සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි.

සාධු චර්යාවෙහි තුන්වැන්න මුදිතාවයි

මුදිතාව

ඍජු සතුරා ඊර්ෂ්‍යාව වෙමින් සානුකම්පිතව ඇගයුම්ශීලීව සිත තුළ ඇතිවන ප්‍රීතිය මුදිතාවයි.සානුකම්පිත වන්නේ අනුකම්පාව නොවන බැවිනි.

පුද්ගලයකු තව කෙනෙකු වෙනුවෙන් ඇති කරන ඊර්ෂ්‍යාව තමන්ගේ මුළු අධ්‍යාත්මය ම කෙලෙසන බැවින් එය විනාශකාරී බලවේගයකි. කෙනෙකුගේ සැපත සෞභාග්‍ය හෝ තමාට නොලැබෙන දෙයක අනිකාට ලැබෙන දෙයක සිත යොදවමින් ඊර්ෂ්‍යාව නමැති විෂ බදුන තමන් විසින්ම පානය කරමින් රුධිර නාලිකාවක් පාසා සර්වාංගය විනාශ කරන බලවේහයක් තමන් තුළ ඇති කරගන්නා මිනිසා අපාදොර විවර කරගන්නේ ඊර්ෂ්‍යාව නැමති විෂ බදුන වෙනුවට ලෝ දිය හැලියක් තම මිතුරා කරගන්නටයි. කෙනෙකුගේ යහපත තුළදී අගය කිරීම, සතුටු වීම, සුභ පැතීම වෙනුවට නින්දා කිරීම, අපහාස කිරීම, කට කථා පැතිරවීම හෝ විනාශ කිරීම ගැන සිතයි. අනිකා දියුණු වන්නේද වාසනාව ළගාකර ගන්නේද අධිෂ්ඨානය, වීර්යය හා සසර ගුණ සම්පත මත බැවින් ඊර්ෂ්‍යා කරන්නා හානි කරගන්නේ තමන්ටමය. එබැවින් මුදිතාව ඇති වීම තුළ තමන් ට යහපතක් වීම පළමුව සිදුවෙයි. ඒ තමන්ගේ ඊර්ෂ්‍යාවේ බලය තමන් විනාශ කරනවා හැර අනිකාගේ වාසනා සම්පත්තියට බාධාවක් නොවන බැවිනි. එබැවින් අඥාන පුද්ගලයා ඊර්ෂ්‍යාවේ ගින්න තුළ අනිකා දවන්නට උත්සාහ කළත් දැවෙන්නේ තමන් බව අවබෝධ කරගත යුතුයි. එයට හේතුව වන්නේ මුදිතාව තුළ අප අපවත් අප අන් අයටත් දිරියක් බලයක් ලබා දෙන බැවිනි.

ඕනෑම විටක තමන්ට හිතවත් අයගේ යහපත තුළදී සතුටු විය හැකි වුවත් අසීරු කාර්ය වන තමාගේ සතුරාගේ යහපතෙහි දීද සතුටු විය හැකිනම් අගය කළ හැකි නම් එය මුදිතාව තුළ තමන් ලබන උතුම් ජයග්‍රහණයක් ද වෙමින් නිවන් මග දොරගුළු විවර කර ගැනීමේ ප්‍රඥාව මොදූ වීමට මහත් අස්වැසිල්ලකි. සතුරන් ට ක්‍රියාත්මක ස්වභාවයෙන් පීඩාවක් ලබා දීමට නොහැකි තැන දෙස් දෙවොල් තබා හෝ තමාගේ ඊර්ෂ්‍යාව පිටකරන පුද්ගලයා සිදුකරන්නේ ව්‍යාපාදයෙන් ඉවත් වෙමින් තමන්ට ධ්‍යාන සිත් ඇතිකර ගනිමින් සසර නිවාගැනීමට ඇති මග අහුරා ගැනිමටය.

බැලූ බැල්මට මතුපිටින් නොපෙනුනත් කෙනෙකුට හාස්‍ය ලෙස සිනහවීම, උසුළු විසුළු කිරීම ට ලක් කරන්නේද ඒ ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක බැවින් මුදිතාවෙන් ඈත්වන කාරණාවක ඔබ පැටලී ඇති බව අවබෝධ කරගත යුතුය. “මම මේ ඔබට ආදරේ හින්දයි මේ ගැන කියන්නේ” යි කියමින් අසල්වැසියාගේ පවුලේ කෙනෙකු ගැන කේලාම් කීමට තරම් ඔබ පහත් තත්වයට පත් වූ හේතුව ත් ඉන් අවංකවම ඔබ බලාපොරොත්තු වන දේ ගැන සිතා බලන්න. තමන්ට කිසිදු පීඩාවක් නොකළ තමන් හරියටම නොදන්නා කෙනෙකු සම්බන්ධව කවුරුන් හෝ කී දෙයක් ඉහඩ තියන මැස්සෙකු පරිද්දෙන් තවත් කනකට සිතකට ගෙන යන්නට තරම් ඔබ පහත් නින්දිත තත්ත්වයට පත් වී ඇත්දැයි සිතන්න.

එබැවින් නිවන අහුරාලන සිතෙහි ධ්‍යාන ප්‍රීතිය නැතිකරන යම් දහමක් වේ ද එය ඊර්ෂ්‍යාව බවත් නිවන කරා කැන්දන සිතෙහි ධ්‍යාන ප්‍රීතිය ඇතිකරන යම් දහමක් වේද එය මුදිතාව බවත් අවබෝධ කරගනිමින් මුදිතාව සිත තුළ වැඩිය යුතුමය.

ඒ සදහා,

මිතුරාගේ මෙන්ම සතුරාගේ යහපත අගය කරන්නට එය දැක සතුටු වන්නට තරම් මොලොක් සිතක් ඇතිකර ගන්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *