සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය

එක් පසෙක හුන් ආයුෂ්මන් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කෙළේය. ස්වාමීනි, ආනන්දය සිඛි භාග්‍යවතුන් වහන්සේගේ අසිභු නම් ශ්‍රාවක තෙම බඹ ලොව සිට වක්‍රාවාළ දහසක ශබ්දයෙන් හැගෙව්වේය. (ඇසෙන සේ ධර්ම දේශනා කළේය) යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනි, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනී, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කොතෙක් තැන් ශබ්ද‍යෙන් හැගවීමට සමර්ථ වන සේක්ද? “ආනන්දය හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති”යි වදාළ සේක.

ආයුෂ්මන් ආනන්ද ස්ථවිර තෙම, දෙවනුවත් ස්වාමීනී, ආනන්දය සිඛි භාග්‍යවතුන් වහන්සේගේ අසිභු නම් ශ්‍රාවක තෙම බඹලොව සිට වක්‍රවාළ දහසක ශබ්දයෙන් හැගෙව්වේය. (ඇසෙන සේ ධර්මය දේශනා කෙළේය) යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනී, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැගවීමට සමර්ථ වන සේක්ද?

ආනන්දය, හෙතෙම ශ්‍රාවකයෙකි. තථාගතයන් වහන්සේලා ප්‍රමාණ කළ නොහැක්කාහු වෙති”යි වදාළ සේක.

තුන්වෙනුවෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම, තෙවනුවත් ස්වාමීනි, ආනන්දය සිඛි භාග්‍යවතුන් වහන්සේගේ අසිභු නම් ශ්‍රාවක තෙම බඹලොව සිට වක්‍රවාළ දහසක ශබ්දයෙන් හැගෙව්වේය. (ඇසෙන සේ ධර්මය දේශනා කෙළේය) යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි අසන ලදී. ස්වාමීනී, අභිත් සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි කෙතෙක් තැන් ශබ්දයෙන් හැගවීමට සමර්ථ වන සේක්ද?

“ආනන්දය, තොප විසින් වක්‍රවාළ දහසක් වන චූලනී ලෝකධාතුව අසන ලද්දේද? යමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සේක්නම්, භාග්‍යවතුන් වහන්ස මේ ඊට කාලය වන්නේය. සුගතයන් වහන්ස මේ ඊට කාලය වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුය කීය.

“එසේනම් ආනන්දය, අසව, කියන්නෙමි, ආනන්දය සද, හිරු දෙදෙන යම්තාක් ප්‍රදේශයක ගමන් කරත්ද බබළමින් සියලු දිශා ආලෝක කරත්ද, එබදු දහසක් වක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් වක්‍රවාළයන්හි, සද දහසක් වේ. හිරු දහසක් වේ. දහසක් මේරු පර්වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරු කුර දිවයින් වෙයි. දහසක් පුර්විදෙහි වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර සහසක් වෙත්, චාතුර්මහාරාජික දෙව්ලොව දහසකි. තවුතිසා දෙව්ලොව දහසකි. යාම දෙව්ලොව දහසකි. ආනන්දය, තුසිත දෙව්ලොව දහසකි. නිර්මාණ රති දෙව්ලොව දහසකි. පර නිර්මිත වසවර්ති දෙව්ලොව දහසකි. ආනන්දය, මේ දහසක් සක්වළින් යුත් චූළනී ලෝක ධාතුවෙහි කියනු ලැබේ.

ආනන්දය, යම්තාක් සහශ්‍රී චූලනී ලෝක ධාතුව වෙයිද ඒ තාක් දහසින් ගුණ වූ ලෝකයක් වෙයිද, ආනන්දය මෙය (වක්‍රවාළ දශලක්ෂයක් වූ) ද්වී සහශ්‍රී මධ්‍යම ලෝක ධාතුව යයි කියනු ලැබේ. ආනන්දය යම්තාක් ද්වීසහශ්‍රී මධ්‍යම ලෝක ධාතුව වෙයිද, ඒතාක් දහසින් ගුණ කළ කෙළ ලක්ෂයක් වක්‍රවාළ වෙයිද, ආනන්දය මෙය ත්‍රීසහශ්‍රී මහා සහශ්‍රී ලෝක ධාතුව යැයි කියනු ලැබේ.

” ආනන්දය, තථාගත තෙමේ ත්‍රිසහශ්‍රී, මහා සහශ්‍රී ලෝක ධාතුව ශරීරාලෝකයෙන් පතුරුවන්නේය. යම් විටෙක ඒ සත්වයෝඒ ආලෝකය දැනගන්නාහුනම්, එකල්හි තථාගත තෙම කතා කරන්නේය. ශබ්දය අස්වන්නේය. ආනන්දය, මෙසේ තථාගත තෙම ත්‍රිසහශ්‍රී මහාසහශ්‍රී ලෝක ධාතුව ශබ්දයෙන් හගවන්නේය. යම්තාක් කැමතිනම් ඒ තාක් හගවන්නේය.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට “සම්බුදු වූ මාගේ ශාස්තෘන් වහන්සේ මෙසේ මහත් සෘද්ධි ඇති සේක,මෙසේ මහත් ආනුභාව ඇති සේක. මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තෙයෙන් මා විසින් මනා ලබන ලද්දකි කීය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර තෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට අවැත් ආනන්දය ඉදින් ඔබගේ ශාස්තෘන් වහන්සේ මහත් සෘද්ධි ඇති සේක් නම්, මහත් ආනුභාව ඇති සේක් නම්, එයින් ඔබට ඇති ප්‍රයෝජනය කිමදැයි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායි ස්ථවිරයන්ට “උදායි, එසේ  නොකියව. උදායි, එසේ  නොකියව. උදායි, ඉදින් ආනන්ද අචිත රාගීව (රාගය පහ නොකෙළෙල්ව) කාලක්‍රියා කරන්නෙක් වීනම්, ඒ සිත පැහැදීමෙන් සත්වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යයක් කරන්නේය. සත්වරක් දඹදිව මහා රාජ්‍යයක් කරන්නේය. උදායි, එහෙත් ආනන්ද තෙමේ මේ ආත්මයෙහිම පිරිණිවන්පාන්නේ යයි වදාළ සේක.

(අංගුත්තර නිකාය, තික නිපාතය, දුතිය පණ්නාසකය, ආනන්ද වර්ගය, සහස්ස ලෝකධාතු විඤ්ඤාපන සූත්‍රය)

වෛද්‍ය සමන් කංකානම්ගේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *