භික්ෂුනමක් ළග නිරුවත් වූ මහ බඹා

(කේවඩ්ඪ සූත්‍රය ඇසුරිනි.)

ඉතා කුතුහලයෙන් ධර්මය ගැන සොයන භික්ෂු නමක් අමාරුවෙන් අමාරුවෙන් තම හිත ධ්‍යාන කරා මෙහෙයවීය. ධ්‍යානලාභී මෙම භික්ෂු නම මහා බ්‍රහ්ම හමුවට තම මනසිකාරය මෙහෙයවා බැලීය. සත්‍ය ලෙසම බ්‍රහ්ම ලෝකයක් තිබෙන බව දත් භික්ෂු නම එසේ නම් මේ මහ බඹු සියල්ල මැව්වා නම් අනිවාර්ය ලෙසම පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතර මහා භූතයින් බිදකුදු ඉතිරි නොවී නිමාවට යන්නේ කවර තැනකදීද යන ප්‍රශ්නයට පිළිතුරු දන්නවා ඇති. එබැවින් මා මෙම ප්‍රශ්නය ඇසිය යුතුය ඔහුගෙන්… වහා මහා බ්‍රහ්ම හමුවට ගමන් කළ භික්ෂු නම ඒ ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම විමසීය.
පිළිතුරු ලෙස මහ බඹු දුන් පිළිතුර වූයේ,

හිමියනි, මම මහා බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා ම වෙමි. ශ්‍රේෂ්ඨ වූ අනභිභූත වූ,නායක වූ, ජයග්‍රාහකයා වූ පාලකයා වෙමි. උපන් හා උපදින්නට සිටින සත්ත්වයින් මවා පාලනය කරන සියලු සත්ත්වයින්ගේ පියා මම වෙමි.

හිමිනම නැවතද ප්‍රශ්නය යොමු කළා. බ්‍රහ්ම තෙම කළින් දුන් පිළිතුරම ලබා දුන්නා. හිමිනම තුන්වන වරට ද එම ප්‍රශ්නයම යොමු කළා. හිමිනමගෙන් ගැලවෙන්නට නොහැකි බව දත් මහ බඹු හිමිනම පසෙකට කැදවාගෙන ගොස් සත්‍ය ලෙසම අවංකව ම පාපොච්චාරණයක් කරන්නට යෙදුණා.
හිමියනි… මගේ මේ බ්‍රහ්ම පිරිවර සිතන්නේ මහා බ්‍රහ්මයා සියල්ල දකියි. සියල්ල දනියි. සියලු දේ තුළ පරතෙරට අවබෝධ කරගෙන ඇති නිසාය. එහෙයින් ඔවුන් හමුවෙහි ඔබවහන්සේට පිළිතුරු නොදුන්නෙමි. පඨවි, ආපෝ, තේජෝ, වායු යන මේ මහා භූත අවශේෂ‍යක් නොතබා නිමාවට පත්වන්නේ කොතැනදී ද යන්න මම නොදනිමි. මේ ප්‍රශ්නයට ඔබ පිළිතුරු සෙවිය යුත්තේ බුදුන් වහන්සේගෙනි. වෙනත් වෙනත් මාර්ගවලින් එයට පිළිතුරු සොයන්නට යාමෙන් ඔබ කර ඇත්තේ වරදකි. ආපසු යන්න. බුදුන් වහන්සේගෙන් එම ගැටළුවට පිළිතුරු ඉක්මනින් විමසාගන්න. උන්වහන්සේ දේශනා කරන දේ පිළිගන්න. සත්‍ය ම දේ වනවා මට එය විශ්වාසයි.

හිමිනමගේ පුංචි දුර්වල තැනකින් ප්‍රයෝජන ගත් බ්‍රහ්ම තෙම හිටිවනම නොපෙනී ගියා.
හිතන්න… කෙනෙක් ලොවේ සුවපත් වූවා නම් ඒ හැම බුදුහිමි සරණ ගියෝ…

-බෝසතාණෝ-

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *