මුහුකුරා ගිය සිතිවිලි හමුවේ…!!! ඔබ…?

මුහුකුරා ගිය සිතිවිලි හමුවේ...!!! ඔබ...?

“සතෙන් සතේ එකතු වෙලා රුපියලක් හැදෙනවා…”

“බිංදු බිංදු එකතුවෙලා ගගක් හැදෙනවා…”

“වැලි කැටය කැටය එකතු වෙලා මහ පොළොව හැදෙනවා…”

“පුංචි පුංචි පවුල් එකතු වෙලා රටක් හැදෙනවා…”

බලන්න… මේ හැම දෙයකම අවසාන ඵලය නිර්මාණය වී තිබෙන්නේ කුඩා වස්තූන් එකකට වැඩි ගණනක් ඒකරාශී වීම නිසා නේද? අවසාන ඵලය මහා මේඝයක් සේ බලසම්පන්න ඒකකයක් නේද? ඒ තුළ මහා ශක්තියක් ගැබ් වී ඇත. එසේ නම් මේ එක් රැස් වන මේ පුංචි පුංචි ඒකක තුළත් මහා විශාල බලයක් තිබෙනවා නොවේද?

ඒ එකිනෙක වෙන් වෙන්ව ඇති විට පවතින ශක්තියට වඩා බලයක් ඒ සියල්ල එක් තැන් වූ විට ගොඩ නැගෙනවා නොවේද? එසේ වන්නේ ඒ පුංචි පුංචි වස්තූන් තුළද යම් බලයකට ආකර්ෂණයක් සේම… බලයකට ආරෝපණයක් දිය හැකි යමක් තිබෙන බව නොවේද? එසේ නම් ඒ බලය ශක්තිය හොදට මෙන්ම නරකකටද හැරවිය හැකි බලයක් ශක්තියක් විය හැකි නොවේද?

ඔබත්, කුඩා කල සිට මේ දක්වාම ගෙවා ආ, ජීවිතය දෙස මදකට ඇහැරී බලන්න. යන්තම් බහ තෝරන වියේදී ඔබ වචනයක් කියා ගන්නට ගත්ත උත්සාහය සිහි කරන්න. එක අකුරක් යන්තමින් තතනමින් සිට “අම්මා” “තාත්තා”යැයි කියූ අයුරු… පළමු වචනය කතා කළ දින සිට අද දක්වාම ඔබ, වචනය, වචනය ගළපා… ප්‍රගුණ කරගත් භාෂාවක්, අදහස් හුවමාරු කරගැනීම උදෙසා යොදා ගන්නවා නොවේද? තරුණ වියට එළැඹී ඔබ දැන් එක භාෂාවක් නොව භාෂාවන් කිහිපයක්ම චතුර ලෙස හසුරවනවා නොවේද? ඒ සදහා ඔබ ක්‍රියාත්මක වූවේ කෙසේද? පළමු දින ඇමතූ වචනය සමග, ඔබට අවශ්‍ය, තවත් යමක් පෙන්වමින් ඔබට හැකි අයුරින් හඩ හසුරවමින් යමක් ලබා ගැනීමට උත්සාහ ගත්තා නොවේද? ඒ සදහා ඔබ හැකි සෑම ක්‍රියාවක්ම, අංග චලනය පවා උපයෝගී කරගත්තා නොවේද? පසුව…අන් අය ඔබ පවසන්නේ කුමක්දැයි තේරුම් ගත්තා නොවෙද?

ඔබේ සිතට යමක් අවශ්‍ය විය. දැකීම නිසා… එය ලබා ගැනීමේ හැගීමෙන් හැමවිටම විවිධ අදහස් ක්‍රියාත්මක කළා… ඒ ක්‍රියාත්මක වූයේ ඔබේ සිත තුළ පහළ වූ සිතිවිලි…? එලෙස දිනෙන්… දින… ඔබගේ සිත තුළ සිතිවිලි හට ගත්තා නොවේද? දිනෙන් දින ඒවා හට ගැනීම වේගවත් වූවා නොවේද? එලෙසම ඒ සිතිවිලි එකින්නෙක එකතු කරමින් ඔබ උපකල්පනයක්, නිගමනයන් ගොඩ නගමින් යම් යම් දේ පරීක්ෂණයට, අත් හදා බැලීම් වලට යොමු වූවා නොවේද? එසේ සිතිවිලි එකිනෙක එක් වී සිතිවිලි දහරාවක් ගොඩනැගෙනවා යන ඔබගේ  මුහුකුරා යාම නොවේද? ඔබට යමක් අවබෝධ කර ගැනීමට හොද නරක තේරුම් ගැනීමට ඇති හැකියාව නොවේද? ඒ…

දැන් නැවතත්, ඔබගේ ළමා කාලය සිහි කරන්න… “අම්මා” කීමට මහත් වෙර වීරියක් දැරූ ඔබ හා දැන් මුළු විශ්වයම ගවේෂණය කර ඒ ගැන අන් අයට කියා දීමට තරම් වූ ඔබේ මුහුකුරා ගිය පරිණත බව ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි. ඒ තරමටම ඔබේ දැනුම, සිත විශ්ව කෝෂයක් බදුය…

ඒ පරිණත බව යනු එදා සිට අද දක්වා ඔබගේ සිත තුළ සිතිවිලි එකින්නෙක එක් රැස් කරමින් ගොඩ නග ගත් ලෝකය නොවේද? එසේනම් පුංචි වතුර බිංදු බිංදු එක් වී, ගංගා, ඇළ, දොළ සෑදුණා සේ ඔබේ පුංචි සිත තුළත්, සිතුවිලි එකින්නෙක එක් වෙලා මහා පරිණත සිතිවිලි ගොන්නක් සහිත මුහුකුරා ගිය පුද්ගලයෙක් ලෙසින් ඔබ දැන් නිර්මාණය වී අවසන් ය. මේ ලෝකය තුළ ජීවත් වන සියලුම පුද්ගලයන්ගේ පරිචය සිදුවන්නේ මෙලෙසම නොවේද? ඒ ඒ පුද්ගලයාට අනුව පවුල් පසුබිම හා වැඩිහිටියන් අනුව සිතිවිලි වෙනස් විය හැකිය. එම නිසා පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වී ඇත්තේද ඒ සිතිවිලි හට ගැනීම ඒවා පවත්වා ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම අනුවයි.

එසේනම් පුංචි පුංචි සිතිවිලි ඇති වී මහා විශ්වඤාණයක් ගොඩනැගෙන බව ඔබට අවබෝධයි නොවේද? එසේ නම් අප අපගේ පුංචි සිතට පළමුවෙන්ම ඇති කළ යුතු සිතිවිල්ල යහපත් චේතනාවක් වෙනුවෙන්ම සිදු කළ යුතුමය…. නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කළ යුත්තේ යහපත් සිතිවිලි එකිනෙක සිත තුළ එකතු වීමටය. එවිට සිත තුළ සිතිවිලි ඒකරාශී වී මුහුකුරා ගිය විය බිහිවන්නේ ගුණවත්, යහපත් පුද්ගලයකුමය…

සසර පුරාම මෙලෙස යහපත් සිතිවිලි සිත තුළ එක් රැස් කරමින් මහා විශ්වයම බලයක් ගොඩනැගූ හේතුව නිසාමයි. උතුම් සම්බෝධිය සදහා පාරමී පුරන්නට, උතුම් බුද්ධත්වය ලබන්නට තරම් බෝධි සත්වයාණන් වහන්සේට ධෛර්යය, ශක්තිය, ලැබ ගත්තේ…

දිය බිදු බිදු එක් වී ගගක් හැදෙන්නා සේ, යහපත් සිතිවිලි එක් වී මෝහාන්ධකාරය සිද බිද දැමිය හැකි ප්‍රඥාලෝකයක් උන්වහන්සේට දැල්විය හැකි විය.

එබැවින්, පුද්ගල සන්තානය තුළ ඇතිවන හැම සිතිවිල්ලක්ම එක්වන්නේ සිත් නම් වූ මහා සයුරටය. සසර පුරා එසේ පහළ කරගත් සිතිවිලි ඒ ඒ පුද්ගලයාගේ අනන්‍යතාවය මත ඒ ඒ පුද්ගලයාට අදාළ විඥාණය තුළ ගබඩා වෙමින් සසර  පුරා භවයෙන් භවයට ප්‍රතිසන්ධිය සදහා ඉඩ ප්‍රස්ථාවක් ලබා ගනී.

එබැවින් මේ එකතු වන සිතිවිලි නිරන්තර පිරිපහදු කළ සිතිවිලි ලෙසම එක් කර ගැනීමට සිහි තබා ගත යුතුය. මුහුකුරා ගිය සිතිවිලි, සිතිවිලි පතයක් ලෙසින් සසර පුරා අප ගෙනයයි.  ඒවා යහපත් ඒවා නම් අප කිසි විටකත් බිය වියයුතු නැත. එය සසර නිමාවට ආලෝකයක් බැවිනි. එහෙත් අයහපත් පුංචි පුංචි සිතිවිලි එක් වී ඔබ තුළ මුහුකුරා ගොස් තිබේනම්… ඔබ සැබැවින්ම බිය වියයුතුමය… ඒ මක් නිසාද යත්… බිංදු බිංදු එක් වෙලා ගගක් ගලන්නා සේ අයහපත් සිතිවිලි එක් වී සෑදෙන මහා ගග ඔබ පණ පිටින් නිරයේ මෙන් දවන ලෝ දිය ගංගාවක්ම වන්නේය.

සසර පුරා ඔබ එසේ එක්කළ සිතිවිලි සියල්ල අද දවස හා මේ භවය තෙක් ගණනය කළ හැකිද? බොහෝ විට යහපතට වඩා අයහපත් සිතිවිලි ප්‍රමාණය උපරිම බව කිව යුතුමය.

සිදු කළ යහපත් ක්‍රියා හා පහළ කළ යහපත් සිතිවිලි හේතුවෙන් මනුසත් භවයත් ඔබට ලැබුණද මනුසත් භවය තුළ ඔබ වෙහෙසකාරී බව විදී නම්… අතෘප්ති කරයි නම්… විඩා බරයි නම්… ඒ ඔබ තුළ බිංදු බිංදු ලෙස එක්කරගන්නා වූ අයහපත් සිතිවිලි වල බර පැන වෙනුවෙනි.

යමෙක් වෙනුවෙන් වැරදි සිතිවිලි පහළ කළ ඔබ, එය ඉන්පසු නැවතත්, සිදු නොවෙතැයි ඔබ සිතනවාද… ඔබත් නොදැනිම, එය වරින් වර ඔබ සිදු කරයි. එක් එක් සිතිවිල්ල ලෙස සිත තුළ පහළ වුවත්, ඒවා ක්‍රියාත්මක නොවුනත් මේ සියල්ල තැන්පත් වන්නේ සිත තුළය. ඒ සියල්ල එකට එක් වූ කළ මහා අයහපත් බලයකි. ඔබත් නොදැනීම අපරාදයක පැටලී හමාරය. යහපත් සිතිවිලිද එසේමය. සියල්ලම තැන්පත්ය. එහි බලය ඒකරාශී වූ කළ උත්පාදනය වූ ශක්තිය ඔබ නොසිතූ ලෙස මහා ව්‍යසනයකින් ආරක්ෂා වන පවුරක් වැනිය.

බොහෝ විපත් අනතුරු වලදී එයට ගොදුරු වන ජීවිත මෙන්ම ජීවිත ගලවා ගත් පුද්ගලයන් පවසන දෑ ඔබ අසා තිබේද? “මට හිතා ගන්නවත් බෑ මම බේරුණේ කොහොමද කියා” ඒ ඔබ බිංදුවෙන් බිංදුව සසර පුරා එක්කළ යහපත් සිතිවිලි වල බලය එකවිට ඔබට පවුරක් වූ අයුරුය. සිතිවිලි යහපත් වූ විට… ඔබද සෞම්‍ය, ප්‍රියමනාප පුද්ගලයෙකු වනවා පමණක් නොව නිවැරදි සිහිය පවත්වා ගනිමින් දෛනික කටයුතුද නිසි ආකාරව සකසුරුවම් කර ගැනීමේ හැකියාව ඔබ තුළ හටගනු ඇත.

කුඩා කළ සිතුවිලි වල වේගය හා දැන් සිතිවිලි වල වේගයෙහි වෙනස ඔබට තේරුම් ගත හැකි නොවේද? කුඩා කළ සිත තුළ ඇතිවන්නේ පිවිතුරු සිතිවිලිය. එහෙත් වැඩිහිටි ඔබ තුළ දැන් පහළ වන්නේ ලෝභය, ද්වේශය, මෝහය, වෛරය සහිත සිතිවිලිය. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද…?

අවේගකාරී බවින් මිදීමය… සිතිවිලි, සිතිවිලි අතර කාල පරාසය වැඩි කරලීමය. එය පහසු කාර්යයක් නොවුණත් පුරුදු පුහුණු කළ විට… සංයමය ඔබ තුළ ගොඩනැගුණු කළ, එය ඉතා පහසු කටයුත්තකි.

ලෞකික ජීවිතය තුළ ඔබගේ එකම පැතුම යහපත් ජීවිතයක්… අග හිගකම් දුක් ගැහැට වලින් තොර වූ දීර්ඝායුෂ නොවේද?

එසේ නම් සසර පුරාත් ඔබ ඉපදුණ හැම භවයකම සිහිනය එයම නොවේද? එසේ නම් තවත් ඔබ පමා විය යුතු නැත. සිත තුළ එක්රැස් කරගත යුතු සිතිවිලි, චේතනා කවර ආකාරයේ ඒවාදැයි ඔබම සිහි කරගත යුතුය.

බිදෙන් බිද එක් කළ යුතු වන්නේ යහපත් සිතිවිලි හා සමගාමී වූ චේතනාවන්ම විය යුතුය. එසේ එක් වූ යහපත් සිතිවිලි වල ධාරිතාවය මත ඔබට අපා දොරටුවෙන් පලා යාමේ හැකියාව වර්ධනය කරගත හැකි වනු ඇත.

මේ සියල්ල ලෞකික ජීවිතය සැපවත් කරනවා පමණක් නොව, ඔබගේ දූ දරුවන්, ප්‍රියයන් යහපත් කරවනවා පමණක් නොව මේ සසර ගමන තුළ අතරමං වීමද වැළකෙනු ඇත. මෝහාන්ධකාරයෙන් මිදෙණු ඇත. සිත සමාධිය, දැහැන, ධ්‍යානය තුළ අනුගත කරගැනීමේ හැකියාව තුළ ලෝකෝත්තර සුවය වෙත දොරටු විවර වෙනු ඇත.

මේ විශ්වය තුළ ජීවත්වන්නවුන්ගේ එකම අධිෂ්ඨානය ඉපදීම දුකක් බැවින් නැවත ඉපදීම නවතා ගැනීමය. ඒ සදහා ඔබට ශක්තිය දිරිය බිදෙන් බිද රැස්වන යහපත් සිතිවිලි වල බලයම වේ. මෙතෙක් ලොව පහළ වූ සියලු බුදුන් වහන්සේලාගේ ධර්මය අපට ඒ සදහා මග පෙන්වයි.

සිත සමාධිය, දැහැන, ධ්‍යාන දක්වා ඒකාග්‍ර කර ගැනීමෙන් මේ සියලු යථාර්තයන් අවබෝධ කර ගැනීමට න්‍යාය තුළ ප්‍රායෝගික වීම වඩාත් උචිත බව නම් තේරුම් ගත යුතුමය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *