වප් මගුල් උත්සවය

වප් මගුල් උත්සවය

කුමරාගේ උත්පත්තියෙන් ටික කාලයක් ගෙවී යද්දී රටේ විශාල උත්සවයක් සංවිධානය කොට තිබිණි. ඒ වප් මගුල් උත්සවයයි. ඒ උත්සව අවස්ථාව රටේ සෞභාග්‍ය පිණිස රටේ ප්‍රධාන පුරවැසියා වන රජතුමා ද කුඹුරට බැස සීසෑම් ආදී කටයුතු වලට යොමු වීමයි.අලුත් අලංකාර වස්ත්‍ර වලින් සැරසෙන රටවැසියාද මෙම උත්සවයට සහභාගී වෙයි. එදින මේ පුංචි කුමරාද එම සී සෑමේ උත්සව භූමියට ගෙනගොස් දඹ ගස් සෙවණක වට කොඩි සේසත් වලින් අලංකාර කොට ඉදිකරන ලද අලංකාර ගෘහයක සේවිකාවන් පෙරටු කොට ආරක්ෂක මුරකාවල් යොදවා හිදුවා තබා සුදොවුන් රජතුමාද කුඹුරට බැස සීසෑම් කටයුතු වල යෙදෙද්දී රට වැසියා ප්‍රීති ප්‍රබෝධයෙන් යුතුව ජය ඝෝෂා කරන අතරතුර රැකවල් ලා සිටි අය මෙන්ම, කුමරා රැක බලා ගත් සේවක සේවිකාවන්ද තම තමන්ගේ වගකීම මොහොතකට පැහැර හැර සීසෑම් උත්සවය පෙනෙන මානයට සේන්දු විය.මේ අවසරයෙන් ප්‍රයෝජන ගත් පුංචි සිද්ධාර්ථ කුමරා ජම්බු ගස යට විවේකීව තමන්ට හැකි පරිදි බවුන් වඩමින් ධ්‍යාන සුවයට ලං විය. පළමුවන ධ්‍යාන තලයේ සමාධි සුවය විදිමින් කුමරා විශ්වයේ එළිපත්තට සේන්දු වූයේ තනවා ඇති මණ්ඩපයේ එළිපත්තෙන් සේවක සේවිකාවන් ඉවත්ව සිටින මොහොතකයි. හිටිවනම කුමරා ගැන සිහිවූ සේවක සේවීකාවෝ කුමරා බලන්නට පැමිණෙන විට දුටු ආශ්චර්‍ය් සිද්ධියෙන් විශ්මයට පත්ව ඒ බව සුදොවුන් රජතුමාට දැන්වීය. වහා පැමිණි රජතුමා දෙවන වතාවටද අත් දෙක එකතු කොට සිගිති කුමරාට වැද නමස්කාර කළේ පලක් බැදගෙන ධ්‍යාන සුවයෙන් සිටින සිගිති සිද්ධාර්ථ කුමරුට වීම විශේෂ කරුණකි.

කාලයාගේ ඇවෑමෙන් කුමරා ලොකු මහත් වෙද්දී සුදොවුන් රජතුමාගේ යටිසිතෙහි පැල පදියම් වූ හැගීමක් වෙනුවෙන් ක්‍රියා කරන්නට යෙදිනි. ඒ කුමරා ලොකු මහත් වූ පසු ගිහිගෙයින් නික්මෙන බවට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමයි. රජ පෙළපතෙහි සිදු කරන ආකාරයට කුමරාට අධ්‍යාපනික කටයුතුද ලබා දෙමින් රටක් රාජ්‍යයක් පාලනයට අවශ්‍ය රණ ශිල්ප ආදී ශිල්ප ක්‍රමයන්ද රජ මාළිගාව තුළදීම ලබා දීමට කටයුතු කළේය.

එහෙත් අතිශය සියුමැලි වූ ජීවිතයක් ගත කරන්නට හැකි වටපිටාවක් හැමවිටම කුමරු වෙනුවෙන් ඇති කිරීමට පිය රජතුමා පියවර ගෙන තිබිණි. අලංකාර පොකුණු තුනක්ද දිය නෑම වෙනුවෙන් ඇති කර තිබිණි. නිල් පියුම්, රතු පියුම්, සුදු පියුම් වෙන වෙනම පිපෙන්නට සලස්වා තිබිණි. සියලු වස්ත්‍ර කසී සළු විය. ඉස්තරම්ම සදුන් සුනු පාවිච්චියට ලැබිණි. අව් රශ්මියෙන්,පින්නෙන් හෝ දුහුවිල්ලෙන් හෝ පීඩාවක් නොවන්නට දිවා රෑ දෙකෙහිම ඡත්‍ර යොදා ආරක්ෂා කරන ලදී. මාළිගා තුනක් සිද්ධාර්ථ කුමරා වෙනුවෙන් සාදවා ශීත කාලයේදී උණුසුමත්, උණුසුම් කාලයේ සිසිලත්, වර්ෂා කාලයේ සෞම්‍ය බවත් රැදෙන අයුරින් එම මාළිගා තුනම සකසා තිබිණි.සංගීත වාදනයෙන් හැම මාළිගාවක්ම කුමරා සිටින හැම විටම පූර්ණ කර තිබිණි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *