මනෝජ ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර ජේතවනාරමයේ වැඩ වසන සමයේ එක් භික්ෂු කෙනෙකු අරඹයා මේ ජාතක කතාව වදාළ සේක.

ජේතවනාරාමයේ වසන එක් භික්ෂු කෙනෙක් දේවදත්ත ස්ථවිරයන්ට හිතවත් පාක්ෂික භික්ෂුවක සමග එක්ව වාසය කළේය. තවත් එකී භික්ෂුනමක් ඔහුට වැඩ කැමතිව ඔහු කැදවා ගෙන සර්වඥයින් වහන්සේ ළගට ගොස් එපවත් උන් වහන්සේට දන්වා සිටියේය.බුදු හිමි “මේ කියන දේ සැබෑ දැ”යි ඇසූ කළ “එසේය ස්වාමීනි, මම දෙව්දත් ස්ථවිරයන්ගේ පාක්ෂික නමක් ඇසුරු කරමි” යි පිළිතුරු දුනි.

“මහණෙනි, පෙරත් මේ මහණ එසේ නුසුදුස්සන් ආශ්‍රය කොට අවසානයේ විනාශ වී ය”යි වදාළ බුදුන් වහන්සේ භික්ෂූන්ගේ ඇරයුමින් අතීත කතාව ගෙන හැර දැක්වූ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි එක් වනයක සිංහ යුවළක් වාසය කළහ. ඔවුන්ට පුතෙක් හා දුවක් වූහ. මනෝජ නම් සිංහ පෝතකයා වැඩි විය පැමිණි කල සිංහ ධේනුවක් බිරිද කොට ගත්තේය. මනෝජ සිංහයා දෙමාපියන්ට, නැගණියන්ටත් තමාට හා බිරිදට ගොදුරු සොයා ගෙනවිත් රක්ෂා කලේය. දිනක් මනෝජ සිංහයා ගොදුරු සොයා යන කල ගිරිනම් සිවලෙක් හමු විය. සිවලා සිංහයාට මහත් ගෞරව සැලකිලි හා යටහත් පහත්කම් දක්වා “මම ඔබ වහන්සේට සේවය කරන්නට රිසියෙමි”යි කීය. සිංහයා “යහපතැ”යි කියා ඌ තම ලෙනට කැදවා ගෙන ගොස් තමන්ගේ අයට දක්වා ලීය. ඒ දුටු පිය සිංහයා “පුත්‍රය, මේ නීච සිවලා කෑමකට මෙහි කැටුව ආවෙහිද? මූ සමග තිබෙන ඇසුරෙන් නුඹට සිදුවන්නේ අවැඩක්මය.මූ වහාම එළවා දමන්නැ”යි උපදෙස් දුනි. මනෝජ සිංහයා පියාණන්ගේ නුවණැති වැඩදායක බස් නොඅසා ඇති පදම් නොයෙක් මස් දී සිවලා හොදින් පෝෂණය කළේය. දිනක් සිවලා මනෝජයන්ට ලංවී මෙසේ කීය,”සිංහ රාජයාණෙනි, ඔබගේ සුවච අතවැසි මම ඔබ ගෙනා නොයෙක් මස් කා පුරුදු ඇත්තෙමි. එහෙත් කිසිදාක අශ්ව මස් කා නැත. මට අසෙකු මරා ගෙනවිත් ඔබේ හිතවත් ගැත්තාගේ ආශාව සපුරනු මැනවි.”

“ඒ දේ මට ලොකු වැඩක් නොවේ. මම නුඹට එය ඉටු කර දෙමි. ඒත් කැලයේ අශ්වයින් නැත, උන් සිටින්නේ කොහිදැ”යි මනෝජ සිංහයා ඇසීය.”ස්වාමීනි, බරණැස් රජුට අශ්වයන් බොහෝ ඇත. උන් නාවන්නට හැමදාම ගගට ගෙනෙයි. ඉන් එකෙක් අල්ලාගැනීම ඔබට සුළු දේකැ”යි සිවලා වහාම උත්තර දුන්නේය. සිංහයා අස් ගොව්වන් අසුන් නාවන වේලේ තොටුපලට කඩා පැන අශ්වයෙකු අල්වා බෙල්ල කඩා ඌ ඩැහැගෙන ගල් ලෙනට ගියේය. එදින පවුලේ හැමටත් සිවලාටත් ඇති තරම් අශ්ව මස් ලැබුණි.

ආහාර ගැනීමෙන් පසු තම පුත්‍රයා ඇමතූ මහළු සිංහ රජු,”පුත්‍රය මනෝජයෙනි, මේ මස් කෑ සිංහයන්ගේ ආයුෂ ඉතා කෙටි විය. අශ්වයින් යනු රජුගේ වාහනයයි.තම වාහනයට උවදුරු සිදු වන විට රජහු උපද්‍ර්‍රවය තුරන් කරති. මෙතැන් පටන් අශ්ව මාංශයට ඇති ආසාව අත්හරිනු”යි අවවාද දුන්නේය. මනෝජ සිංහයා පියාණන්ගේ ඔවදන නොඅසා ගිරි නම් සිවලාගේ මෙහෙය  වීම මත දිගටම රජුගේ අශ්වයන් මැරීම සිදු කළේය. මේ ඇසූ රජතුමා වාසල් භූමියේම පොකුණක් තනවා, එහි අසුන් නාවන සේ අස් ගොව්වන්ට කීය. අනතුරුව දුනු වායන් කැදවූ ඔහු වෙනදා පුරුද්දට අශ්වයින් මැරීමට එහි එන සිංහයා කෙසේ හෝ නසා දමනු” යි අණ කළේය.

අස් ගොව්වන් පොකුණේ අසුන් නාවන අතරේ හාත්පසින් දුනු හීගත් දුනු වායෝ සිංහයා එන තෙක් රැකගෙන උන්හ. සිංහයා පවුර පැන පොකුණ අසලට එනු දුටු ඔවුහු ඌ අසකු ඩැහැගෙන අමාරුවෙන් යන විට වඩාත් නිවරදිව විද්ද හැකි යැයි කියා, ඉවසා බලා සිටියේය. මනෝජ සිංහයා අශ්වයෙකු ඩැහැගෙන රැගෙන යන විටම දුනු වායෝ ඌට හතර වටින්ම විද්දෝය. හී පහර ලද සිංහයා මරණ බියෙන් බියපත්ව කෑගසා අශ්වයා අතහැර දමා මරු විකල්ලෙන් මහත් පිමි පැන තම ලෙනට ගොස් ඇද වැටුණි. සිංහයාගේ මර හඩත් දුනු වායන්ගේ සතුටු හඩත් ඇසූ සිවලා “මගේ යාළු සිංහයා කම්මුතු විය ඒ නිසා මටත් උදර පෝෂණයට තැබූ පහසු මාර්ගය නැති විය. කෙසේ වුව සිංහයා වුනත් මිය ගිය පසු කවර ඵලයක්ද? මම වහාම මේ ප්‍රදේශය අතහැර යමි ” යි කියා වහාම එසේ කළේය.

මනෝජ සිංහයා දුක්ඛිතව ගල් ලෙනෙහි වැටී මියගියේය. ඔහුගේ පියා, මව, සොයුරිය හා බිරිද දේහය වටා සිට ගෙන දුක වූහ. “මගේ මේ පුත්‍රයා අසත්පුරුෂයන් ඇසුරු නොකරන්නැයි මා කී දේ නොඅසා නොකල්හි මරු මුව වැටුණි”යැයි සිංහ පියා කීය.”වැදූ දරුවන් උව නොකීකරු වීනම් මෑණියන්ගේ ඇල්මක් නැත. මගේ අකීකරු පුත්‍රයා නීච අසත්පුරුෂයාගේ බස් අසා දැන් මෙහි ලේ වගුරුවා ගෙන නොවී”යැයි සිංහ මව කීවාය.

“පියාණන් හා මෑණියන් දැන් කීවා සේ යමෙක් නීච පවිටයන්ගේ බස් අසා උන් කීවා සේ කළ මගේ මේ සොයුරා මෙසේ දරුණු මරණයකට ගොදුරු විය” යි සිංහ සොයුරිය කීවාය.

“උත්තම වංශයට අයත් මගේ ස්වාමිපුරුෂයා නීච වංශයට අයත් අධමයෙකු හා එක් වීම නිසා මෙවන් විනාශයකට පත් වීය.”යි සිංහයාගේ බිරිද කීවාය.

බුදු රජාණන් වහන්සේ, “මහණෙනි, නීචයා නීචයෙක්ම ඇසුරු කරයි. නීචයා හා උත්තමයාගේ විශ්වාසවන්තකම්ද, උත්තමයා හා නීචයාගේ විශ්වාසවන්තකම්ද, මනෝජ සිංහයාගේ හා ගිරි සිවලාගේ ඇසුර වැනි”යයි වදාරා,”එසමයෙහි මනෝජ සිංහයානම් මේ භික්ෂුවය. ඔහු නොමග යැවූ ගිරි සිවලා නම් දේවදත්ත ස්ථවිර ය. සිංහයාගේ බිරිද ඛේමා නම් ස්ථවිරිය. සොයුරිය යශෝධරා ස්ථවිරිය. මනෝජ සිංහයාගේ පියා වූ නුවණැති මහළු සිංහයා නම් දැන් බුද්ධත්වයට පත්ව සිටින මම් ම වෙදැ”යි අතීත කතාව සහ වර්ථමාන කතාව ගළපා දැක් වූ සේක.

උපදේශය;- නීච අධමයන් හා පවත්වන ඇසුරෙන් කවදා හෝ විපතක්ම සිදු වේ.

කල්ප ලොකුවිතාන.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *