තිලෝගුරු බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සමයේ දේවදත්ත ස්ථවිරයන් තමන් වහන්සේට අනතුරක් කිරීමට ගත් උත්සාහයක් අරඹයා උන් වහන්සේ මෙම ජාතක කතාව වදාළ සේක.
බුදුරජාණන් වහන්සේ බැහැදුටු භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, දේවදත්ත ස්ථවිර තෙමේ ඔබ වහන්සේට අනතුරක් කිරීමට උත්සාහ ගනිමින් සිටී.” යයි දක්වාලූහ. ඒ ඇසූ බුදුන් වහන්සේ “මහණෙනි, දේවදත්ත ස්ථවිර මා හට අනතුරක් කිරීමට උත්සාහ ගත්තේ දැන් පමණක් නොවේ.අතීතයේදිත් එසේම උත්සාහ කලේය. එලෙස උත්සාහ කලද මා බියපත් කිරීම් පමණකුදු කරන්නට අසමත් වූයේ ය” යි වදාරා අතීත කතාව දක්වාලූ සේක.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රජකම් කරන කාලයේ බෝධිසත්වයන් වහන්සේ වදුරු ජන්මයක ඉපිද වැඩි විය පත්ව මහත් කාය ශක්තියෙන් සම්පූර්ණව ගගක් අසබඩ තනිවම වාසය කළසේක. ඒ ගගේ මැ අඹ, දඹ ආදී නොයෙකුත් පළතුරු ගස් වලින් යුතු දූපතක් තිබිණි. මහත් ශරීර ශක්තියෙන් යුතු මේ වදුරා ගගේ මෙගොඩ සිට එම දූපතට මෙපිට ගග මැද මතුව පිහිටි ගල් තලයක් උඩට පැන එතැනින් එම දූපතද පැන ගනී. එහි වූ පළතුරු හිතේ හැටියට කා සවස ට කී ආකාරයෙන්ම ගල් තලයටත් එතැනින් ගග අද්දරටත් පැන තමන් වසන ස්ථානයට පැමිණේ. මේ වදුරා දිගටම ඒ ආකාරයට දූපතට යමින් එමින් සුවසේ වාසය කළේය.
ඒ කාලයේ එක් කිඹුලෙක් උගේ ධේනුව සමග එම ගගේම ජීවත් විය. බෝසත් වදුරා හැමදාම කරන එම යාම ඒම දුටු කිඹුලිය වදුරාගේ හෘදය මාංශය කෑමට ආශා උපදවා ඒ ගැන කිඹුලාට දැන් වීය. “සොදුරිය, මම ඔබට එය ගෙන දෙන්නෙමි” යි කියූ කිඹුලා “අද සවස දූපතෙන් ආපසු එන විට වදුරා අල්වාගනිමි” යි සිතා යට කී ගල වැතිර සිටියේය. සවස දූපතේ සිට ආපසු එන්නට සැරසුණු වදුරා ගල් පොත්ත දෙස බලා මෙය උදේ තිබුනාට වඩා උස් වී පෙනෙන්නේ යයි සිතා ඊට හේතුව කුමක්දැයි විපරම් කලේය. සාමාන්‍ය වශයෙන් ගගේ ජල ප්‍රමාණය ගැන සහ ගලේ ප්‍රමාණය ගැන හොද අවබෝධයක් ඇතිව සිටි මේ වදුරා ගගේ ජලය අඩු වී හෝ වැඩි වී හෝ නැත. එහෙත් මේ ගල උදයට වඩා විශාලව පෙනේ. මා අල්වාගනු පිණිස කිඹුලා මේ මත රැක සිටිනවා විය යුතුය “යි සිතා ඒ ගැන අපූරු සෙවීමක් කළේය.
වදුරා දූපතේ සිට ගල් පොත්ත සමග කතා කරන්නා සේ අගවා “පිංවත් ගල් තලය” යනුවෙන් එය ඇමතීය. පිළිතුරක් නොලද නිසා යළි යළිත් අමතන ආකාරයෙන් “පිංවත් ගල් තලය” යනුවෙන් තවත් දෙවරක්ම කතා කොට අනතුරුව “පිංවත් ගල් තලය,නුඹ අද මට පිළිතුරු නොදෙන්නේ මන්දැ” යි විමසූහ.
මේ ඇසූ කිඹුලා නිසැකවම මේ ගල් තලය වදුරාට පිළිතුරු දෙනවා විය යුතුය අද එය පිළිතුරු නොදුන් බැවින් මන්ම එසේ කරමියි සිතා, “ඇයි මහා වදුරාණනි” යි විචාළේය.එවිට බෝසත් වදුරා හා කිඹුලා අතර මෙවන් කතා බහක් ඇති විය. “ගල් තලය මත සිටින නුඹ කවරෙක්ද?“ “මම කිඹුලෙක්මි.” “නුඹ කුමක් නිසා මේ ගල් තලය මත වැතිර සිටින්නේද?” “නුඹගේ හෘදය මාංශය ලබා ගැනීම සදහාය. “මේ ඇසූ වදුරා “මට ආපසු ගෙදර යාමට වෙන පාරක් නැත. අද මූ රවටා ආපසු යමි”යි සිතා මෙසේ කීය.”යහළු කිඹුලාලෙනි,මම නුඹට මගේ මුළු ශරීරයම පරිත්‍යාග කරන්නෙමි. නුඹගේ මුඛය හැරගෙන සිටිනු මම එතුළට පනින්නෙමි. “යි කීය. කිඹුලන්ගේ කට ඇරිය විට ඇස් දෙක වැසේ. කිඹුලා ඒ ගැන නොසිතා ඇස් පියාගෙන ලොකුවට කට ඇරගෙන වදුරා එහි පනින තෙක් බලා උන්නේය.
බෝසත් වදුරා දූපතෙන් අහසට නැගී ගල් තලය මත උන් කිඹුලාගේ පිට උඩට පා තබා එතැන සිට විදුලි වේගයෙන් ගං ඉවුරට පැන ගත්තේය.මේ දුටු කිඹුලා “නුඹ ඉතා ආශ්චර්‍යමත් කෙනෙකි.එසේ වීමට අවශ්‍ය සුදුසුකම් සතරම නුඹට ඇතැ”යි කීය. කිඹුලා තව දුරටත් වදුරා අමතමින් “කතා කිරීමේ දක්ෂතාව, සෝදිසි නුවණ, නොබිදුණු ධෛර්යය හා කලබල නොවීමේ ගතිය නුඹට මෙන් යමෙක්වෙත ඇත්ද ඔහු සතුරා මර්දනය කරන්නේය” යි කියා වදුරාට ප්‍රශංසා කොට යන්නට ගියේය.
“මහණෙනි, දේවදත්ත ස්ථවිර මට අනතුරක් කිරීමට මීට පෙරත් උත්සාහ ගත්තේ එසේය” යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ, “එසමයෙහි ගල් තලය මත වැතිර සිටි කිඹුලා මේ දේවදත්ත ස්ථවිරය, මාගේ හෘද මසට ලොල් කල කිඹුල් දෙන චිංචිමානවිකාවය, වදුරා මෙන් ඉපිද සිටියේ බුද්ධත්වයට පත් මන් ම වේ” දැයි අතීත හා වර්ථමාන කතා ගළපා දැක් වූ සේක.
උපදේශය :- හිතා මතා සොයා බලා ප්‍රඥාවන්තව කටයුතු කරන පුද්ගලයා සතුරන් හා අන්‍ය බාධාවන් ජය ගනී.