නොසිතා….සිතෙන දේ…. සිහියෙන් සිතුවහොත් නිවරදිවම වැටහෙනු ඇත,

ඔබ සිතුව දේ ගැන…..

එක මොහොතයි. සිතුවිලි අනන්තයි. අප්‍රමාණයි. ඒත් ඒ මොනවද කියා මතකයට ගන්නවත් බැරි තරම් වේගවත්…. මේ වේගවත්බව මන්දගාමී කරගත හැකිනම්… මේ ක්ෂණයක් තුළ  ඔබ සිත තුළ පහල වූ සිතුවිලි විශ්ලේෂණය කරගත හැකිය.

සිතක් ඇති වීමත්…. ඒ හරහා චෛතසිකයන් පහළ කිරීමත් යන කරුණු දෙකම එක හා සමාන වේගයෙන් අප මෙහෙය වීමට පුරුදු වී ඇති බැවින්… අප තුළ පහළ වන සිතුවිලි මොනවාදැයි කියා සිතා ගත නොහැකි තරම්….

යමක් දුටු විට ඒ පිළිබද සිතක් ඇති වීම ස්වභාවිකයි.එහෙත්… ඒ පිළිබද දැඩි ආශාව හා තෘෂ්ණාව පෙර දැ‍රි කරගැනීමේ හේතුව නිසාවෙන් සිතුවිලි හට ගනී. එබැවින් සිතක් හට ගත්තාට කමක් නැත. ඔබ ඉන් එහාටත් ඒ පිළිබද සිතුවිලි පහළ කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

නොඑසේනම් මේ සිතුවිලි පහළ කිරීමේ පුරුද්ද හේතුවෙන්… එහි වේගවත්බව වැඩි වෙනවා,අප නිරපරාදේ අකුසල්ද රැස් කරගනියි.

ඔබේ සිතට එන සිතුවිලි හසුරුවාලන්නේ කෙසේද? බොහෝවිට ඔබ නොදැන නොසිතා කරන දෑද නැතුවා නොවේ.”මගේ සිතට ආව නිසා කරා.” ඔබත් මෙසේ කොපමණ කියා ඇත්දැයි බලන්න. හිතට ආව යමක් ඔබ නොදැනී ආවා යනු එහි නිවරදි අදහස කුමක්ද? ඔබත් නිරපරාදේ බොහෝ කාලවේලාවල් තුළ පහළ කල සිතුවිලි නොවේද? ඒවා යටි සිත තුළ තැන්පත් වෙමින් ඊට  අවශ්‍ය පසු බිමක් සැකසී ඇත්නම් එය ක්ෂණිකව ක්‍රියාත්මකයි.එහෙත් අප සිතන්නේ, එය “ඉබේ සිදු වුණා” නැතිනම් ” මගේ හිතකවත් නොතිබුණ දෙයක් මේ මා කළේ” කියා…

එහෙත් සත්‍ය කුමක්ද? ඔබ තුළ ඇතිවූ සිතක් හරහා ඔබ උපරිම වේගයෙන් චෛතසිකයන් බිහි කිරීම මත අවස්ථාව ලැබූ කල ක්‍රියාත්මක වූ දෑ නොවේද?

මේ තුළත් ඔබ සිදු කරන ක්‍රියාව සිත මෙහෙයවා ගත් ආකාරය අනුව කුසලය හා අකුසලය ඔබ වටා ගොනු වනු ඇත.

මදක් කල්පනා කර බලන්න. අපට ඇති වන සිතිවිලි වලින් කුමණ ආකාරයේ ඒවාද අප තුළ නිතරම හට ගන්නේ කියා… බොහෝ විට ලෝභය හා ද්වේශය මුල් කරගෙන නොවේද?

බොහෝ පීඩාකාරී නොසන්සුන් පුද්ගලයන්ගේ මුවින් නිතරම පිට වන වචන ගැන හොදින් සිහියෙන් සිතන්න. තමන්ට සිදු වූ යම් දෙයක් හේතුවෙන් ඔවුන් කේන්ද්‍ර කරගන්නේ කුමණ සිතුවිලිද කියා…

“මම දන්නේ නෑ මට කියපු නිසා කළා.”

“ඒ වෙලාවේ මට එසේ කරන්න සිදු වුණා.”

“ඇයි එයාලට විතරද හොද,අපට හොද නැත්ද?”

ඔබේ මේ එකම හිත තුළ නොයෙක් ආකාරයෙන් පහළ වන සිතුවිලි, තවත් මීට වඩා සංකීර්ණ හා දරුණු ආකාරයෙන් විය හැකිය. මේ සියල්ලම ලෝභය, ද්වේශය හා මෝහය මූලික වූ නිසයි.

අද අප ජීවත් වන සමාජය තුළ සිදුවන බොහෝ දෑ හරහා අප තුළ ගොඩනැගෙන සිතුවිලි එකම නියැදියකට ගත් කළ හැකි නොවේදැයි බලන්න.

මේ අපගේ සිතුවිලි තුළද සැගවී ගත් යමක් ඇත.චින්තනය පිනක් කුසලයක් හරහා මෙහෙයවයිනම් ඒ මොහොතේ ඇති වූ හැගීම හා සිත අනුව සිත තුළ වැඩි බලයකින් යුත් කුසලයට අවකාශ ලැබෙනු ඇත. එසේම අකුසලයකටනම් ලෝභය, ද්වේශය, මෝහයටනම් චෛතසිකය සිත හා හැගීම ඇත්තේ වැඩි ධාරිතාව අකුසලයටමය.

සෑම පුද්ගලයෙකුම අවම වශයෙන් දිනකට එක් වතාවක් හෝ ඉහත ආකාරයෙන් සිතුවිලි නිකුත් කරනවා නොවේද?එය ඔබත් සිදු කරනවා නොවේ,… ඉබේම සිදු වනවා පමණි.

ඒ ඇයි….? අප නිතර ඒ සදහා පුහුණු වූ නිසාවෙනි.එබැවින් අප දැන් කලයුත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දෑයි…. සිතක් ඇති වුවද, ඔබ ඒ පිළිබද සිතුවිලි පහළකිරීම අවම කරගන්න. පියවි සිහිය පවත්වා ගැනීම තුළ ඔබට තව තවත් අකුසලයට හේතු වන චෛතසිකයන් ඇති විට මගහරවා ගත හැකිය.

හැමවිටම පියවි සිහිය තමා තුළ රදවා තබා ගැනීමට උත්සාහ කරන්න.සිත හැමවිටම නිදහසේ රදවන්න,ඒ සදහා ඔබ කිසිත් කල යුතු නැත. ඔබට කිරීමට ඇත්තේ කිසිවක් නොසිතා සිටීමය…

සැබවින්ම යමක් කරනවාට වඩා ඉතා පහසුම කාර්යය වන්නේ නොකර සිටීමය. එහෙත් අපගේ සිතටත් එය එසේමදැයි ඔබ ප්‍රායෝගිකව අත්විද බලන්න. අපහසු දේ එයයි. නමුත් උත්සාහ කල ප්‍රමාණයේ තරමටම ඔබ තුළ සැහැල්ලුව හා නිදහස ගොඩනැගෙනු නියතමය.

ස්වර්ණමාලී

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *