ලෞකිකත්වයෙන් හරහා ගොඩනැගෙන පන්නරය අධ්‍යාත්මයේ දොරටු විවර කරන ජවයයි….!!!

අප ජීවත් වන සමාජය තුළ පුද්ගලයාගේ ජීවන රටාව ගෙවීයන්ගේ නොයෙක් බැදීම්, වගකීම් හා යුතුකම් වටකොට ගනිමිනි. මේ සියල්ලම සාමාන්‍යයෙන් මිනිසා ගෙවන ලෞකික ජීවිතය තුළ යම් ක්‍රමවත් බවක් ඇති කරමින් යම් සාරධර්ම පද්ධතියකට අනුකූල වෙමින් පවතී. පුද්ගලයාගේ ස්වභාවය හා ලෞකිකත්වය තුළ වූ සැප සම්පත් භුක්ති විදීම, පරිහරණය, ඒ ඒ පුද්ගලයා මේ විශ්වය තුළ වූ සාරධර්ම වලට තමා, තමාවම ශ්‍රේණි ගත කොට ගනී. ඒ සසර පුරා තමා විසින් තම සිත ලෝභ, ද්වේෂ, මෝහ තුළ අනුගත කරගත් වපසරිය මතමය.

මේ සීමාවන් පුද්ගලාගෙන් පුද්ගලයාට වෙනස් අතර ඔවුන් අතරද මේ පෘථග්ජන ස්වභාවයන්ගේ නොයෙක් සීමාවන් සහිතය. එසේ වන්නේ ඔහු මෙහෙය වන සිත හා සිතුවිලි වල ක්‍රියාකාරීත්වය අනුවය. මෙසේ සියල්ලෝම පෘථග්ජනයන් වුවද ඔවුන් අතරද පවතින ඒ ස්වභාවයේ දැඩි බව, සෞම්‍ය බව මතද ඔවුනොවුන් අතර එකිනෙකාට අමතක වූ විවිධ තාඩන පීඩන එල්ලවීමනම් සුලභය.

පොරොන්දු දීම, ඉටු කිරීම හා ඒ තුළ ගොඩනැගෙන විශ්වාසයන් කඩ කිරීම් මත ඇති වන්නා වූ අවිශ්වාසයත් මේ සියල්ල ඇත්තේ ලෞකිකත්වය තුළ ගිලී සිටින්නා තුළමය. ආදරය, කරුණාව, සුහද බව. මෛත්‍රිය, විශ්වාසය සේම නීවරණයන්ගෙන් යුක්ත වූ මනුස්ස කොටසකි. මොවුන් අටලෝ දහම තුළ නිරන්තරයෙන් දෝලනය වෙමින් කම්පා වන ඇත්තෝමය. පීඩාව, බිය, තරගය, නොසන්සුන් බව කරපින්නාගත් උදවියමය. කෙලෙස් වලින් ගහණ වූ විදීමේ හා විදවීමේ ආශාව පොදි බැද්ගත් පෘථග්ජනයෝමය.
දිනක මේ විශ්වයම තම අණසක පතුරන ආර්යය උත්තමයෙකු බවට පත් වන්නේද මේ පෘථග්ජන ස්වාභාවයෙන් සිටි අයෙකුම නොවේද?…

එතෙක් ඔහුද මේ සමාජය තුළ ජීවත් වේ. ගැනිය නොහැකි තරම් භවයන් තුළ මේ විශ්වය තුළ ඉපදී බොහෝ විට පස් පව්ම කරන්නට ඇත. සමාජ නීතියට, සම්මතයට පටහැනි වන්නට ඇත. එසේ කොපමණ කාලයක් ගෙවා පැමිණියද, දිනක කුමක් හෝ හේතු සාධකයක් හමුවේ මේ ජීවන රටාව වෙනස් වී හෝ වෙනස් කරගන්නට ඇත.

එසේ ඇති වූ කුඩා විපර්යාසය ටිකෙන් ටික ක්‍රමයෙන් වෙනස් කරගනිමින් පෘථග්ජන ස්වාභාවයේ දරදඩු බව සෞම්‍ය කරගනිමින් සංවර වී ඇත. එය නිවැරදිව තේරුම් ගත් තැනැත්තා ඊට නිවැරදිව මුහුණ දුන් විට ඔහු තුළ ගොඩනැගෙන පන්නරය පිටුවහලක් වනුයේ තෘෂ්ණාව හේතු මූලික වූ සීමාවන් ඉක්මවා යාමේ ජවය සදහායි. ඒ අධ්‍යාත්මිකබාවයේ යම් පැති කඩයන් සීමාමායිම් ඉක්මවා යා හැකි පන්නරයයි.
මේ ලෞකිකත්වය තුළින් එක විටම විදීමට ඉතාමත් අසීරුමුත් ඒ ජීවිතය තුළ හටගන්නා හැලහැප්පීම් හා ඝට්ටනයන් තුළ උද්දීපනය වන දුර්වල හැගීම් නොව, ඊට ප්‍රතිවිරුද්ධ වූ යම් බලයක්, ශක්තියක් තමා තුළ ගොඩනගා ගැනීමට තරම් ඔබ ඥාණවන්ත වන්නේනම් ඔබ සැබවින්ම පෘථග්ජන ස්වභාවයෙන් මිදීමේ හා ආර්යය මගට පිළිපන් වීමේ දොරටුව අභියසට සේන්දු වනවා නොවේදැයි අවබෝධ කරගත් හැකි වනු ඇත.

ලෞකික, අධ්‍යාත්මික, පෘථග්ජන, ආර්යය පුද්ගලයින් මේ ගැටලුව ඇත්තෙන්ම වචන හරඹයක් පමණි. මේ මෙසේ යැයි අපට වෙන් කර හෝ පෙන් වා දීමට හෝ හදුන්වා දීමට නොහැක. මෙය සැබවින්ම අත්දැකිය හැක්කේ ප්‍රායෝගිකව තමා තුළමය.
ලෞකික ජීවිතය තුළ ඇතිවන විෂමතා හමුවේ සිත හා සිතිවිලි තුළ සමතුලිත බව රැක ගනිමින් සෞම්‍ය ලෙස සිතෙහි ස්වභාවය නීවරණයන්ගෙන් තොරව පවත්වා ගැනීමට පුරුදු පුහුණු කරගැනීමේ වෑයමක නිරතවන්නා අධ්‍යාත්මය වෙත ඉතාමත් සෞම්‍යයෙන් දෝලනය වේ.
තමා තුළම තමාට විනයක් හා පාලනයකට යටත්ව සිත මෙහෙයවා ගන්නට මනසිකාරය නිරවුල් කරගත් යුතුයි. සිත නිහඩව, මධ්‍යස්ථව තබා තමාගේ ක්‍රියාකාරකම් සදහා සිතෙන් විනිශ්චයක් ගත හැකි තරමට සිත පත් කරගත යුතුය.

සිත සමග කතිකාවට මුලපිරිය යුත්තේ ඔබේ සිත අන්තවාදී නොවන්නේනම් පමණි. ඔබ සිතත් සමග ගණුදෙනු කරනවිට, ඔබත් සිතත් දෙදෙනෙක් යැයි සිතා පිළිසදරක යෙදීම සුභය. ඒ හරහා ගොඩනැගෙන විශ්වාසනීයත්වය ඔබට සැබවින්ම කලණ මිතුරෙකි.
ඒ ඔබ තුළ ගොඩනැගෙන කලණ මිතුරා පෘථග්ජන ස්වභාවයන් සෞම්‍ය කරමින් ආර්යය මගට අවතීර්ණ වීමට සැරසෙන්නෙකි. එසේනම් පෘථග්ජන ඔබ තුළද ආර්යය උත්තමයෙකු ගොඩනැගෙනු ඇත. ඒ ඔබ පෘථග්ජනයෙකු ලෙසින් ලෞකික ජීවිත හඹා යද්දී මුහුණ දුන් විවිධ පීඩන දුෂ්කරතා මැද ඇති වූ හැලහැප්පීම් මත ගොඩනගා ගන්නා දැඩි ජවය ඔබ තුළ ආර්යය පුද්ගලයෙකු නිර්මාණය කරයි.
ලෞකිකත්වය දැඩි පීඩාව සුමට ලෙසින් දරා ගත් ප්‍රමාණය හරහා ඔපමට්ටම් වනුයේ ඔබ තුළ වැඩෙනා ආර්යය උත්තමයායි. ඒ උත්තමයා තම ආර්යය මගට වූ පොරොන්දුව දැඩි ලෙසින් අධිෂ්ඨාන කරගනියි.

එසේ නම් ඔබ තුළත් ගොඩනැගෙන ආර්යය පුද්ගලයාට හැමවිටම ඉඩ දෙන්න. ඒ සදහා ජවය ඔබ ලෞකිකත්වය හරහා ලබා ගනිමින් ස්ථාවර වන්න.
එය ඔබට කළ නොහැක්කක් නොවේ. පවතින ජීවිතය තුළ සිටම සිත එයට මෙහෙය විය හැකිමය. ඒ මන්දයත් ලොව පහළ වූ සියලු බුදුන් වහන්සේලාද, පසේ බුදු මහ රහත් උත්තමයන්ද පළමු ප්‍රතිසන්ධිය මේ විශ්වය තුළ ඔවුන්ගේ සසර ගමන තුළ පෘථග්ජනයන් ලෙසින් බැවිනි.
පළමුව අප පෘථග්ජනයෙකු ලෙස ප්‍රතිසන්ධියක් මේ විශ්වය තුළ ලැබිය යුතුමය. ඒ හරහා ලබන පන්නරය ඔබ තුළම වැසී තිබෙන ඔබේ මහා රහත් බෝධියට වූ රහස් මග විවර කරවන සංකේතයම වනු ඇත.

ස්වර්ණමාලි

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *