. සංසාරික අකුසල රාශියයි. හැඩීම් වැලපීම් තුළින් ඒ මොහොතේ සැනසීමක් ලැබෙතැයි සිතුවත් සිදුකරගන්නේ අකුසල මතු කර ගැනීමයි. අකුසල උපදවා ගැනීමයි.

තණ්හා පච්චයා උපාදාන – උපාදාන පච්චයා භව

 භව පච්චයා ජාති – ජාති පච්චයා ජරා,මරණ

දැඩි ලෙස අල්ලා ගැනීමෙන් භව හෙවත් එහිම හට ගැනීමද, භව හේතුවෙන් යළි සසරට වැටීම වූ උපතද, උපත හේතුවෙන් ජරා මරණ ආදී දුකද අත්වෙයි. හොදයි නේද. අනුන්ගේ මරණයට අඩන්න ගොස් තමාද යළි සසරට වැටී අනන්ත දුක් විදීමට මග පාදා ගන්නා සැටි හොදින් සිතා බැලිය යුතුව ඇත.

තවකෙක් ඇත. කුසල් දහම් සපුරා ගත් කෙනෙක් නම්, මරණ මොහොතේදී ඉදිරියට එන කුසල චිත්තය දෙව් මිනිස් ආදී සුගතියක උපත ලැබුවා විය හැකිය. ඔහු එහි සුගතියට පත් වෙද්දී හඩන අය,තණ්හාවට ඉඩ දී, සංසාරයේ සිදු කල අකුසල ශක්තීන් යටපත් වීමට ඉඩ නොදී, වර්ථමාන අකුසල චිත්තය නැමැති කොක්කෙන් අතීත අකුසල සිත් උඩට ඇදගෙන නරක විපාක විදීමට කටයුතු සලසා ගනී. මව හෝ පියා වෙනුවෙන්, ස්වාමියා හෝ බිරිද වෙනුවෙන්, දුව හෝ පුතා වෙනුවෙන්, මරණය අල්ලාගෙන ජීවිත කාලයම හඩන වැලපෙන අයද ඇති බව අපි දනිමු. ඔවුන් කරන්නේ උපන් අකුසල යටපත් වීමට නොදී නිතිර අලුත් කරමින්, සංසාරිකව යටපත් වූ අකුසලද උඩට මතු කරගෙන අකුසලය තුළට කිදා බැස ගැනීමයි. එය එසේ බව අවබෝධ කර ගැනීමට තරම් ධර්මාවබෝධය නොමැති බොහෝ දෙනා අවුරුද්දක් ගානේ තම ඥාතියාගේ සොහොන වෙත ගොස් පහනක් දල්වා හඩා වැලපී අකුසල් අලුත් කර ගැනීමට පෙළඹීම තරම් අනුවණ ක්‍රියාවක් තිබේදැයි සිතා බලන්න. මෙබදු පැවතුම් ඇති අය නිතර අලුත් කරගත් තම පැරණි අකුසල සිතුවිලි නිසා මරණ මොහොතේදීද එම සිතුවිලි ප්‍රවාහයට මැදි වී අකුසල සිතක්ම උපදවා ගෙන ඊලග භවය දුගතියක්ම කරගන්නෝය.

එසේනම් ඔබ කල යුත්තේ කුමක්ද? ඔබේ ඥාතියා පමණක් නොව ඕනෑම කෙනෙකුගේ මරණයකදී ඔබේ සිත තුළ දුක ශෝකය උපදවා ගැනීම නොව මරණ ධර්මතාවය පිලිබදව යථාර්තය සිත් තුළට නගා ගෙන සංවේගය උපදවා ගැනීමයි.” උපන් සියලු සත්වයින්ටම මරණය උරුමයකි. මොහුද ඒ ධර්මතාවයට යටත්‍ ය. මමද මරණ ධර්මය නොඉක්ම වූ කෙනෙක්මි. එහෙයින් මටද කවදා හෝ මරණයට මුහුණ දෙන්නට සිදුවේ. මගේ මරණය කවදා කොතනක කුමන ආකාරයෙන් සිදුවේදැයි මම නොදනිමි. එහෙත් ජීවිතය අනිත්‍යය. උපන් හැමටම මරණය නියතය.” යනුවෙන් නිරන්තර සිහි කටයුතු (අභින්න පච්චවෙක්ඛිතබ්බ) මරණය පිලිබදව යථාර්තය ජීවිතයේ භාවනාවක් කරගත යුතුය.

එසේ යථාර්තය දැකීමට පුරුදු වන ඔබට අනෙකුගේ පමණක් නොව ඔබගේද මරණයකදී දුකට, සංතාපයට, පත් නොවී සාර්ථකව මුහුණ දීමෙන් දුගතිගාමීත්වයෙන් මිදීමට හැකිවනු ඇත.

අයි.ඩබ්.ආයුපාල(විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති)

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *