තම තමන් තනා ගන්නා දුක සැප

“ඕවා කරනවා වගේ ලේසි නෑ විදින්ඩ ගියාම” අපේ වැඩිහිටියෝ අනිකකු විසින් කරන පාප ක්‍රියාවක් දුටු විට මේ ලෙස කියනු අප කොතෙකුත් අසා ඇත. ඔවුන්  එසේ කියන්නේ කෙනෙකු විසින් කරනු ලබන අයහපත් ක්‍රියාවලට, අයහපත් විපාකයක්ම  විදින්නට ලැබේය යන බෞද්ධ උගන්වීම තුල පෝෂණය වූ මනසක් ඇතිවමය. එහෙත් ජීවත් වන මිනිසුන් අතරින්, කරන ලද කර්මයට විපාක විදින බව හදවතින් පිළිගෙන ක්‍රියා කරන අය ඇත්තේ ලක්ෂ ගණනකට එකක් විය හැකිය. ඊට හේතුව තමන් ජීවිතය තුළ විදින ඉතා කටුක දුක් සහගත අත්දැකීම් වල කරන ලද කර්ම වලට විපාක වශයෙන් ලැබෙන විදීමක් ය යන කරුණ හේතු සහිතව පිළිගන්නට ලැබෙන අත්දැකීම් ඉතා දුබල හෙයිනි.

කෙනෙකුගේ පූර්ව ජන්මයන් දැකිය හැකි බුදුන් වහන්සේට හෝ එවැනි අභිඥා ශක්ති ඇති රහත් ආදී වෙනත් කෙනෙකුට හැර, අනෙකකුහට, පුනර්භවය පෙර ජන්මය හෝ, කර්ම විපාක ලැබෙන අයුරු දැකීමට, විස්තර කිරීමට නොහැක. බුදු කෙනෙකුන් විසින් එබදු දේ දේශනා කරනු ලැබූවත් බුදු ඇසින් දකින දේ මසැසින් දැකීමට නොහැකි පෘථග්ජනයින්ට එවැනි කරුණු පිළිගැනීම ඉතා අසීරු වෙයි. එහෙත් ජීවිතයේ කරනු ලබන හොද හෝ නරක ක්‍රියාවලට, හොද හෝ නරක විපාකද හිමි වන බව බෞද්ධ ඉගැන්වීම තුළ පමණක් නොව, බොහෝ දෙනාගේ ජීවිත අත්දැකීම් තුළ ද සටහන් ඇති බවට උදාහරණ ඇත.

ඇතැම් කර්ම වලට මේ ජීවිතයේදීම විපාක විදින්නට සිදු වන හැටි පසු ගිය දිනක මම මගේ මිත්‍රයන් කිහිපදෙනෙකු සමග කතා කරමින් සිටියෙමි. එහිදී එක් මිත්‍රයෙක් කීවේ අපේ පුංචි කාලයේදීම අපේ අම්මලා තාත්තාලා පව් කිරීමෙන් සිදුවන විපාක අපට කියා දුන් නිසාම අප අදත් අකුසලයෙන් වැලකී සිටීමට තරම් හැඩගැස්මක් ලැබුණු බවයි. පියා දුටු සැබෑ සිද්ධි‍යක් පියා විසින් විස්තර කළ සැටිත්, තවමත් එය සිහි වන විට හදවත සසල වන බවත් මිත්‍රයා අපට විස්‍තර කළේ ය.

එතකොට අපි ඉස්කෝලේ යන පුංචි ළමයි” තාත්තා තරුණ කාලේ දුටු සිද්ධියක් අපට කීවේ මෙහෙමයි. අපි ඒ දවස් වල හිටියේ මී ගහ තැන්නේ වලල්ලාවිට ප්‍රදේශයේ ඒ පැත්තේ මිණි‍රන් පතල් හෑරීම ඒ කාලේ හැමතැනම වගේ තිබුණා. තරමක් ගැඹුරට බැහැපු මිණිරන් පතලක වැඩ කළ මිනිස්සු එදා නිවාඩු නිසා වැඩට ගියේ නෑ. පතල තිබුණේ කැලෑ ප්‍රදේශයක් මැද. කැලේ ඇවිදගෙන ආ ඌරෙක් නොදැනම මේ පතල් වලට වැටිලා තරමක් වතුර සහිත පතල පතුලේ ඌ ජීවිතයත් මරණයත් අතර සටනක. මේ බව පතලේ වැඩ කරන කෙනෙකුට දැනගන්නට ලැබුණා. අපි ඔහුගේ නම “ජේමිස් “ යැයි කියමු. ජේමිස් ඉක්මනට ගිහින් බැලුවා. ඌරු නාම්බෙක් පතලේ වැටිලා ගොඩ එන්න බැරුව දගලනවා, කෙදිරි ගානවා දැන් ජේමිස්ට හරි සතුටුයි. හුග දවසකින් මස් කෑල්ලක් කන්න හොද අවස්ථාවක් පතලේදිම මරාගන්නත් ලේසී. දුවලා ගිහින් තව කීපදෙනෙකුත් එකතු කරගෙන ආවා. පතලේම වැඩට හදපු හොදට උල තියන යකඩ ඉන්නක් ගත්තා. උඩ ඉදලා පතුලේ ඉන්න ඌරාට හොදට ඉලක්ක කරලා යකඩ ඉන්න අතහැරියා. කරුමෙක මහත ඌරාගේ හදවත පසා කරගෙන යකඩ ඉන්න අනිත් පැත්තෙන් මතුවුණා. ඌරා කෑගහලා දගලලා මැරුණ හැටි කට්ටියම බලා හිටියේ හරි සතුටින්. දැන් අමාරුවෙන් ඌරා ගොඩට ගත්තා. එදා කට්ටියම හොදට ඌරු මස් කාලා සතුටු වුණා. පසුදා පතලේ වැඩට ගියා.

එදා පළමුවෙන්ම පතලට බැස්සේ ජේමිස්මයි. පතලේ බිත්ති සකසන්නට උල් කරන ලද ශක්තිමත් පොලු පහලට යවන්නේ උඩ ඉන්නඅයයි. දබරයේ එල්ලන ලද විශාල බාල්දි දෙකෙන් එකක එම උල් කළ පොලු කීපයක් දමා දැන් පහළට යවන්න සූදානම්. වෙනදාට ඒවා පහළට යවන්නේ බාල්දි කඹයේ ගැට ගසලයි. එදා කොහොමහරි ගැටගසන්න අමතක වුණා. දැන් උල් කළ පොලු සහිත බාල්දිය පහළට යනවා. යට තිබෙන බාල්දිය උඩට එනවා. ජේමිස් උදැල්ලක් ගෙන, කද නමාගෙන, පතල පතුලේ යමක් කරනවා. දබරයේ උඩට යටට යන බාල්දි දෙක එකට හැප්පිලා එක ලී උලක් වැටුණා. කරුමෙක මහත… පහත් වෙලා ජේමිස්ගේ පිටේ ඇණුන උල පිට පසාරු කරගෙන පපුවෙන් මතු වුණා. හරියටම අර ඌරාට යකඩ ඉන්න ඇණුනා වාගෙමයි. ජේමිස් ඌරා වගේ කෑගහනවා. කලින් දා ඌරු ලෙයින් රතු පාට වුණු වතුර දැන් මිනිස් ලෙයින් රතු වෙලා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ජේමිස්ව උඩට ගත්තා. පපුව පසාරු කළ උල ගලවන්නට උත්සාහ ගත්තට ඒක කාටවත් කරන්න බැරි වුණා. ජේමිස් මරළතෝනි දෙනවා.

ඒ කාලේ දැන් වගේ වාහන නෑනේ.ගොන් කරත්තයක් හොයාගෙන පපුවේ උල පිටින්ම ජේමිස්ව කරත්තයට දමාගෙන පැය ගණනක් තිස්සේ කෑලෑ පාර වලින් ඇවිත් අගලවත්ත පිඹුරේ රෝහලට ගෙනාවා. වෛද්‍යවරයා මහත් වැර වෑයමෙන් උල ගැලෙව්වා. ඊට ටික වෙලාවකට පස්සේ මෙතෙක් විදි දුක් තාවකාලිකව නිමා කරමින් ජේමිස් ඌරා ගිය තැනටම ගියා.

මගේ මිත්‍රයා මේ කතාව නිමා කරමින්, දිට්ඨ ධම්ම වේදනීය කර්මයකට මෙය හොදම උදාහරණයක් යැ‍යි ද කීය. කරන ලද කර්මයට ඒ බවයේම විපක ලැබෙන්නේනම් එය දිට්ඨ  ධම්ම වේදනීය කර්ම ලෙස අපි හදුන්වමු. කිසියම් කර්මයක් ඒ ජීවිතයේම විපාක දෙන්නේ ඒ කර්මය සිදු කල අවස්ථාවේ ඇති කරගත් චේතනාවේ ප්‍රබල බව ක්‍රියාවේද ප්‍රබල බව මතයි. පතලට වැටුණු ඌරා ජීවිතය බේරා ගැනීමට කොතෙක්නම් උත්සාහ දරන්නට ඇතිද? ඒ සතාගේ ජීවිතය බේරීම නොව උගේ මස් ටිකම කන්නට ඇති කරගත් තෘෂ්ණාව හා ඒ අසරණයා මැරීම සදහා අකරුණාවන්ත ලෙස ද්වේශ සහගතව යෙදූ උපක්‍රමය සාර්ථක වීමෙන්ද, මස් රසකර අනුභව කිරීමෙන්ද ලබාගත් විදගත් ආශ්වාසය ඔහු සිත තුළ ප්‍රබල කර්මයක් උත්පාදනය කලේය. ඒ පාපයට ක්ෂණිකව විපාක ලබා ගැනීමට තරම් ඔහුගේ අකුසල සිතිවිලි ප්‍රබල විය.

මේ අසල කර්මයට විපාක ලබා දුන්නේ කවුද? දෙවියෙක් බූතයෙක් විසින් කලාද ? නැත. මරණයට පත් වූ ඌරා පළිගැනීමක් කළේද? නැත. එසේනම් මේ සිදුවීම අහඹු සිදු වීමක් මිස විපක දීමක් නොවේ යැයි කිවහැකිද? කරන ලද ක්‍රියාව අකුසල බලවේගයක් ලෙස ගොඩනැගුනේ ඔහුගේම සිත තුලය. සෑම මිනිසෙකු තුලම සිත හා කය මෙහෙයවන විද්‍යුත් ශක්තියක් මොළය ඇසුරුකොට පවතී. දූෂිත සිතුවිලි හේතුවෙන් මේ විද්‍යුත් ශක්තිය පහලට වැටීම අකුසලයේ ප්‍රථිඵලයයි. එවිට මොළය ආශ්‍රිතව විස සහිත එන්සයිමයන් ඉපදෙමින් ස්නායු පද්ධතිය දුර්වල කරයි. එහිදී ඔහුට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකල යුතු ආකාරයේ සිතිවිලි උපදවා ගත නොහැකි වේ. මනස විකෘති වෙයි. කිලිටි සිතින් නිකුත් වන සිතිවිලි තරංග මගින් ඔහුගේ භෞතික පරිසරය පවා කම්පනයට පත් කරනු ලබයි. ජේමිස්ගේ සහායකයින්ටද කල යුතු දේ අමතක වූයේ ඔවුන්ද මේ දූෂිත චිත්ත තරංග සමග පෑහී සිටි හෙයිනි.

සොබාදහම යනු අති පිවිතුරු විශ්වීය නිර්මාණයකි. සොබා දහමට එරෙහි වන සිතිවිලි ක්‍රියාවලට විරුද්ධ ප්‍රතිචාර දැක්වීම සොබාදහමේ ධර්මතාවයයි.

ජේමිස් ඇතුලු පිරිස ඉහත ක්‍රියාවෙන් ලැබූ ආශ්වාදය, සතුට, සොබාදහම(පිවිතුරු ශක්තිය)පිලිනොගනී. “මහා පොළව නොසුලන අපරාධ”  යන විග්‍රහය ගැමියන් තුලින් මතු වන්නේද මේ තත්වය යටතේය. ජේමිස්ගේ හා ඔහූගේ සගයෝ සංසාරගත රස තණ්හාවෙන් වියරු වැටී, මෙත්තා කරුණාදී පිවිතුරු ලෝ දහමට පටහැනි සිතුවිලි වලට නතු වී නොකල යුත්තක්ම කලහ. දැන් පිවිතුරු සොබාදහම ප්‍රතිචාර දැක්වීමට සූදානම්ය. ජේමිස්ගේ සගයෝ උල් කරන ලී පොලු සුරක්ෂිතව ගැට නොගැසීමෙන් නොකල යුත්තක්ම කලහ. දබරය කරකැවීමද වැරදි ලෙස කලා විය හැක. එහි ප්‍රතිඵලය වූයේ බාල්දි දෙක ගැටීමෙන් ලී උල පෙරලී ජේමිස්ගේ පිට පසාරු කරගෙන යාමයි.

සොබා දහම හෙවත් “ධර්මය” නිහඩ බසින් කීවේ කුමක්ද? “අසරණභාවයට පත් ඒ තිරිසන් සතාගේ ජීවිතය බේරනවා වෙනුවට, ඔබ ඒ සතාට දුන් වේදනාව,දුක ඔබේ සතුටක් කරගත්තානම්,ඒක සතුටක්නම් නුඹත් විදලාම බලාපන්” යන්න නොවේද?

පෙර අගනක්, එක් එළු දෙනක හිස සිදා

ඇය ඇග රෝම ගණනේ හිස් කැපුම් ලදා……(ලෝවැඩ සගරාව)

එසේනම් ජේමිස් නිවැරදි පාඩම ඉගෙනගන්නා තුරු සසරේදී අනන්ත වාරයක් මේ දුකට මුහුණ දෙනු ඇති.

අකුසලයක් සිදුකල ජීවිතයේදීම විපාක දීම හැමවිටම සිදු නොවෙයි. ඇතැම් කර්මවලට ඊලග භවයේදී හෝ ඊට සුදුසු භවයකදී හෝ විපාක දෙනු ඇත. අකුසලයක් යැයි පැහැදිලිව පෙනෙන ක්‍රියා වලට පමණක් නොව, බොහෝ විට අකුසලයක් සේ නොපෙනෙන ඇතැම් ක්‍රියාවලටද විපාක ලැබෙන හැටි පුදුම දනවන සුළුය. එසේම ක්‍රියාව සිදුකරන ලද්දේ යම් භවයකදීද, ඊට විපාක ලැබීමට සුදුසු පරිසරය සකස්වීමෙන් අනතුරුව වෙනත්  භවයකදී විපක දීම ක්‍රියාත්මක වනු ඇත.

ජිනා සෙරමිනාගේ “මැනි මැන්ෂන්ස්” නම් ග්‍රන්ථය කන්නිමහර සුමංගල හිමියන් විසින් “සංසාර මන්දිර” නමින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතියට අනුව කැලිෆෝනියාවේ උපත ලද ජන්මයෙන්ම ක්‍රිස්තියානි ආගමිකයෙකු වූ කෙනෙකි. එඩ්ගාකේසි අධිමානසික ශක්තියෙන් පුද්ගලයින්ගේ පෙර භවයන් හා අතීත කර්මයන්ද හෙලි කරමින්. පුද්ගලයින් 25000කට අධික පිරිසකගේ රෝග සුව කල ඔහු, පුනර්භව‍ය පිලිනොගත් ක්‍රිස්තියානි ආගමිකයන් බුදුදහමේ පෙන්වන  පුනර්භව‍ය හා කර්මයද, කරම විපාක දීමද, සත්‍යක් බව සනාත කලේය. එඩ්ගාකේසිගේ එක්තරා හෙලි කිරීමක් මෙහිලා සදහන් කරන්නේ එයද මෙම සියවස තුල ජීවත් වුවෙකුගේ අතීත ජන්මයකට සම්බන්ධ හෙයිනි.

කැලිෆෝනියානු ප්‍රදේශයේ උපත ලද එක්තරා කෙල්ලක් උපතින්ම වර්ෂ කිහිපයකට පසු තුනටියේ කාශ රෝගයකට ගොදුරු වූවාය. එයින් ඇයගේ දෙපා කොර විය. තරුණ වියේදීම ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වූ ඇය තරුණ වියේදීම අනෙක් අය ලබන ජීවිතයේ කිසිම සතුටක් ලබන්නට නොහැකිව දුකට පත් වූවාය. කොර කෙල්ලකට අකාරුණික සමාජයෙන් ලැබුනේ අපහාස උපහාස පමණි. ඇයගේ රෝගයට ප්‍රතිකාර ගැනීමට එඩ්ගා කේසි වෙත යොමු කරන ලදී. ඇයගේ කොර බවට හේතුව සම්මෝහන නිද්‍රාවකදී එඩ්ගා කේසී විසින් ප්‍රකට කරන ලදී.

ඇයගේ මෙම ජන්මයට පෙර ජන්මය ඇමරිකානු ප්‍රදේශයේම මුල් පදිංචිකරුවන් අතර විය.කොර වීමට හේතු වූ අකුසල කර්මය ඊටද පූර්‍ර්ව ජන්මයේදී සිදුවූවකි. ඇය ඒ ජන්මයේ ලබා සිටියේ ඉතාලියේ රෝමයේය. ඇය එකල“නීරෝ” මාලිගයේ රදළ ස්ත්‍රියක්ව සිටියාය. එය ආගමික ගැටුම් පැවති යුගයකි. ක්‍රිස්තියානි ආගමිකයනට දරුණු වද හින්සා පමුණුවන වදක භූමියේදී එසේ වද හින්සා පමුණුවන හැටි බලා ඇය ප්‍ර්‍රීති වූවාය. දඩුවම් ලැබිය යුත්තන් සිංහයන් සිටින කොටුවකට දමා සිංහයන්ගේ පහර දීමට ලක් කිරීම වද පමුණුවන එක් ක්‍රමයකි. මෙසේ සිංහ පහර දීමකට ලක් වී සිංහයකුගේ නිය පහරින් පලන ලද අංශයක් ඇති දැරියක් දුක් විදින හැටි බලා ඇය සිනාසුනාය. මේ අකුසලයේ විපාක වශයෙන් ඇය දැන් තුනටියේ කාශ රෝගයෙන් දුක් විදින කොර කෙල්ලක්ව විදවයි.

වධ හිංසාවට ලක්වූවන් දෙස බලා සතුටු වීම හා වධයට ලක්ව ශරීරයේ අංශයක් ඉරී ගිය අසරණියකට උපහාසයෙන් සිනා සීම මෙහෙදී මතුකර දැක්වුණු අකුසල කර්මයයි. බැලූ බැල්මට මෙහි විශාල ක්‍රියවක් සිදු වී නැති බවක් පෙනේ. සුළු සිද්ධියක් සේ පෙනෙන්නේ ඒ අවස්ථාවේ රදළ ස්ත්‍රියගේ බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධ‍යෙන් පමණි. ඒ ක්‍රියාවලිය තුල ඇගේ සිතිවිලි වල දැඩි කෘෘර බවක්විය. රදලකමින් තමා උසස් කොට සලකමින් තමා පහත්කොට සැලකීම හෙවත් පරවම්භනය නැමැති අකුසල චේතනාව ඇය තුල ක්‍රියාත්මක විය. එහි විපාක විදින ඇයගේ වර්තමාන ජන්මය, කිසිවක් කරකියාගත නොහැකිව, කොර කෙල්ලක්ව ණය ගෙවයි. කෙනෙකු කොතරම් දුර්වල, අංගවිකල හෝ දුකට පත්වී සිටියත් අය තව කෙනෙකුගේ සිනාවට උපහාසයට ලක්වියයුතු නැති බව සොබදහමේ විනිශ්චය බව මෙයින් පෙනේ. මෙබදු ක්‍රියා අද මිනිස් සමාජය තුල සුලභ දේ නොවේද?  ඔබත් ඒ රදළ ගැහැණිය මෙන් අනුනට සිනා සී නැති දැ‍‍යි සිතා බලන්න.

අප ගෞතම බුදුන් වහන්සේට නිතර මතුවන කොන්දේ වේදනාවක් පැවැති බව ඔබ අසා ඇත. බෝසත් අවධියේ මල්ලව පොර ශූරයෙකුව සිටියදී, තමාගේ ජයග්‍රහණය සලකා ද්වේශ සහගත සිතින් ප්‍රතිමල්ලවයා ඔසවා බිම හෙලා කොන්ද කඩා දැමීමේ අකුසලය මේ වේදනාවට හේතුවයි. සියලු කෙලෙසුන් නසා බුදු වූ උත්තමයෙකුට වුවද පෙර භවයන්හි කරන ලද අකුසල කර්ම ක්ෂය කිරීමට නොහැකි විවිධ ක්‍රියාවනට මුල් වන චේතනාවන්ගේ ස්වභාවය මතම ඔහුගේ භව ගමන හා විදින දුක සැප තීරණය වන බව අවබෝධ කටයුතු වෙයි. ක්‍රියාවේ බාහිර ස්වරූපයට නොව ක්‍රියාවට මුල් වන චේතනාවේ ස්වභාවය මතම විපාක විදීමට සුදුසු කයක් ලබා දීමද සොබාදහමේ හෙවත් ධර්මයේ විනිශ්චය බව ප්‍රත්‍යක්ෂ කලයුතුය.

භාවනායෝගී අයි.ඩබ්ලිව්. ආයුපාල විශ්‍රාමික විදුහල්පති.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *