බුදුරදුන්ගේ ශ්‍රී හස්තය

බුදුරදුන්ගේ ශ්‍රී හස්තය

බුද්ධ චරිතය අළලා ශ්‍රී හස්තයෙහි විද්‍යාමාන වූ රේඛා ලක්ෂණ මවා පෙන්වීම මෙම ලිපියෙහි අරමුණ වන්නේය. මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ වෙත පිදෙන අපරිමිත භක්ති ප්‍රණාමයෙන් යුතුව ශ්‍රී පාද මූලයෙහි වැද වැටෙමින් ශ්‍රී හස්තය පිළිබද මනඃකල්පිත හස්ත රේඛා විග්‍රහය මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරමි.

  • බුදු රැස්

දාර්ශනික අතක මෙන්ම චෛතසික අතක දැකිය හැකි විශේෂ ලක්ෂණ විද්‍යාමාන වුවද, සමස්ථ වශයෙන් සමීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ බුදුන් වහන්සේ චතුරශ්‍රාකාර අත් හිමියකු බවය. සුසිනිදු මාංශ පේශීන්ගෙන් නිර්මිත රන්වන් පැහැති චර්මයකින් වැසී ගත් උන් වහන්සේගේ අතුල් තල සිසාරා සවනක් ඝන බුදු රැස් විහිදුනු සේක. ශ්‍රී හස්තයෙහි රවි, චන්ද්‍ර, ගුරු, බුධ, කුජ පර්වත අති ධාවන බලයෙන් යුක්ත වූයේය. බුදුන් වහන්සේ අපිස් දිවියකට ඇළුම් කළ බැවින් ශ්‍රී හස්තයෙහි සිකුරු මණ්ඩලය දුර්වල වී තිබුණු අතර ශනි මණ්ඩලය බෙහෙවින්ම උඩට නෙරා විත් තිබෙන්නට ඇතැයි මම සිතමි. සිකුරු මණ්ඩල මත පද්මයක සලකුණක්ද, චන්ද්‍ර මණ්ඩලය මත අඩ සදක ලකුණක්ද විද්‍යාමාන විය. සෑම මණ්ඩලයකම දක්ෂිණ වෘත්තාකාර සුළි ලක්ෂණ දර්ශනය වීම ශ්‍රී හස්තයෙහි දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයකි.

  • ප්‍රධාන රේඛා

පූර්ණ බලයෙන් යුත් ජීවන රේඛාවක් (ජී-ජී) බුදුන් වහන්සේ සතුය. එය ගුරු මණ්ඩලයෙන් මතු වී අර්ධ චන්ද්‍ර වංකයක ස්වරූපයෙන් සිකුරු මණ්ඩලය වටා විහිද ගොස් මනිබන්ධන රේඛා වලින් අවසන් වී තිබේ. බලවත් අධිරාජයෙකුට දාව උපත ලැබීමට මෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වීමටද ජීවන රේඛාවේ එකී පිහිටීම අනුබල දී ඇති බව පෙනේ. භාග්‍යවතුන් වහන්සේ කරුණා නියාන වූ සේක. අසරණයන්ට සරණ වූ සේක. එවන් උත්තරීතර ආධ්‍යාත්මයක් උන්වහන්සේට පහළ වීමට ශ්‍රී හස්තයෙහි(හ-හ) අක්ෂර වලින් දැක්වෙන ත්‍රිශූල ලක්ෂණයකින් ආරම්භ වී ඇති හෘදය රේඛාව මග පෙන්වන්නට ඇත.

සර්වඥයන් වහන්සේ ලොව පහළ අසහාය බුද්ධිමතාණන් වූ සේක. ශාඛා ප්‍රශාවලට බෙදී ගිය ප්‍රබල ශීර්ෂ රේඛාවෙන් (ශී-ශී) උන්වහන්සේගේ අසම සම සෘද්ධි බලයද කියාපාන්නේය. ශ්‍රී හස්තයෙහි දෛව රේඛාව (ද-ද) ආරම්භ වී ඇත්තේ මැණික් කටු රේඛා ආශ්‍රයෙනි. ඒ සෘජු ගමන් මාර්ගයක් ඔස්සේ මැද ඇගිල්ලේ මුල් පුරුක දක්වා විහිද ගොස් ත්‍රිශූල ලක්ෂණයකින් තම ගමන් මග නතර කරයි. මෙවැනි දෛව රේඛාවක් හිමි පුද්ගලයා එක්කෝ චක්‍රවර්තී රජ කෙනෙකු විය යුතුය. නොඑසේනම් චක්‍රවර්තී රාජ සම්පත්තිය හැර පියා නිර්ධන ජීවිතයක් ගත කළ යුතුය. බුදු හිමියන්ගේ ශ්‍රී හස්තයෙහි එවන් දෛව රේඛාවක් පිහිටීම හස්ත රේඛා ශාස්ත්‍රයට එකග වූවකි. චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වී උඩු අත බලා විහිද ගොස් රවි මණ්ඩලය මතදී තාරකා ලකුණින් අවසන් වන කීර්ති රේඛාවක්ද (කි-කි) ශ්‍රී හස්තයෙහි පිහිටා තිබිණි. බුදුන් වහන්සේගේ කීර්ති ඝෝෂය කෙල ලක්ෂයක් සක්වල සිසාරා පැතිර ගිය බව එම රේඛා ලක්ෂයෙන් ප්‍රකාශිතය.

  • අප්‍රධාන රේඛා

ශ්‍රී හස්තයෙහි ප්‍රබල කුජ රේඛාවක්(කු-කු) පිහිටා තිබේ. (ශා-ශා) අක්ෂරවලින් පෙන්නුම්කර ඇති පරිදි හක්ගෙඩි ලකුණින් අවසන් වන ශ්‍රාස්ත්‍රධාරී රේඛාවක්ද ශ්‍රී හස්තයෙහි පිහිටා තිබුණි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සසර සැරිසරා සමතිස් පාරමීදම් පිරූ තුන් ලෝකාග්‍ර අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ අසමසම උත්තරීතර භාවය එම රේඛා ලක්ෂණවලින් මූර්තිමත් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ පරසිත් දර්ශනය කිරීමේ දුර්ලභ ඥාණ සම්භාරය ලබා තිබුණ සේක. එබැවින් ශ්‍රී හස්තයෙහි අවබෝධ රේඛාවක්ද (අ-අ) පිහිටා තිබිය යුතුය. දබර ඇගිල්ල පාමුල වැටෙන සළමොන්ගේ මුද්ද (ස-ස) මනුෂ්‍යයකුට පිහිටා තිබිය හැකි උත්තරීතර පිහිටීමකි. සර්වඥයන් වහන්සේ ආශ්චර්‍යවත් මනුෂ්‍යයකු වූ සේක. එම නිසා ශ්‍රී හස්තයෙහි එවන් සලකුණක්ද පිහිටා තිබෙන්නට ඇතැයි මම සිතමි.

  • ඇගිලි

මහේශාක්‍ය මහපට ඇගිල්ලත් බුදු හිමියන් සතුය. දබර ඇගිල්ල, මැද ඇගිල්ල සහ වෙද ඇගිල්ල සම උසින් යුක්ත වූ අතර සුලැගිල්ල වෙද ඇගිල්ලේ නිය පිහිටා ඇති පුරුක දක්වා වැසී තිබුණි. ශ්‍රී හස්ත සටහනෙහි දක්වා ඇති පරිදි සෑම ඇගිල්ලකම අග පුරුකෙහි දක්ෂිණ වෘත්තාකාර සුළි ලක්ෂණ පිහිටියේ වෙයි. ඒවාද භාග්‍යවත් පිහිටීම්ය.

  • බාල කාලය

සිදුහත් කුමරා ජන්මලාභය ලැබුවේ කළියුග වර්ෂ 2478ක් වූ වෙසක් මස පුරපසළොස්වක දා ලුම්බිණි සල් උයනේදීය. ශ්‍රී හස්ත සටහනෙහි අංක (1)න් දක්වා ඇති පරිදි පළමුවැනි කුජ මණ්ඩලයෙන් මතු වී ජීවන රේඛාව කපාගෙන හෘදය රේඛාව මත පතිත වන්නා වූ බාධක රේඛාව දෙස දැන් ඔබගේ අවධානය යොමු කරන්න. සිදුහත් කුමරුවාණන් උපත ලබා සත් දිනකින් ළදරු කුමරුවාගේ මව්‍තුමිය ජන්මාන්තර ගත වූ බවට එය කදිම ශ්‍රාස්ත්‍රීය නිදසුනකි.

  • විවාහය

සිදුහත් කුමරා යශෝධරාවන් සමග යුග දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 16දීය. එසේ නම් ශ්‍රී හස්තයෙහි විවාහ රේඛාව හෘදය රේඛාවට ඉතාමත් ආසන්නව පිහිටා තිබිය යුතුය. එය ඉතා බාල වියේදී යුග දිවියට පත්වීමේ ලක්ෂණයක් වන හෙයිනි. (වි-වි) අක්ෂර වලින් එකී රේඛාව ශ්‍රී හස්තයෙහි දක්වා තිබේ. විසිනවවන වියේදී (රාහුල කුමරුවන් උපන්දිනයේදීම) ගිහි ගෙයින් නික්ම ගිය සිදුහත් කුමරාගේ විවාහ ජීවිතය අසාර්ථක වූවකි. ඒ බවද ශ්‍රී හස්තයෙහි සටහන්ව තිබිය යුතුය. විවාහ රේඛාව හරහට කැපී ගොස් ඇති කෙටි බාධක රේඛාවෙන් (අංක 2 බලන්න) හා විවාහ රේඛාවට සම්බන්ධ වී හෘදය, ශීර්ෂ හා ජීවන රේඛා කපා ගෙන පහළට ඇදී අවුත් සිකුරු මණ්ඩලයෙන් කෙළවර වන දීර්ඝ බාධක රේඛාවෙන් (අංක 3 බලන්න) ඒ බව කියා පායි. යශෝධරා දේවියගේ අත්වලද මෙම වැන්දඹු යෝගය අගේට සටහන්ව තිබෙන්නට ඇතැයි මම සිතමි.

  • දුෂ්කර ක්‍රියා

ජීවන රේඛාව කරා වැටී ඇති අංක (4)න් පෙන්නුම් කරන කෙටි බාධක රේඛාව දෙස දැන් අපගේ අවධානය යොමු කරමු. එය උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළ සමයයි. ජීවිතය පරදුවට තබා ඝෝර තපස් රැකි සිදුහත් තව්සාණන්ගේ ජීවිතය අනූ නවයෙන් බේරුණු බව එකී බාධක ස්ථානය වටා වැටී ඇති හතරැස් කොටුවෙන් ප්‍රකාෂිතය.

  • බුදු වීම

අත්ථකිලමතානු යෝගයත්. කාමසුඛල්ලිකානු යෝගයත් යන අන්ත දෙකම බැහැර කළ සිදුහත් තවුසාණෝ මධ්‍යම ප්‍රතිපදාව අනුව යමින් 35වන වියේදී සම්මා සම්බුදු පදවි ලැබූ සේක. ජීවන රේඛාවේ 35වන විය පෙන්නුම් කරන ස්ථානයෙන් මතු වී උඩු අත බලා විහිද ගොස් ශනි මණ්ඩලයේදී දෙකට බෙදී අවසන් වන බලවත් ආරෝහණ රේඛාවෙන් (ආ-ආ) බුද්ධත්වයට පත් වීමේ එකී ආශ්චර්‍යවත් සිද්ධිය මූර්තිමත් වන්නේය.

  • පරිනිර්වාණය

බුද්ධත්වයෙන් පසු පන්සාලිස් වර්ෂයක් තිස්සේ ලෝකවාසීනට නිවන් මග හෙළි කර දෙමින් වැඩ විසූ අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අසූ වැනි වියේදී හටගත් ආමාශගත ආබාධයකින් පිරිනිවන් පා වදාළ සේක. ජීවන රේඛාවේ අග භාගයෙහි වැටී ඇති දූපත් ලකුණින් භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය මූර්තිමත් වන්නේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *