අටලෝ දහමට අවබෝධයෙන් මුහුණ දී ජීවිතය ජය ගමු.

විවිධ වූ ධර්මතාවයන් ලොව පවතී විශ්ව ධර්මතා ස්වභාව ධර්මතා මනුෂ්‍ය ධර්මතා, බෝසත් උතුමකු අනුගමනය කරන්නා වූ බුද්ධ කාරක ධර්ම පාලන තන්ත්‍රයේ දී රාජ්‍ය පාලකයින් යොදා යොදා ගන්නා දස රාජ ධර්ම, දේව ධර්ම ආදී නොයෙකුත් ධර්මතාවයන් තුළින් අටලෝ දහම හෙවත් අෂ්ට ලෝක ධර්මය පිළිබඳවත් අප විසින් මනා අවබෝධයක් ඇතිකර ගත යුතුය. බෞද්ධයන් වූ අප කවුරුත් දන්නා ධර්මතාවයකි මෙය. මෙහිදී වැදගත් වනුයේ එයට මුහුණ දෙන ආකාරයයි. දුක සැප, ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, යස අයස යනුවෙන් හැඳින්වෙන්නා වූ මෙම ධර්මතාවයන් පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගෙන ඒ අනුව ජීවිතයේ දි මතු වන්නා වූ ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගනිමින් සාර්ථකව මුහුණදෙමින් මෙලොව ජීවිතය යහපත් කර ගනිමින්ද පරලොව ජීවිතය යහපත් කරගනිමින් ද නිවන් අවබෝධයට මාර්ගය සකසා ගත යුතුය.

සමාජයක් තුළ දී ජීවත්වන මිනිසාට මෙම ධර්මතාවයන්ට මුහුණදීමට සිදුවනවා මය. මින් පලා යෑමට හෝ සැඟවීමට ශක්තියක් අප හට නැත. සම්මා සම්බුදු රජාණන් වහන්සේ පවා නින්දා අපහාස දුක්, වේදනාවන්ට පත් වූ අවස්ථාවන් ධර්මය තුලින් හෙලි වෙයි. අප ඉපිද ඉපිද මැරි ගියද මෙම ධර්මතාවයන් හැමදාමත් පවතින අතර මෙය කාගෙවත් නිර්මාණයක් හෝ පවත්වාගෙන යාමක් නොවේ. තවද යම් පුද්ගලයකුට දිගින් දිගටම එකම ආකාරයකින් මුහුණදීමට සිදු නොවේ. මේ මොහොතේ දුක් විඳින පුද්ගලයෙකු මීළඟ මොහොතේ සැපවත් වීම ද හැකියාව ඇත. කෑම බීම, ඉඳුම් හිටුම්, ආහාර පාන හරිහැටි නො ලද පුද්ගලයකු කුමන හේතුවක් නිසා හෝ හදිසියේ ලැබෙන ධන ලාභයක් පරිත්‍යාගශීලී පින්වත් පුද්ගලයින්ගේ උදව් උපකාර රාජ අනුග්‍රහයෙන් නිසා හෝ සැපවත් වීමට පුළුවන. කර්ම ශක්තියේ බලපෑමෙන් චිත්ත ශක්තියේ බලපෑමෙන් ද දුක සැප යන ධර්මතාවය වෙනස් විය හැකිය. ධනය, බලය පිරිවර තුරුළුකරගෙන විනෝදයෙන්, සතුටින්, සැපයෙන් ජීවත් වූ පුද්ගලයෙකු හදිසි අනතුරකට ලක් වී අත පා අහිමි වී ගියහොත් සිදු වන්නේ කුමක්ද? ඔහුගේ සතුට සැපය දුකට පෙරලීමකි. ඔහු පමණක් නොව එයින් විඳවනුයේ ඔහු වටා සිටින බොහෝ අය ද මෙය විඳි. මෙසේ දුක සැප ධර්මතාවක් වශයෙන් වෙනස් නොවී පැවතුනත් ලෞකික ජීවිතයක් තුළ දී මිනිසාට විවිධ අවස්ථාවන්වලදී අත්විඳීමට සිදුවන දෙය අනුව වෙනස් විය හැකි ය. මුදල් මතම ජීවත් වන සමාජයක මිනිසාට මෙන්ම අලාභයන්ට ද මුහුණ දීමට සිදු වන ජීවත්වීමේ සටන තුළදී කරන්නා වූ නොයෙකුත් ජීවනෝපාය මාර්ග තුළදී හා විවිධ කාර්යයන් කිරීමේදී මෙකී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙයි. ලාභ ලැබීම ද දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැක. ස්වාභාවික විපත් නිසා, සොර සතුරු උවදුරු නිසා, තමාගේම අනුවණ ක්‍රියාවන් නිසා නොයෙකුත් අවස්ථාවල පාඩු විඳීමට ද සිදුවේ. සමාජය තුළ ජීවත්වන අපට මුහුණ දීමට සිදු වන දුක් වේදනා උපදවන අවස්ථාවකි නින්දා අපහාසයන් ගේ පැමිණීම.

යහපත් දේ කිරීමේ දී අයහපත් දේ කිරීමේදීත් බොහෝ අයට මේ අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවේ. යහපත් දේ කරනවා දැකීම නොරුස්සන පුද්ගලයන් සමාජය තුළ බොහෝ වෙයි. යම් පුද්ගලයකුගේ දියුණුවක් දැකීම්ට, ප්‍රසිද්ධිය, යහපත් බව, නිවැරදි බව දැකීමට සමහර පුද්ගලයන් කැමති නැත. කෙනෙකුට තමන්ට වඩා ඉහළින් සිටින්නේ නම් එයටද විරුද්ධකම් පායි. එම පුද්ගලයන්ගේ වැරදි සොයමින් විවේචනයන්ට අපහාසයට ලක් කරයි. කෙනෙකු පිළිබඳව ඇතිවන ඊර්ෂ්‍යාව නිසා ඇතිවන්නකි. මෙය නින්දාවන්ට මෙන්ම ප්‍රශංසාවන්ට පත්වන අවස්ථාවන් බොහෝමයි. සමාජීය සුභසාධන කටයුතු වල දී සමාජ සංවර්ධන වැඩ තුළදී ආධ්‍යාත්මික ගමන් මාර්ගය තුළදීත් නොයෙකුත් අවස්ථාවල පැසසුම් වලට ද ලක් වනවා මෙන්ම සමාජයීය පිළිගැනීමක් ද ලැබෙනු ඇත. ලෞකික ජීවිතයක් ගෙවනු ලබන අයට මෙන්ම ලෝකෝත්තර ජීවිතයක් ගත කරන උතුමන්ට ද මෙම ධර්මතාවය ධර්මතාවයන ට මුහුණ දීමට ද සිදුවෙයි.

බුදුරජාණන් වහන්සේට පවා මෙවන් අවස්ථාවල මුහුණ දීමට සිදුවූ බව ධර්මය තුළින් අපට පැහැදිලි වෙයි. අබෞද්ධයන් වූ බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ ළඟ පැවිදි වූ හෙයින්ද තීර්ථකයින් ලැබූ ලාභ ප්‍රයෝජන අඩු වී යාම හේතුකොට ගෙන ද ඔවුන් බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කොට මහජන ප්‍රසාදය නැති කිරීමට සිතා සුන්දරී නම් කාන්තාව යොදවා ඉන්පසු ඇය මරා දෙව්රම් වෙහෙරේ මල් ගොඩක් යට සඟවා තබා බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කල ආකාරය අප දන්නා කරුණුකි. උන්වහන්සේට පිඬුසිඟා වැඩීමටවත් පුලුවන්කමක් නොතිබිණි. ආනන්ද හිමියන් වෙනත් ප්‍රදේශයකට යාමට ආරාධනා කළ ද උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරමින් පැමිණෙන්නාවූ සියලු ම නින්දා අපහාස දුක් ගැහැට විඳ දරා ගත්තේ ය. අවස්ථානුකූලව අවබෝධයෙන් යුතුව ඒ සැමටම මුහුණ දුන්නේය.

තවත් වසරකදී චින්චිමානවිකාව බඩෙි දර මිටියක් බැඳගෙන විත් උන් වහන්සේට අපහාස කළ බව කවුරුත් දන්නා කතා පුවතකි. ගැබිනියක් සේ සැරසී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගොස් උන් වහන්සේ නිසා දරු ප්‍රසූතියට ලක්ව ඇති බව කියා සිටියාය. සොයුරිය ඔබේ කතාවේ ඇත්ත දන්නෙ ඔබත් මමත් පමණක් බව සන්සුන්ව වදාළහ. මේ සෑම අවස්ථාවකම උන්වහන්සේ නිහතමානීව සන්සුන්ව ඒ සියල්ල විඳ දරා ගත්තේ ය. උන්වහන්සේ තරම් දුක් පීඩා නින්දා අපහාසයන්ට විඳි කෙනෙකු තවත් ඇතැයි නොසිසිතන තරම් වෙයි. බුද්ධත්වය ලබා ගැනීමේදීත් අධික දුක් වේදනාවන්ට මුහුණ දුන්නේ ය. කුසට අහරක් නැතිව හිසට වහලක් නැතිව කයට පහසක් නැතිව වැසි සුළං වලින් පීඩා විඳිමින් ගස් සෙවනට වී දිවා රෑ දෙකෙහිම මහත් වූ දුක් කන්දරාවක් වින්දේය. බඩ සහ පිටකොන්ද එකට ඇලී තිබිණි. වසරක් සිහිමූර්ඡා වී වැටි සිටිය අවස්ථාවක දෙවිවරුන් පවා බෝසතාණන් වහන්සේගේ ජීවිතය තොර වූ වා යැයි සැක උපදවා ගත්හ. බුදුවී පන්සාළිස් අවුරුද්දක් ම ගමින් ගමට නගරයෙන් නගරයට පාගමනින්ම හැම අපහසුතාවයන්ම මගහරවා ගනිමින් දෙව් මිනිසුන්ගේ හිත සුව පිණිසම ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කළේය. අවසාන භාගය වන විට උන්වහන්සේ මහත් වෙහෙසට පත්ව සිටි අතර අතීසාරය නම් දරුණු අසනීපයක් ද වැළඳිණි. දුක් පීඩා වේදනාවන් සියල්ලම ඉවසා වදාරා සිටියේ අප වෙනුවෙන් තිබූ මහත් කරුණාවෙන්ම ය. අපමණ දුක් පීඩා වින්ද ද අපමණ ලාභ කීර්ති ප්‍රශංසා ලැබුණද ඒ කිසිවකට උන්වහන්සේ නොසන්සුන් බවට කම්පාවට පත් නොවුණි.

තවත් අවස්ථාවකදී උන්වහන්සේට වැසි සාර මසක් ම දානය නොලැබ ගියේ ය. වස් විසීමට ආරාධනය කළ මුත් එම තැනැත්තාට ඒ බව අමතකව ගියෙන් නොසැපයිණි. ආනන්ද හාමුදුරුවන් විසින් සකසා දුන් සුළු ආහාරයකින් උන්වහන්සේ වැසි සාරමසම ගත කළේය. එය උන්වහන්සේ හැම දෙයක්ම ඉවසා වදාරා වැඩහුන් සේක. උන්වහන්සේගේ ජීවිතය අප සියලු දෙනාටම මහත් ආදර්ශයකි.බුදුන් වහන්සේට පවා මෙම අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවූවා නම් පෘථග්ජන වූ අප ගැන කීම කවරේ ද? අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට නම් මේ ධර්මතාවයන් ඉදිරියේ නොසැලී නොබියව ශක්තිමත්ව මුහුණ දිය යුතුය. මේ සෑම දෙයක් ගැනම අකම්පිතව සුභවාදීව සිතිය යුතුය. කීර්ති ප්‍රසංසා සැප ලාභ ඔබගේ ජීවිතයට ද පැමිණීමේ දී ඉතාමත් සතුටු වෙනු ඇත. එහෙත් එය ද එක්තරා සීමාවක් ඇතිව කළ යුතුය යුතු වෙයි. ඔබ මේවා කෙරෙහි ඇලීමට යාම නිසා සිත කිළිටි වීමට ඉඩ තිබේ. සැපය අනවශ්‍යය ලෙස විඳිය යුතු නොවේ. ඒවා පිටුපස හඹා යෑම ද නොකළ යුතු වේ. ඔබ මේවා කෙරෙහි ඇලීමට යාම නිසා සිත් කිළිටි වීමට ඉඩ තිබේ. සැපය අනවශ්‍ය ලෙස විඳිය යුතු නොවේ. ඒවා පිටුපස හඹා යෑම ද නොකළ යුතු යි. සමහර විට මේ සැපය ම ඔබට දුකක් ගෙනදෙ යි. ලාභය පිටුපස දිවීමද සිදු නොකළ යුතුයි. එය ඔබ තෘෂ්ණාවකින් වෙලීමකි. අනවශ්‍ය ලෙස බලාපොරොත්තු තබා ගැනීම් සුදුසු නොවේ. බලාපොරොත්තු සුන් වීම මානසික කඩා වැටීමකි. එයින් සිත වේදනාවට පීඩාවට පත්වෙයි. ඔබ එසේ වුවත් කරනුයේ අකුසල් රැස් කිරීමකි. එය නිවට පමාවකි. ප්‍රශන්සා පමිණි විටදීත් අධික ලෙස ඒ පිළිබඳව සතුටු විය යුතු නැත. ඒවා පිළිබඳව ඇලීමක් සිත තුළ ඇති වෙයි. ඇලීම තෘෂ්ණාවයි. එය ආධ්‍යාත්මික ගමන් මාර්ගයට අහිතකර ලෙස බලපායි. එසේම සැප, ලාභ, ප්‍රශංසා යන මේවා තුල ඔබ මධ්‍යස්ථව සිටිය යුතුයි. මේවා පසුපස ඇලීමන් ගමන් කිරීම සසර දිගු කර ගැනීමක් වන බැවිනි.

දුක් වේදනාවන්, නින්දා අපහාස, අලාභයන් පැමිණි අවස්ථා වලදී ඒවාට කම්පා නොවිය යුතුයි. සංසුන් සිතකින්, සිහියෙන්, අවබෝධයෙන්, ශක්තිමත්ව මුහුණදිය යුතුයි. සිත වේදනාවට පත් කර ගැනීම අකුසල් රැස්කිරීමකි. නින්දා අපහාස පැමිණීමේදී ඔබ නිහතමානීව ඒ සියල්ල පිළිගත යුතු යි. ඒවා සමග ගැටීම නොකළ යුතුයි. මේ ගැටීම තුළ ඔබ වඩ වඩා ද්වේෂ සහගත වෙයි. ඒවා වැඩිදියුණු නැති ප්‍රශ්න ගැටළු, කලකෝලාහල, අලාභහානි සිදු වන්නට ඉඩ ඇත. ලෞකික ජීවිතයේ සාර්ථක බව ගිලිහී යන අතර ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ කඩා වැටීමක් ද වේ. සිතේ පවතින මේ නොසංසුන් බව ද වේදනාවන් පීඩනයන් ගෙන ඒම නිසාද අකුසල් තැන්පත් වීම සිදුවෙයි. ලෞකික ජීවිතය අසාර්ථක වීම පරලොව ජීවිතය දුගති ගාමී වීමට හේතුවකි. දුගතිගාමි ජීවිත නිවන් මාර්ගය වසා දැමීමකි.

එසේ හෙයින් අප සියලු දෙනා ලෞකික ජීවිතයේ දී මේවාට සිහියෙන් අවබෝධයෙන් යුතුව මුහුණ දිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය ආදර්ශයට ගනිමින් අපි අපගේ ජීවිතය අටලෝ දහමින් කම්පාවට පත් කර නොගෙන නිවන් මාර්ගය හෙළි කර ගනිමු.

එස්.එච්. ශ්‍රියාලතා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *