ලෝකය එකම ආකාරයකට පවතිනවාද? නැත ඇතිවීම වෙනස් වෙමින් පැවතීම. නැතිවීම. නැවතත් ඇති වීම. මේ ආදී ලෙස ලෝකය චක්‍රාකාරව ගමන් කරමින් පවතී. එසේම ලෝකය තුළ තිබෙන්නා වූ සවිඤ්ඤතක, අවිඤ්ඤතක වස්තූන් අතරද වෙනස් බවක් ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේද නානත්ත කායා නානත්ත සංඥා වශයෙනි. එසේනම් එය ලෝකයේ ස්වභාවයයි. යථාර්ථයයි. ඒ බව හදුනා ගෙන අවබෝධ කරගෙන ජීවිතයට මුහුණ දෙනවා හැරෙන්නට එහි වෙනසක් කිරීමට අපිට හැකියාවක් නැත.
ලෝකය නම්, ස්වභාව දහමත් අපත්ය. ස්වභාවදහමේ දායාදයන් වූ ගහකොළ, සතා සිව්පාවා, දිය ඇළි, ගංගා, කදු පර්වත මේ ආදී සියලු දේවල්ද එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කරයි. ගහකොළ ගත්විට ප්‍රමාණයෙන්, වටිනාකමින්, ගුණාත්මක බවින් එකිනෙකට වෙනස් බවක් ඇත. සතා සිව්පාවන් තුළද හැඩරුවෙන්, චර්යා රටාවෙන් වෙනස් වූවෝ වෙති. මේ අතර විෂ සහිත නපුරු බවින් යුත්, අහිංසක බවින් යුත්, විවිධ ගුණයන්ගෙන් යුක්ත වූ සත්වයෝද වෙති. ස්වභාවදහම තුළ පවතින මේ වෙනස්කම් සොබාදහම කෙරෙහි බලපෑමක් හානියක් නොවන අතර මෙය වඩාත්ම බලපාන්නේ මිනිසා කෙරෙහිය. මිනිසුන් අතර ඇති මේ වෙනස්කම් මිනිසා හදුනා නොගැනීම නිසා ජීවිත පැවැත්ම තුළ නොයෙක් හැල හැප්පීම් ගැටීම් අවස්ථා වලට මග පාදා ගෙන පව් අකුසල් තව තවත් පුරවා ගනිමින් සසර දිගු කර ගැනීමට මග සලසා ගනී.
මිනිසා තුළ ඇතිවන වෙනස්කම් මිනිසා කෙරෙහිම යහපත් අයහපත් ලෙස බලපායී. කය තුළ ඇතිවන්නා වූ වෙනස්කම් අවසානයේදී සිත තුළටම ගෙන යන නිසා මෙහිදී වඩාත් වැදගත් වන්නේ මනස තුළ ඇතිවන්නා වූ වෙහෙසයි. අප සියලු දෙනා දැන හදුනා ගන්නේ එකම ආකාරයකට නොවේ. එක් එක් පුද්ගලයා ඇති කරගන්නා ලද ප්‍රඥාව මතයි. පෙර සසරේදී ගෙන පැමිණි දේද, මේ භවයේදී ඇති කරගන්නා දේද එකිනෙකට ගැළපීමෙන් මෙය වඩාත් ප්‍රබල වේ. මෙය අයහපත් හෝ යහපත් විය හැකිය. මේ වෙනස් වීම් වලට බලපාන්නේ එකිනෙකා සිත පුරුදු කරගත් ආකාරයයි. සිතක් නිතරම ක්‍රියාත්මක වන්නේ අරමුණක් තුළයි. අරමුණ තුළ ගැටෙන සිත යමක් හදුනා ගෙන යම් සංකල්පයක් මවයි. එකම දෙයක් ගැන වුවත් පුද්ගල හදුනා ගැනීම් එකිනෙකට වෙනස් වෙයි. ලස්සන රූපයක් දුටු විට කෙනෙකුට කිසි වෙනසක් ඇති නොවිය හැකියි. තවත් කෙනෙකුට ප්‍රියජනක ස්වභාවයක් ඇති විය හැකිය. තවත් කෙනෙකුට සිත තුළ ලොකු වෙනසක් ඇති විය හැකිය. රූපය ලෙස නැවත නැවත බලයි. එය වින්දනය කරයි. නොදැනීම රාගික සිතිවිල්ලක් පහළ විය හැකිය. එකම රූපය පිළිබද දැරූ සංකල්ප එකිනෙකට වෙනස් වන ආකාරය අපට පැහැදිලි වේ. තමන් තුළ ඇතිවන මේ වෙනස තමාම හදුනා ගෙන පාලනය කරගෙන ඒ තුළ උපේක්ෂාවට පත් විය යුතුයි. එසේ නොවන්නේ නම් ඇති වන විනාශකාරී බව තුළ දුක පීඩනයට හසුව එය තමාටම අවාසියක් වන බව සිතිය යුතුය.
පෘතග්ජන ස්වභාවය නොඉක්මවූ සියලු දෙනාම මේ ස්වභාවයට හසුවන බැවින් තමා තමන් තුළ ඇතිවන මේ වෙනස් වීම් ගැනද අවබෝධ කර ගනිමින්ම අන් අයද තමාට උපමා කර ගනිමින් ඔවුන් තුළ ඇතිවන වෙනස්කම් තුළද තමා මධ්‍යස්ථව කටයුතු කිරීමෙන් ජීවිත පැවැත්ම තුළ ඇතිවන්නා වූ ප්‍රශ්න ගැටළු ස්වභාවයන් අවම කරගැනීමට එමගින් සිත දුක පීඩනයෙන් වලකාගෙන අකුසල් අඩු කර ගනිමින් සසර කෙටි කර ගැනීමට හැකියාව ලැබේ.
සමාජයේ කුඩාම ඒකකය වූ පවුල් සංස්ථාව දෙස බැලුවද පෙනී යන්නේ මේ ස්වභාවමය. අදහස් උදහස්, රුචි අරුචිකම්, සිතුම් පැතුම් ක්‍රියාකාරීත්වයෙන් වෙනස්කම් වේ. ස්වාමි භාර්යාවන් අතරද එකිනෙකට වෙනස් වූ සිතුම් පැතුම් තිබිය හැකිය. එකිනෙකා තුළ වූ මේ වෙනස් කම් එකිනෙකා හදුනා ගෙන මධ්‍යස්ථව කටයුතු නොකළ හොත් සිදුවන්නේ සමගිය සමාදානය නැතිවී ජීවිතයද අප්‍රසන්න බවට පත් වීමයි. එකිනෙකා තුළ ඇති මේ වෙනස් කම් හදුනා ගෙන උපේක්ෂා සහගතව කටයුතු කිරීම වැදගත් වේ. සුළු වරදකටද ඉක්මනින් කෝපයට පත්වන අය සිටී. මේ අයගේ දුර්වලතාවන් හදුනා ගෙන අප කටයුතු කළ යුතු වේ. නැතහොත් දෙපක්ෂයටම අයහපතක් සිදුවිය හැකිය. තවත් කෙනෙකු ආගම දහමට වඩාත් නැඹුරුව කටයුතු කරනවා විය හැකිය. මෙයට දෙමාපියන්ගේ හා පවුලේ අන් අයගෙන්ද යහපත් ප්‍රතිචාරයක් නොලැබෙනවා ඇත. මව්පියන් කැමති තමන් කැමති ආකාරයට දරුවන් ජීවත් වනවා දැකීමටයි. එහෙත් දරුවන් තම මතයටම කටයුතු කරයි. මේ නිසා පවුල තුළ ගැටුම් ඇතිවිය හැකිය. මෙවන් අවස්ථා වලදී අප අවබෝධයෙන් මධ්‍යස්ථ බවකින් කටයුතු කිරීම වැදගත් වේ.
පවුල තුළ ජීවත් වන අපට සමාජය සමගද සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට සිදුවේ. ජීවන වෘත්තීන් වල යෙදීමේදී වෙනස් වෙනස් ගති පැවතුම් ඇති පුද්ගලයන් ඇසුරු කිරීමට සිදුවේ. තමා කොතරම් යහපත්ව කටයුතු කිරීමට උත්සාහ කළද එය වලක්වාලීමට කටයුතු කරන පිරිස සිටිය හැකිය. මෙහිදී අප ගැටීමට ලක් නොවී පුද්ගල ස්වභාවයන් අවබෝධ කරගෙන උපේක්ෂාවෙන් කටයුතු නොකළ හොත් රාජකාරිය පවා එපා වන තරමට කටයුතු සිදු වීමට හැකියාව ඇත.
එක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන් වල ඇති වෙනස්කම් තුළ මැදිහත්ව කටයුතු කිරීමට සිදුවේ. මිනිසා තුළ යහපත් මෙන්ම අයහපත් ගුණාංගයන්ද ඇති බැවින් දුර්වලතාවයන් දුටු විට ඔවුන් තව තවත් අසරණබාවයට පත් කිරීම මනුෂ්‍යයකු ලෙස නොකළ යුතුය. නිතර තමන්ට උදව් උපකාර කරමින් හිතවත් බවක් දැක්වූ පුද්ගලයකු අවශ්‍යම අවස්ථාවකදී තමා පැහැර හැරියායි සිතා ඔහුට අවලාද කියමින් නුගුණ කියමින් ඉවත් කිරීම සුදුසු නොවේ. අවශ්‍ය වන්නේ ඔහුගේ වෙනස අප තේරුම් ගෙන කටයුතු කිරීමයි.
පුද්ගල දැන හදුනා ගැනීම් තුළ හා සසර ගති හුරුපුරුදු නම් වූ වාසනා ගුණය තුළද මිනිසා තුළ වෙනස් බවක් ඇත. මිනිසා තුළ ඇතිවන මේ වෙනස අප වටහා ගත යුතුය. අප තුළ ඇතිවන වෙනස්කම්ද අන් අය තුළ ඇතිවන වෙනස් කම් අප හදුනා ගෙන ඒ හැම වෙනස් බවක් තුළම උපේක්ෂාවෙන් (මධ්‍යස්ථව) කටයුතු කරන්නේ ජීවිතය ජයග්‍රහණය කිරීමට අපට හැකි වනවා ඇත.
එස්.එච්. ශ්‍රියාලතා