බෞද්ධයින් වශයෙන් තමා කව්ද, කළ යුත්තේ කුමක්දැ යි සිතා බලමු.
මම, මා ගැන සිතන හැටි වසර 7කට පෙරාතුව වෙනස් කළෙමි. දැන් මෙසේ සිතන්නෙමි.
තමන් වහන්සේ, නසන්නට තැත් කරන, පරම සතුරන්ටද, යහපතක් ම කරන, සකල සත්වයින්ටම කල්‍යාණ මිත්‍රයෙකු වන, සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍ර්‍රාවිකාවක්මි.
පිංවත, පිංවතිය, ආදරණීය දුවේ, පුතේ, ඔබත් එවැන්නෙක්, එවැන්නියක් විය යුතුමය. අපි බලමු කළ යුත්තේ මොනවාද කියා. මාගේ බුදු රජාණන් වහන්සේ අනුව, මම ද සකල සත්වයින්ටම මිත්‍රයෙක් වෙමි. මම මිත්‍රයන්ගේද මිත්‍රයෙක් වෙමි. මධ්‍යස්ථයන්ගේද මිත්‍රයෙක් වෙමි. සතුරන්ගේද මිත්‍රයෙක් වෙමි.
සුද්ධී අසුද්ධී පච්චත්තං – තමාගේ පිරිසිදුබව තමා ළගමය. අනුන්ට ඇගිල්ල දිගු කරන තාක් කල් අපට පිරිසිදු විය නොහැකිබව තරයේම සිතට ගෙන, හොද දැක්මක් ඇතිව නිවැරදි ගමනක් යාමට සිතට ගනිමු.
හැම ගෙදරක කණ්ණාඩි තියෙනවා. ඒවායින් බලලා හිස පීරනවා. පියරු දානවා. ඇද පැළද හැඩවැඩ වී, කණ්ණාඩිය ඉදිරිපිට ඇවිදලත් බලනවා නේද? ගමන හැඩ ද ලස්සන ද කියලා.
ඒත් අපට අමතක වුනා නේද දහම නැමැති කණ්ණාඩිය, අපේ සිත්වල තියන අඩුපාඩු දැකලා සිත සකසා ගැනීමට නිවැරදි මාවතක ලස්සන ගමනක් යාමට අවශ්‍ය දේ දහම නැමැති කණ්ණාඩිය බව හොදට සිතට ගන්න.
බුදු දහම කියන්නේ හිත හදා ගැනීමේ ක්‍රමවේදය පිළිබද අසදෘශ පාඨමාලාවක් නම්, අපි නොවරදවා ම එම පාඨමාලාව හැදෑරිය යුතුමයි නේද? අපි කළ යුත්තේ ඒ දෙය වුනත් ඔබ මොනවද කරන්නේ?
ලෝකෝත්තර මාවතේ ආරම්භය පැහැපත් සිතයි. බුදු දහමේ හරය සංවරබවයි. හොද ගමනක් ආරම්භ කරන්න.
මානිවත්ත අභික්කම – නොනැවතී ඉදිරියටම යන්න. දැඩි වීර්යයකින් අධිෂ්ඨාණයකින් එම ගමන ගියොත් ජයග්‍රහණය ලැබෙනවාම යි. උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මිහිර, රසය, සුවය, ආශ්වාදය විදගත්ත කෙනා, සතුටින් හෝ සන්සුන් මනසකින් දිවි ගෙවනවා. ආර්යයන්, නුවණැතියන් හෙළිකළ ධර්මයෙන් ප්‍ර්‍රීතිය ලබනවා. එයයි සැබෑම සතුට. එම සතුට ඔබ අත්විදිනවාද? මොනවාද කරන්නේ?
“බල්ලන් බුරනවා. තවලම ඔහේ යනවා”
“දහම තරම් ඔසුවක් ලොව නැත්තේ
මහණෙනි එය පානය කළ යුත්තේ
සැනසුම ලද හැකිනම් තම චිත්තේ
බව දුක නැසුමත් එතැනයි ඇත්තේ”
මේ ලිපිය කියවන හැමදෙනාම බණ අහලා ඇති, අහනවා ඇති නිතර නිතර. ඒවා මතක තියෙන්නේ කීයෙන් කී දෙනාටද? අසා දරාගත් දහම ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කීදෙනෙක්ද? සිතන්න. කළ යුතු දේ එය වුණත් ඔබ මොනවද කරන්නේ? අද වැඩි දෙනෙක් ඔඩොක්කු බණ අහන අය නොවේද?
පවිටු මානසික ගති මොනවද කියලා බලලා අපේ සිත්වල ඒවා තියෙනවා නම් ඉවත් කරගන්න උත්සාහ කරමු.
තෘෂ්ණාව,අනවබෝධය අහංකාරකම,මමත්වය,ගුණමකුකම. ඊර්ෂ්‍යාව. බද්ධ වෛරය. පළි ගැනීම, කෘෘරත්වය, කාම ආශාව, එකට එක කිරීම, සැකය, තමා උසස් කොට සැලකීම, අනුන් පහත්කොට සැලකීම,කෙලෙහි ගුණ නොදැනීම,ආත්මාර්ථකාමීබව,වංකකම,සාරම්භ,තම්භ,මද මාන,පමාද මක්ඛා.සිත්වල ඉන්න සර්පයින් තමා ඒ. සර්ප විමානයක් වගේ සමහර සිත්. අඩු වැඩි වශයෙන් අප කා තුළත් ඒ දේවල් තියෙන බව දැනගෙන දැකගෙන ඒවා සිතින් තරමක් හෝ බැහැර කර මෙත්තා , කරුණා, මුදිතා, උපේක්ෂා චිත්ත සන්තාන තුළ වර්ධනය කරගත යුතුයි.ඒ ගැන උනන්දු වෙනවාද?ඔබ මොනවාද කරන්නේ?
නිරතුරුවම අපි සිතිය යුත්තේ “කව්ද හරි” කියල නෙමෙයි. “මොකක්ද හරි” කියලයි. සිංහයාගෙයි බල්ලාගෙයි ඇති සැබෑ වෙනස මනා ව තේරුම් ගන්න.
සිංහයාට පොල් ලෙල්ලකින් ගැහුවොත් ගැහුව කෙනාව හඹාගොස් මරල දානවා. බල්ලා පොල් ලෙල්ල කීතු කීතුවලට ඉරනවා. ඒක දකින කොල්ලො කුරුට්ටෝ තව පොල් ලෙලි වලින් ගහනවා. බල්ලා ගුටි කාලා ඉවරයකුත් නැහැ, පොල් ලෙලි කාලා ඉවරයකුත් නැහැ.
අත්ථ සම්මා පනීධීච– ඔබේ සිතුවිල්ල වචන බවට පත්වෙයි. වචන ක්‍රියා බවට පත් වෙයි ක්‍රියා පුරුදු බවට පත් වෙයි.පුරුදු චරිතාංග බවට පත්වෙයි. චරිතාංග ඉරණම බවට පත්වෙයි. ඉරණම සසර පුරුද්දට යයි.
ඉරණම සුභවාදී වීමටනම් සිත ගැන පරිස්සම් වන්න. එහෙම නැතිව, හිත හීලෑ නෑ… හරිම මුරණ්ඩුයි, තැන තැන ඇවිදිනවා. හිතෙන හිතෙන තැන නවතිනවා… කිය කියා හිතට වහල් වෙලා. තණ්හාවට දාසයෙක් වුනොත් ඔබ වල්මත් වේවි.
දූරං ගමන් -ඒක චරං යන බුදු වදනට අනුව, දුර ගමන් යන, තනිව හැසිරෙන, සිත දමනය කර දෙලොව දියුණුව සලසා ගන්න. ඔබ මොනවද කරන්නේ?
මෙත්තා මනෝ කර්ම, මෙත්තා වචී කර්ම, මෙත්තා කාය කර්ම හුරු පුරුදු කරගන්න.
නිසි මගට නොගොස් කරමින් පව් වෙමින් පමා
මැරුණට පසුව කොඩි ඇද ලොකු අකුරු දමා
නිවනට යන්න පැතුවට ඇති ඵලය කිමා
පසුපස එන්නේ කළ හොද හෝ නරක තමා
වැහි වතුර ඕනනම් වැස්ස තිබියදීම භාජනය එළියේ තැබිය යුතුය. වැස්ස පායන තුරු සිට දුක් නොවිය යුතුයි. ගතේ සිතේ සර්ව ශක්තිය තිබියදී නේද දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා ගැන සිතිය යුත්තේ, කළ යුත්තේ අතපය වාරු නැතිව සිහිකල්පනාව අඩු උනාම, ඇහැ නොපෙනෙන, කන් නෑසෙන තුරු පිස්සු නටලා අන්තිමට පන්සල් යන අය නැද්ද? ඔබ මොනවද කරන්නේ? හිතා බලන්න.
වස්තූන් නිසා අනවශ්‍ය දුකක් ඇති නොවන අයුරින් සියල්ල අත්හැර යාමට සිදු වන බව සිතා ජීවත් වීම නිස්සරණ ප්‍රඥාවයි. සම්පත් කෙරෙහි ගිජු බවින් තොරව මුලා නොවී සම්පත්වල බැස ගැනීමක් නොමැතිව ආදීනව දකිමින් සියල්ල පරිහරණය කළ යුතුමය.
ලාභය තුළ තිබේ නොලැබීමක සේයා
යසස තුළ තිබේ අයසක රැදි සේයා
පැසසුම තුළ තිබේ නින්දාවක සේයා
සැපයක් තුළ තිබේ ඇතිවන සේයා
ඵුට්ඨස්ස ලෝක ධම්මේහි -චිත්තං යස්සන කම්පතී
සුළු දෙයක් ලැබුණාම සතුටු වන අය සුළු දෙයක් වුණත් අහිමි වුණාම දුක් වෙනවා, ඕනෑවටත් වැඩිය. සමහර අයට තනිකම දරා ගත නොහැකිව ජීවිත විනාශ කරගන්නවා නේද? පැසසුම ලැබුණ විට උද්දාමයට සතුටට පත වන අය නින්දාව හමුවේ අසතුටට අමනාපයට කනස්සල්ලට පත් වී මුළු ගැන්වෙනවා. සැපයට ගිජුවන අයට පුංචි දුකක් දරා ගත නොහැකිව වැළපෙනවා. අලාභය, අයස, නින්දා, දුක් හමුවේ ඔබ මොනවාද කරන්නේ? දෝශාරෝපණ, විවේඡන සියල්ල බොහෝම ගෞරවණීය විදියට පිළිගන්න වෙර දරන්න.
යමෙකුගේ සිත ආත්මාර්ථකාමි සිතුවිලි වලින් වෛරයක්, කුරිරුකමින් තොරව පරාර්ථකාමීත්වයෙන්, මෛත්‍රියෙන් හා අවිහිංසාවෙන් පිරී ඇත්ද, ඒ තැනැත්තා සැනසිල්ලෙන් ජීවත් වෙයි. ඒ තැනැත්තා තමාට මෙන්ම අනුන්ටද ආශිර්වාදයකි.
පිළිවෙතින් පෙළගැසීමට සැරසෙන මෙවන් අවස්ථාවක ඒ පිළිවෙත මොකක්දැයි සිතා බලන්න. කොඩි දමා රටම සැරසීම හොදයි. තම සිත සකස් කර ගැනීම ඊටත් වැඩිය හොද බව සිතට ගෙන තුන් ලොවක් මෛත්‍රී ජලයෙන් තෙමා වදාළා වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමට තිර අධිඨනකින් යුතුව පෙළ ගැසී සැනසිල්ලේ ඉන්න බලන්න. සිදුරු තියන භාජනයක් නොවී ලද දෙයින් සතුටු වන සැනසෙන පුද්ගලයෙක් වීමට වෙර දරන්න. ඔබේ පින් සිත අවදි වන ක්‍රියාවන්වලම නිරතවන්න. අසාර දේ අසුභ දේ අත්හැර, සාරවත් කාටත් සෙත සුව සලසන සැනසුම ගෙන දෙන දේම සිතන්න. කියන්න. ක්‍රියාවට නගන්න.
ගස් අතර සදුන් ගසක් බදු, ඇතුන් අතරේ ගජමුතු ඇති ඇතෙක් බදු, පාෂාණ අතර දිදුලන මැණිකක් බදු, මුවන් අතරේ කස්තුරි ඇති මුවෙක් වන උතුම් බෝසත්තුමාගේ කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබාගෙන දෙලොව ජය ගෙන නිවන් මග හෙළි පෙහෙළි කරගන්න.
සැමට තෙරුවන් සරණයි!
බිබිලේ අයිවෙල සුජාතා සිල් මෑණියෝ