සංසාර සිහිනය

ලේණ කුලේ සිට……… ආගිය මං තොට…….

සිටියා….නොසැලෙන පහන් ටැඹක් සේ……!!!!

“ප්‍රේමය නම් අචින්ත්‍යයි. රාගයෙන් තොරයි.” කීවද? ලබන මස ආරම්භයත් සමගම සෑම තැනකම විකිණෙන වෙළද භාණ්ඩය  “ආදරයයි” නැතිනම් “ප්‍රේමයයි” .මිනිස් හදවත් තුළ ඇති වූ ඒ මානුසික හැගීම්ද අද උපයන මාර්ගයක් බවට පත් වී අවසානයයි. ඇයි? මේ තරම් හදිස්සියකින් ප්‍රේමය වෙළද පොළට ගෙනවිත් ඇත්තේ ඇයි? “වැලන්ටයින්”  එන නිසා නේද? ඒ ඔහු පිළිගැනීමට සැරසෙන අයුරුයි. ආදරවන්තයින්ට පළමුව එය සැමරීමට උත්සුක වෙනුයේ වෙළද මහතුන්‍මය.

වසරකට එක් දිනක් පමණක් ආදරය නම් හැගීම පුබුදුවා එය සැමරීම සාර්ථක ද? සැබවින්ම එය රාගයෙන් පිරී මිස රාගයෙන් තොර නම් නොවේ. ආදරය සියලුම සත්වයා හට පොදු දෙයකි. එහෙත් දියුණු යැයි කියා ගන්නා මිනිසා තුළ ඒ හැගීම නම් ඇත්තේ කිළිටි වූ සිතුවිල්ලක් ලෙසිනි. තම හදවත් තුළ නිරායාසයෙන් හට ගත්තක් නම් නොවේ. වෙළද පොලෙන් මිලදී ගන්නා භාණ්ඩයක ස්වභාවය ට අද පත් වී ඇත.

එහෙත් දෙපා සතුන් තුළ එසේ වුවද….. වනසිවුපාවුන් තුළ නම් ඒ හැගීම් අදත් නොකිලිටි ව පවතිනු ඇත. ඒ විවෘත ආර්ථික රටාවක් හා නවීන තාක්ෂණ ය ඔවුන් බිලි නොගත් නිසාවෙනි.

මේ ලෝකය තුළ අනන්ත වූ සත්‍ය ආදර වෘතාන්ත බොහෝය. “සාජහන්…  මුම්ටාස් …” වැනි ආදර අන්දර බොහෝය. එහෙත් ඒ වෘතාන්ත තුළ ද බොහෝ විට රහසේ සැගවුනු දුක්බර අවස්ථා එමටය. එවැනි කතන්දර ඔවුන්ගේ මේ පවතින භවයට පමණක් සීමා වී ඇත. ඒ වාද තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ද මූලික කරගැනීම නිසා බොහෝ විට සියල්ලෙහිම අවසානය ඉතාමත් අනුවේදනීය යි.

දිට්ඨ ගාමිණී, උන්මාද චිත්‍රා, ප්‍රෙමිලා – දස්කොන්, සාලිය – අශෝකමාලා, රෝමියෝ – ජුලියට් ආදී ප්‍රේම කතා ඉතිහාසගතය. එහෙත් ඔවුන් නම් “වැලන්ටයින් ඩේ” එකක් සැමරූ බව නම් දැනගන්නට නැති හැඩයි. ඔවුන්ගේ ප්‍රේම කථා……. වැලන්ටයින් සාමීවරයාගේ කථා පුවතටත් පෙර සිටම අප ඉතිහාස ගත දෑය. එහෙත් මේ හිටි හැටියේ වැලන්ටයින් දිනයක් සැමරීමට මුලු ලොවම කඩි මුඩියේ ලක ලෑස්ති වූයේ මෑත කාලයේදීය.ඒ වෙළද පොළට කුමක් හෝ අලුත් යමක් ඉදිරිපත් කිරීමට බලා සිටිනා පුද්ගලයන්ගේ උවමනාව ට අනුව “ආදරය” ….. හොද වෙළද නාමයක් බව ඔවුන් තීරණය කිරීම නිසාය.

මේ දිනය මුවාවෙන්….. කොපමණ නම් වූ යෞවනියන් තම ජීවිතය කිලිටි කරගන්නවාද?… කොතෙක් නම් මිල මුදල් වියදම් කරනා රාත්‍රී සැණකෙළි ඇද්ද?… මේවා ට වහල් වන තරුණ සිත් …. වල්මත් වන ආදරවන්තයින්ගේ අවසානය නම් ඒ හැටි යහපත් නොවේ.බොහෝ විට ජීවිතයම කඩා වැටී … මහ මගය. කාමාතුරයින් නිසා තරුණියන්ගේ බිලිගත් ජීවිත අපමණය. මෙසේ වැලන්ටයින් දිනය ට පසු දින පොලිස් කූඩුවල සිටිනා තරුණ ජීවිත ගණන කොපමණද කියා සිතා ගත නොහැකි තරම්‍ ය. නිමක් නැති පැමිණිලි වලින් පොලිස් පොත පිරෙනුයේ වැලන්ටයින් දිනය හොදින් සැමරූ බව නිසාද?‍යැයි සිතෙන තරම්‍ ය.

ඈත අතීතයේ වූ ප්‍රසිද්ධ ප්‍රේම වෘතාන්ත බොහෝ විට ඒ පවතින කාල සීමාව තුළ පැතිර ගියා විනා…ඒ වෙනුවෙන් ගොඩනැගූ ස්මාරක ලියවූ කතාන්තර නිසා ප්‍රසිද්ධියට පත් වූවා විනා භවයෙන් භවය තම ආදරවන්තයා හෝ ආදරවන්තිය පතා ගෙන පැමිණි ආශ්චර්‍යමත් ගමනක අවසානයක් ලෙසින්නම් ඉතිහාසයේ කොතනකවත් සදහන් නැතුවාමය.පවතින සමාජ සම්මතයට පටහැනිව ගොඩ නැගුනා වූ මේ සබදකම්….ඒ හේතූන් නිසා….ඔවුන් විදි පීඩාවේ ප්‍රමාණය විද දරා ගැනීම තුළ ප්‍රසිද්ධ වූ ප්‍රේම වෘතාන්තය…ඒත් මේ සියලුම ප්‍රේම වෘතාන්තයන්හි අවසානය ඉතාමත් අනුවේදනීයයි.

මුලු ලොවම ආදරය ගැන කතා කරයි. ඒත් සියල්ලෝම අමතක කල එක් නොවෙනස් ආදර වෘතාන්තයක් සාරාසංක කල්ප ලක්ෂයක් පුරා නොවෙනස්ව, එක් සිත්ව ගැනිය නොහැකි තරම් භව ගාණක් පුරා ගලා ගිය “සිදුහත්-යශෝධරා”  ගේ ආදරය ගැනනම් කිසිවෙකුවත් සමරන්නේ නැති හැඩයි අඩුම තරමේ බෞද්ධයින්වත්….එය සැමරීම කෙසේ වෙතත්….. ඉන් ගත හැකි ආදර්ශයවත් තම දරුවන්ට ලබා නොදෙන හැඩයි. එහෙත් කිසි දිනෙක අසා නැති වෙලෙන්දන්ගේ උවමනාවට තරුණ පරපුර වෙත බලෙන් මුදා හැරිය වැලන්ටයින් දිනය නම් ඉතා හිස් මුදුනින් ගෙන සැමරීමට ගන්නා උත්සාහය ගැනනම් තරුණ පරපුර ලැජ්ජාවට පත් විය යුතුමය.

ලේන කුලයේ සිටම අනේක ජාති වූ සංසාරයේ නොයෙකුත් භවයන් තුළ එකටම පතා පැමිණි මේ ආදර යුවළ ගැන නම් කාටත් අමතක වූ සැටිනම් අගනේය. එකම පැතුමක්, ප්‍රාර්ථනාවක් වෙනුවෙන් අධිෂ්ඨානශීලීව තම ආදරවන්තයා සමගින් ඒ ආදරය ගමන් කලා වූ සංසාර ගමනේ අවසානයද කෙතරම් විශ්මිතද?ආශ්චර්යමත්ද?කෙතරම් පිවිතුරුද? එවන් පිවිතුරු සුන්දර අවසානයක් ලොව කිසිදු කතා පුවතකනම් නැති තරම්‍ ය. උතුම් පාරමිතාවන් පුරමින්…. සිදුහත් බෝසතුන්ට ඒ සදහා අනුපමේය සහායක්, ධෛර්‍ය්ක් දෙමින් ආධ්‍යාත්මිකබව පිරි නිරාමිස සුවය මූලික කරගනිමින්…. ගමන්ගත් ඒ ආදර ගමන අද වන තුරුත් වත්මන් තරුණ පරපුර සිහිකලා දැයි සැක සහිතය.

සරාගී හැගීම් අවුලුවාලන ප්‍රේම වෘතාන්ත තුළ වූ චරිත තමන්ට ආරෝපණය කර ගනිමින් එලෙස වීරයන්, වීරවරියන් වන්නට සිතා සිහින ලෝකවල ජීවත් වන අවසන වස බදුනේ පිහිට පැතූ බොලද සිතුවිලි පිරි යෞවන යෞවනියන්ටනම් මේ සිදුහත්-යශෝධරා ආදර කතාවේ වැදගත්කම උත්තරීතර බවනම් නොවැටහෙනු ඇත.

අති උත්තම අධ්‍යාත්මික හැගීමක් ඉදිරියේ තබා ගනිමින් නොසැලෙන සිතින්…. සදාකාලික සැපයක්,සදාකාලික නිවනක් පතා…. පැමිණි සිදුහත්-යශෝධරා ප්‍රේම වෘතාන්තය ගැන කිසිවෙකුත් කතා නොකරන්නේ මන්ද?

සැබවින්ම යෞවනත්වය මැනවින් මේ විශ්වය තුළ අර්ථ දැක්වූ අන් අයටද හොදින්ම වටහා දුන් විශ්වයේ විශිෂ්ටතම තරුණයා හා තරුණිය සිදුහත් හා යශෝධරා බවනම් විවාදයක් නැත. මින් වසර 2500ක් පමණ පෙර ඇතිව ඒ ආදර ගමන නිමා වූයේ සියලු ලෝ සතුන් හට සදාතනික සහනයක් ලබා දීමට ඔවුන් දෙදෙනාම ගමන් කල පාරමිතා පෙළහර තුළ වූ ශක්තිමත් බැදීම අන්‍යෝන්‍ය අවබෝධ ය හා පිවිතුරු බව නිසාම නොවේද?

එසේ නම් අපද ප්‍රාර්ථනා කළ යුත්තේ….. එවන් පාරමිතාවන් සැපිරිය හැකි සුන්දර අවසානයක් හිමි….. අධ්‍යාත්මික පිවිතුරු ආදර ගමනක් නොවේද?

යෞවනයේ හිරිමල් වයස…. බොළදය. එහෙත්… එවන් බොළදත්වයක් සිදුහත්-යශෝධරා වෙත තිබුනානම් අපගේ නිවන් මග ගැන කතා කිරීමට හැකියාවක් වේද? ඒ යෞවන වයස දැඩි පරමාර්ථයක් වෙනුවෙන් ඔවුන් දෙපලම කැප කළා නොවෙද? යෞවන වයසේ පසුවන සොයුර සොයුරියනි.දැන් මේ….. ඒ ගැන නුඹලා ට සිහි බුද්ධියෙන්‍ යුතු ව සිතිය යුතු කාලයයි. ඔබද ප්‍රාර්ථනා කල යුත්තේ වල්මත් වූ ආදරයක් නොව…. සදාතනික නිවනනම් වූ සැපය වෙත යනෙන ගමනේ තමාටද ඒ සදහා නොසැලෙන හදින් දිරි දිය හැකි…. සංසාර භවය පුරාම….. ගමන් කල හැකි හැම භවයක් තුළදීම මුණ ගැසෙන එකම අයෙකුමය. හදවතින් නොව බුද්ධිි‍යෙන් ඔබ ඒ ගැන සිතිය යුතුමය.

මේ විශ්වය තුල තවමත් ඉතා දැඩි ලෙස පවතින ශක්තියකින් හෙබි ඉතාමත් ආශ්චර්‍යකින් නිමා වූ ආදර කතා පුවතක් හිමිව ඇත්තේ අප බෝසත් සිදුහත් කුමරාට හා යශෝධරා දේවියටත්‍ ය. ඒ ලේන කුලයේ සිට ම උතුම් බුද්ධත්ව ය තෙක් පැමිණි ගමන් මග තුළ වූ ආදරයයි, කරුණාවයි, බැදීමයි.

දාන පාරමිතාවේ සිට උපේක්ඛා පාරමිතාව දක්වාම වූ කැප කිරීම, පරිත්‍යාගය, ඉවසීම, ධෛර්‍යය ආදී උත්තම ගුණාංග මොවුන් දෙදෙන ඉතා හොදින් දරා ගත් අයුරු අප එදිනෙදා ජීවිතයටද ඉතා අගනේමය. එහෙත් එවන් යහපත් දෑ සිහි කරනවා නොව.. “ආදරය” යැයි කියා වසරකට එක් එක් දිනක් පමණක් එය සැමරීමට “වැලන්ටයින් ඩේ” නමින් දිනයක් තබා ගනිමින් තම මානුෂික සාරධර්ම අමතක කර දමා තම ජීවිත අකාලයේ විනාශ කර ගැනීමකි.

සද කිදුරු ජාතකය, වෙස්සන්තර ජාතකය තුල සිදුහත්-යශෝධරා කතා පුවතේ පිවිතුරු බව, ඔවුන්ගේ ආදරයේ ගුණ සුවද සිහිකරවයි. තවත් බොහෝ ජාතක කතා තුළ ඔවුන්ගේ ආදරය සදහන්ව ඇත. එසේම තමා සමගින් එකටම පැමිණි සිදුහත් කුමරු භද්‍ර යෞවනයේදීම ගිහි ගෙයින් නික්මුණු කලද ඒ ගැන ද්වේශයක් සිත තුළ නොරදවා….. යහපත් සිතුවිල්ලෙන්ම කල් ගෙව්වේ…. සංසාර පුරුද්දටමය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ආදරය එයයි.

ඉතිංනම් මෙය ලබන්නේ ආදරවන්තයින්ගේ මාසයයි. එම මස තුළ අප සැමරිය යුත්තේ වැලන්ටයින් නොව සිදුහත්-යශෝධරාගේ ගුණ සුවදමය. හැකි හැමවිටම තම ජීවිතය ට ඒ උත්තරීතර ගුණාංග බද්ධ කර ගැනීමට උත්සාහ ගත යුතුමය. උතුම් නිවන තෙක්ම…. එකම ආදරවන්තයෙකු හෝ ආදරවන්තියකු ප්‍රාර්ථනා කිරීමටත් දෙදෙනාම එක ලෙසින් එක මග යාමටත් අදිටන් කර ගත යුතුමය. අද කාලයට ඔබින්නේ රෝමියෝ-ජුලියට් හෝ වැලන්ටයින්වරු නොව… ඔබත් තවත් සිදුහත් යශෝධරාවක්මෙන් සිත තුළ උතුම් සමාදියක් දැහැනක් ලෙසින් ආදරය රැක ගැනීමටත් භව කතරට තිත තැබීමට අදිටන් කරගනු සොදමය.

“වැලන්ටයින් ඩේ” එකක් නොව සැමවිටම සිත තුළ වූ යහපත් හැගීම් පුබුදුවාලිය හැකි ලෙස සිත යහපත් සිතුවිල්ලෙන් යුතුව සිත සමාධියකට දැහැනකට පත් කර ගැනීමට……. තම දයාබරයා හෝ දයාබරිය සමගින් හෝටල් හෝ මුහුදු වෙරල නොව, පන්සලක් වෙත යාමට අදිටන් කර ගටහ් යුතුය. අඩුම තරමේ ඔබ හිස් මුදුනින් පිළිගත් ඒ වැලන්ටයින් දිනය දාවත් මුලු දිනම සිත යහපත් සමාධියක, දැහැනක රදවා ගැනීමට හැකිනම්….. යම් තරමින්….. හෝ ඔබ තුළ යහපත් සංසාර ගමනකට මුල පුරනු නියතය.

ස්වර්ණමාලී.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *