පලා…. නොම යන්…. ජීවිතෙන්….!!

පලා.... නොම යන්.... ජීවිතෙන්....!!

සුන්දරම ජීවිතයක් තමයි සියළු දෙනාගේම සිහිනය… සැබවින්ම ජීවිතය සුන්දර…? සුන්දර… යැයි අප කියන්නේ කුමක් අ‍රඹයාද…? සියළු දෙනාගෙම ජීවිත සුවභර නොවේ. එබැවින් බොහෝ දෙනා ගෙවන්නේ සමබර ජීවිත නැත්නම් දුක්බර ජීවිත… ඒ අතරත් කීපදෙනෙක් තමයි… ජීවිතේ රෝස මල් යහනාවක් වගේ ගෙවන්නේ….

මේ කුමක් වුවත්, පවතින සමාජ ක්‍රමය අනුව අප කෙනෙක්ගේ ජීවිතය මනින දර්ශකය වන්නේ භෞතික දේපල මිල මුදල් ප්‍රමාණය මතයි.

දුක් කම්කටොලු වැඩි වූ විට ජීවිතයෙන් පලා යාමට උත්සාහ ගන්නා අය අනන්තයි… ඇයි ඔවුන් එලෙස වන්නේ… ඒක තමයි කළ හැකි ලේසිම දේ… ඒත් ඔබ හොදින් මතක තබා ගත යුත්තක් ඇත… ජීවිතය දින වීමටනම් කළයුත්තේ ලෙහෙසි පහසු දෙය නොව, අපහසු දේමය… ජීවිතය රදවා ගැනීම… දරා ගැනීම… හරිම අපහසුයි… ඒත් කළයුත්තේත් එයමයි.

ඔබ හැමවිටම සංසන්දනයකට පුරුදු වීම නිසා තමාගේ දුක, ජීවිතය, තවත් අයෙක් සමගයි ගලපන්නේ… දුක අඩු සතුට වැඩි අය සමග ඔවුන් සැමවිටම ඉන්නේ ද්වේශයෙන්… ” තියන තැනට තමයි සේරම” යැයි කියන්නේ එහෙම නිස නොවේද…?

මේ සියල්ලම අප කරන්නේ මනුෂ්‍ය ලෝකයේ සිටිමින් මනුෂ්‍යභාවයකුත් ලබාගෙනමය… අප අටලෝ දහම තුළ සමබර නොවීම ප්‍රබල හේතුවක්… අපායක් නිරයක්… ගැන අසා තිබුනත් දැක නැති බැවින් මේ ලෝකයේ ඇති සියළු දුක් කම්කටොලු තැනකට ඒකරාශී කරමින් ඔබ ලේබල් ගසන්නේ එයත් අපාය ලෙසටමය…

එහෙත් ඔබට කිසිදු දුකක් කණගාටුවක් පීඩාවක් නැතිනම් ඔබ සැබවින්ම අවාසනාවන්තය… ඔබගේ ජීවිතය රෝස මල් යහනාවක් මෙන් සුන්දරනම් එය සැබවින්ම අන්තරාදායකය. ඒ ඇයි? රෝස මලෙහි නටුවෙහො ඇති කටුවෙහි විස ඔබ නොදත් නිසාවෙනි……කිසියම් මොහොතක සිනිදු මල් පෙති පරයා පැමිණි රෝස කටුවක් ඔබගේ ඇනුණ කල එය ඔබට දරා ගත හැකිද?… නොහැකි වේද…? ඒ ඇයි…., ඔබ එවැන්නක් බලාපොරොත්තු නොවූ නිසා සේම පීඩාවක් ඔබ විද නැති බැවිනි…. ඔබේ ජීවිතයත් එසේමයි නේද… ජීවිතේ දුකක් නැතිනම් ඔබට ජීවිතයට මුහුණ දීමේ අවදානමක් අපහසුවක් ඇතිවනවා නොවේද… යම් ගැටළුවකදී……

ජීවිතය ඒකාකාරී වේ නම්,එහි කිසිදා සුන්දර බවක් නැත.කිසිදා හැල හැප්පීමක් නැති කල සැමදා එකම ක්‍රියාදාමයකට ගොනු වූ දින චර්යාවක් නම් ඔබ ගෙවන්නේ එහි කිසිදු ප්‍රාණවත්බවක් නැත.

එහෙත් ගගක් ගලන විටදී එය හැඩයි….එසේම ගල් පරවල හැපෙමින්, බෑවුම් ගිරිදුර්ග පසු කරමින් බාධා සහිතව ගලන ගග ඊටත් වඩ හැඩයි.

ජීවිතයද… එලෙසමයි… බාධා වැඩි වූ තරමට සුන්දරයි… ජීවිතයට පන්නරයක් ලැබෙන්නේ එවිටයි… ධෛර්යය, ශක්තිය, වීර්යය, ගොඩනැගෙන්නේ… ජීවිතයේ යථාර්තය අවබෝධ කරගැනීමේ හැකියාව ලැබෙන්නේ එවිටයි… ජීවිතයේ දුකක් නොලද අයෙකුට පළමු වතාවට එයට මුහුණ දුන් විට ලැබෙන අත්දැකීම, පීඩනය පසු එවන් අවස්ථා හමුවේ මුහුණ දෙන ස්වභාවය වෙනස් බැව් ඔබේ ජීවිතයේ අත්දැකීම් අනුව ඔබ වැටහෙනු ඇත.

එහෙත් ජීවිතයේ දුකක් නොලද අයෙකු එලෙසින්ම ජීවිතය ගෙවා දමනවා හැර ඔහුගේ මනස තුළ ගොඩනැගුන පන්නරයක්, නම් නැත. ඔබ දුක සොයා යා යුතු නැත… එහෙත් දුක පැමිණි විට ඉන් පලා යාමෙන්ද වැළකී ඊට මුහුණ දීමට, දරා ගැනීමට හුරු විය යුතුයි. සසර ගමන ගෙවා යෑමේදී මෙහි නිරන්තරයෙන් දැවටී සිටිනවාට වඩා ඉන් එතෙර වීමට උත්සාහ ගත යුතුයි. එය ලෙහෙසියෙන් කළ නොහැක. නමුත් ජීවිතය තුළ පන්නරය ඒකරාශී කරගත් අයෙකුට එය ඉතා පහසුය… ජීවිතයේ අත්දැකීම් තුළ ප්‍රවීනයෙකු වන්නේ ගැටළු බහුල වූ විටදීය….

එහෙත් ඒ සියල්ල ඔබ විද දරා ගත යුත්තේ  “පැමිණි, දුක් පැණි රසය” යැයි කියන්නා සේ මැදහත් සිතින්මය.

පතල් ගරන්නෙකුට…. මැණිකක් ලැබෙන්නේ අපමණ වූ වෙහෙසක් දැරූ විටය, මන්දොත්සාහී නොවූ විටදීය….එය හරහා ඒ විෂය කෙරෙහි ඔහුගේ අත්දැකීම් සංකලනය වූ කල්හිය.

ජීවිතයේ ඔබේ සෑම සිහිනයක්ම සැබෑ වී ඇත්නම් ඔබ වාසනාවන්තය….එය ඉතා පහසුවෙන්ම ඉටු වී ඇත්නම් ඔබ ඊටත් වඩා වාසනාවන්තය… ඔබ වැනි අයගේ ජීවිත වලටය සුන්දර යැයි කියනු ලබන්නේ….

එහෙත්…. සිහියෙන් සිටින්න… ඔබ ඉන්නේ අනතුරුදායක මාර්ගයක ඔබටම නොවැටහෙනු ඇත. ඔබ එය ගෙවා දමන්නේ පෙර පිනක, කුසලයක මහිමය විය හැකිය. එය අවසන් වූ විට ඔබ වෙත කිසිත් නැත.

එහෙත්… යමක් ඉෂ්ඨ නොවුනත්… ඒ වෙනුවෙන් ඔබ ගත් උත්සහය… ඒ ගැන බිදකුදු පීඩා නොවන්න… ඔබ වැන්නෙක් නම් සැමටත් වඩා, වඩාත්ම වාසනාවන්තය.

ඔබගේ සිතිවිලිත්, ගැටීමත් හේතුවෙන් ගොඩනැගුණ ජීවිතයේ පන්නරයක්, ජවයක්, දරා ගැනීමේ ශක්තියක් නොදැනීම ඔබ තුළ ගොඩ නැගී ඇත… එය එක් භවයකට… නොව… සසර පුරාවටම… අපට ධෛර්යයක් ශක්තියක් දෙන ජවයක්, දිරියක් ලෙසින් අපගේ විඥ්ඥාණය තුළ නිබදවම තැන්පත් වනු ඇත.

ජීවිතය වනාහි දෙවරක් ප්‍රදර්ශනය කළ හැකි චිත්‍රපටයක්ද නොවේ… ජීවිතයේ බොහෝ දෑට මුහුණ දීමට සිදු වන්නේ අත්හදාබැලීම් හෝ පෙර පුහුණුවකින් තොරවමය…. මුහුණ දුන් පළමු අත්දැකීම කුමන ආකාරයේ වුවත් යහපත්ව විද දරාගන්නා නම්…. ඔබ තුළ ගොඩ නැගීමට ආරම්භ කළ ඒ ජවය… ජීවිතය සුන්දරම සිහිනයක් කිරීමට ප්‍රමාණවත්‍ ය…. එබැවින් සුන්දර දේ හඹා නොයන්න – ලෞකික ආසාව නිසා වෙන්, එසේම, සුන්දර දේ තුළ ද කිදා නොබසින්න.කිමෙක්ද… ඔබ වෙත පැමිණෙන්නේ…. ඉන් පලා නොගොස් සම සිතින් දරා ගන්න…

අප අසුන්දර යැයි හැමවිටම ලේබල් ගසන්නේ කුමක්ද… ඒ සියල්ල ඔබගේ සසර මග යහපත් කරවන හේතු සාධක සේම, එදිනෙදා ජීවීතය උදෙසා දැඩි ධෛරියක් සපයන්න හේතු ප්‍රත්‍යයන්ම වන්නේය.

එසේනම් මතුපිටින් ජීවිතයේ සුන්දරත්වය නොදුටු, නොවිදූ විට ජීවිතය අසුන්දර යැයි නොකියන්න. ඒ අසුන්දරත්වය හරහා ජීවිතය ගොඩනගාගන්න.

ස්වර්ණමාලි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *