මෙත් වඩන්නේ කොහොමද?

මෙත් වඩන්නේ කොහොමද?

බුදුන් වහන්සේ සදහන් කළ පරිදි “වෛර කරන දනන් ළග අප වෛර නොකර වසමු.”

මුලින්ම මෙත් වැඩිය යුත්තේ තමන්ටමය. නමුත් නූතන බෞද්ධායා අගාධයට වැටී ඇත්තේ එතනය. අසුභ භාවනාව වරදවා වටහා ගනිමින් තම කය පිළිකුළට හේතු වන අසූචි මුට්ටිකයක් ලෙස හන්වඩු ගසමින් කයෙහි මූලික හරය අමතක කරමින් ඇසෙහි සිට නියපොත්ත දක්වා තමාගෙන් බොරුවට ඈත් කරමින් කයට අපහස කරන්නට පුරුදු පුහුණු වී ඇත. පුරුදු පුහුණු කරනු ඇත. භාවනාව කීයක් හෝ උපයාගන්නා මාවතක් කොට ගනිමින් තමන් ද භාවනා නොකරමින් අනුන්ටද කරන්නට උගන්වන උත්තමයෝ අද සුලභය. මෛත්‍රිය වැඩිය යුත්තේ තමන්ගේ සිත මුළු මහත් විශ්වයට පැතිරී යන ලෙසමය. තමන් අමතක කර දන් වඩන මෛත්‍රිය ඇති කරන්නේ කා ලගද? යන්න ගැනවත් අවබෝධයක් නැත්නම් එවැනි අයෙකු වඩන්නේ මෛත්‍රිය නොවේ. “අන් අය සුවපත් වේවා” යන ප්‍රාර්ථනා කිරීම පමණකි.

මෛත්‍රිය පුරන්නට නම් තම සිත තුළ සැනසිලිදායක සිතිවිලි ඇති කරමින් මනසෙහි සාධනීය පිවිතුරු බවක් ඇති කළ යුතුය. කනස්සල්ල, දුක, තරහ, ක්‍රෝධ සිතිවිලි වලින් ඈත් වී සිතෙහි සතුට සොම්නස ලැබෙන දේ හා එසේ කල් යැවීමට බාධා වන දේ ජීවිතයෙන් ඈත් කළ යුතුය. සිත මෛත්‍රියෙන් ආවරණ කරන විට කිසිදු විටක පාපී සිතිවිලි සිත තුළට නොපැමිණේ. එබැවින් හූල්ලමින් ගෙවන ජීවීතයෙන් ඈත් වී සන්සුන්ව විසීමේ මූර්තියක් බදු ප්‍රභාෂ්වරභාවයක් සිත තුළ ජනිත වේ. මෛත්‍රිය සිත තුළ වැඩෙන්නට වැඩෙන්නට අන්‍යයන්ගෙන් පැමිණෙන පීඩාකාරී දේ තුළට ඔරොත්තුදීමටත් සිත තුළ නැගෙන කෝපය, පීඩාකාරී හැගීම් යටපත් වී සිත සන්සුන්ව තබා ගැනීමටත් හැකියාව ඇති වේ.

එබැවින් සිතන්න…

  • තමන් වෛරයෙන් තොරව, කනස්සල්ලෙන් තොරව සිටින විට අන් අයට මෙත් වැඩිය හැකිය.
  • තමන්ට මෙත් සිතක් නැත්නම් අන් අයට මෙත් සිතක් පැතිරිය නොහැක.
  • තමන් තමන් තුළ ඇති මෛත්‍රියෙන් සුවපත් නොවන්නේ නම් තමන් ළග ඇති යැයි සිතන මෛත්‍රියකින් තවකෙකුට ඵලයක් ලබා දිය නොහැක.
  • අනුන් ප්‍රීතිමත් කිරීමට පෙර තමන් ප්‍රීතිමත් විය යුතුය. ප්‍රීතිමත්ව විසිය යුතුය.
  • ගින්නකින් ගින්නක් නිවිය නොහැක. එබැවින් වෛරයක් සංසිදීමට නම් අවෛරයම තිබිය යුතුය.

එබැවින් මෙත් සිත ඇති කර ගනිමින් සසර දුක් ගිනි නිවීමේ මග අවධි කර ගනු රිසි මිනිසුනි… මෝහයේ ගිනිදැල් වලින් කුමක් හෝ අවුලුවා හරිමින් සිසිලට උණුසුම පතනවා වෙනුවට මහා ගින්නක් සිසිල් කළ හැකි මෙත්තාව සිත තුළ නිවැරදිව පුරුදු කරමු. ඒ සදහා ජාති කුළ ආගම් ස්ත්‍රී පුරුෂ භේදයන්ගෙන් දුරු වී මනුසතා, තිරිසනා යන භේදයකින් තොරව පෙනෙන, නොපෙනෙන භේදයකින් තොරව සියලු සත්ව ප්‍රජාවටම මෛත්‍රී කරමු. මෛත්‍රී වඩමු. ඒ සදහා තමන් තමන්ටම මෛත්‍රී කිරිමේ නිවැරදි කලාව ප්‍රගුණ කරමු.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *