ඒකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පර ලෝකස්ස
නත්ථි පාපං අකාරියං
සත්‍ය වචනය ඉක්ම වූ නැතහොත් බොරු කියන පරලොව ජීවිතයක් ගැන නොසලකන්නා වූ පුද්ගලයාට කළ නොහැකි පාපයක් නැත. මුලින් සදහන් කළ ගාථාවේ කෙටි තේරුමයි.
සමහර අය අනුන් රැවටීම සදහා බොරු කියනවා. තවත් සමහරු අනුන් අමාරුවේ දැමීම සදහාත්, තමාගේ වාසිය සදහාත් බොරු කියනවා. විනෝදයට අනුන් රැවටීම සදහා බොරු කීවත්, වෙනත් හේතූන් නිසා බොරු කීවත් කොහොම වුණත් බොරු කීම මහත් වූ අකුසල ක්‍රියාවක් බව අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
ඒ නිසා තමයි මුලින් සදහන් කළ ගාථාවෙන් කියන්නේ බොරු කියන පුද්ගලයාට කළ නොහැකි පාප ක්‍රියාවක් නැති බව. ඔහුට ඕනෑම පහත් ක්‍රියාවක් කරන්නට පුළුවන්. එම නිසා නුවණ ඇති පුද්ගලයන් බොරු බස් කියන්නා හැම විටම පිළිකුල් කරනවා. කිසිම කෙනෙක් ඔහු ඇසුරු කිරීමට කැමති වෙන්නේ නැහැ. ඒ වාගේම බොරු කියන පුද්ගලයාව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙත් නැහැ. සමහර වෙලාවට ඔහු ඇත්තක් කීවත් එය කවුරුවත් පිළිගන්නට කැමති වෙන්නේ නැහැ. බොරු කියන්නාට සිදුවන බලවත්ම අවාසිය එයයි.
නොයෙක් වෙලාවල් වලදී ඔබ අප පාසලේදී, නිවසේදී හා මිතුරු මිතුරියන් අතරේදී විනෝදයට අනුන් රැවටීම සදහා බොරු කියනවා. මොනම හේතුවක් නිසාවත් ඒ වාගේ බොරු කියන්න හොද නැහැ. පුංචි කාලයේදීම අප බොරු නොකියන්නට පුරුදු වෙන්න ඕනා. බොරු නොකියන අයට හැමදෙනාම ප්‍රිය කරනවා. ඔහුට හැම කෙනෙක්ම ආදරෙයි. ඔහු ඇසුරු කිරීමට යහපත් මිතුරු මිතුරියන් ඇති වෙනවා.
පුංචි කාලේදී අපිත් පුංචි පුංචි බොරු කීමෙන් තමයි වැඩි වයසට ගියාම විශාල බොරු කියන්නට පුරුදු වෙන්නේ. බොරු කීම පුංචි අපගේ අනාගත දියුණුවට ලොකුම බාධාවක්. ඒ වාගේම පව් සිදු වන අකුසල කර්මයක්. සමහර වෙලාවල් වලදී එක බොරුවක් කිවුවහම එය වැසීමට තවත් බොරු විශාල සංඛ්‍යාවක් කියන්නට සිදු වෙනවා. එයින් අපට සිදුවන්නේ අයහපතක් මිස යහපතක් නම් නොවේ.
එමනිසා අපි අද පටන් විනෝදයටවත් බොරුවක් නොකීමට සිතා ගනිමු. හැම විටම සත්‍ය වචන කථා කරමු.