සොබාදම් නීතියෙන් සසරට තිරිංගයක්…

ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය… මේ හැම දෙයකම මුසුවකින් ගොඩනැගුණු හැගීම්, දැනීම් සිත් තුළ ගොනු කරගෙන ජීවත් වන සත්ත්ව කොට්ඨාශයක් තමයි අපි, මිනිස්සු අතරින් මනුෂ්‍යයන් හා මනුෂ්‍යයන් නොවන ලෙසින් දෙකොට්ඨාශයකට වෙන්කළ හැකි වුවත් එකිනෙකා සමග සුහදව, ස්ථානෝචිත ප්‍රඥාව උපරිම ලෙසින් ප්‍රයෝජනයට ගනිමින් ජීවිතය පවත්වා ගැනීමට තරම් අප බුද්ධිමත් විය යුතුයි.

ඉපදීම හා මියයාම අතරතුර ඇති කාලය සාපේක්ෂව කුඩා වුවත් ඒ කුඩා කාල පරාසය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නේ නම් ආත්මීය වාසනාවන්තයා ඔහු හෝ ඇය වනු සත්‍යයකි. ඉපදෙමින් මියයන මේ දීර්ඝ ඒකාකාරී ජීවන චක්‍රයෙන් මිදෙන්නට හෝ රිය සක සේ තව තවත් හසුරුවන්නට මේ සංසාර සාගරයේ එතෙරක් සොයන්නට හෝ දික්ගස්වා ගන්නට ඇති හේතු න්‍යායත් ඇත්තේ අප තුළමය.

විශ්වනීය හේතු ඵල දහමින් බිහිවුණා වූ සකළ ලෝක සංහතියම බුද්ධියෙන් උසස් වූ අපේම මිනිසා සියල්ල උඩු යටිකුරු කරන්නට යත්න දරන්නේ ”අප බුද්ධිමතුන්, උගතුන්,වියතුන්” යන්න හිස් මුදුනේ තබාගෙනය.
ක්ෂුද්‍ර ජීවියාගේ සිට මිහිපිට පෙනෙන විශාලම සත්වයා දක්වාත්, නොපෙනෙන අදෘෂ්‍යමාන ලෝකයේ දෙව් බඹුන් හෝ වේවා, භූත ප්‍රේතයන් හෝ වේවා, විශ්ව මාතාවගේ සැබෑ ඒකමතික තීරණය කාටත් පොදු වන්නේය.

සසරට මුලපිරූ දා සිට තම තමන් කරගත්තා වූ සෑම ක්‍රියාවක්ම, සසර තව තවත් අඛණ්ඩව පවත්වා ගන්නට පුණ්‍ය කර්මයක් හෝ පාපකර්මයක් වී ඇති නියාවෙන් ඒ පින හෝ පව ගෙවා දැමීමට නැවත භවයක උත්පත්තිය ලබයි. මේ ජීවන කාල පරාසයේදී පිනට හෝ පවට අමතරව කුසලයන් කර ගනිමින් සසරට තිරිංග දමන්නේ කීයෙන් කී දෙනාද? නමුත් තම තමන් නොදැනුවත්වම අකුසල් ගොඩනගා ගන්නේ කෙසේද? නැවත නැවත ඉපදෙමින් ඒ අකුසල් ගෙවා දමන්නේ කෙසේද යන්න, කර්මයන් තමාට පළදෙන්නේ කුමන හේතූන් මතද යන්න හරි හැටි නොවැටහේ.

මවු කුස තුළ ගත කළ කාලය තුළ අප කො‍යිතරම් නම් දේ අධ්‍යයනය කළාද? ශරීරය තුළ ඇති ක්‍රියාකාරීත්වයන් දකිමින් දැනීම් වලට සංවේදනය වෙමින් මෙලොව එළිය දුටු දා පටන් අළුත් මුහුණු, අළුත් ආකාරයේ සිතිවිලි වලට වහල් වෙමින් වැඩෙන්නේ, විටෙක බඹු විහරණ මෙත් පතුරවමින්ද, විටෙක යම පල්ලන්ගේ වෙසටද පෙරළෙමින්ය.

සිත සුන්දරයි, ලාමකයි. තමන් ආසා කරන දේවල්, ගැළපෙන සමාජ වටපිටාව තමන් වටා ගොඩනැගෙන්නේ නම් හිත පිරිසිදුයි. ඒත් අපි ආත්මයෙන් ආත්මයට පතාගෙන යන දේවල් වෙනස් කල නොහැකියි. සත්ත්වයන්ට මෙන් වේග‍යෙන් නොහැකි වුවත් මිනිසුන් වන අපත් අනුවර්තනයට ලක්වීමට වන නියාවෙන් අටලෝ දහමට කම්පා නොවන්නට තරම් ප්‍රඥාවන්ත විය යුතුයි. දරා ගත නොහැකි තරම් සිතිවිලි ගොනුකර ගත් ඕනෑම සිතකට දරුණු වේශයක් ගැනීම ඉතා පහසු කරුණක් වනවා සේම නපුරෙකු ලෙසින් ක්‍රියාකර තමන්ගේ මෙන්ම අනුන්ගේ සිත්ද දූෂණය කිරීමට එතරම් කාලපරාසයක් වියදම් නොකරයි.
නමුත් දමනය කළ සිත් ඇති තැනැත්තා හෝ සසර ඉමක් දකින්නට වෙර වෑයම් දරන තැනැත්තාට තම නුවණින්, මේ සිත්හි කැළඹීම් ස්වභාවය තේරුම් ගත හැකිවන්නේය. නපුරු වේශයක් මවා පාමින් හෝ, තම සිත පිරිසිදුව තබා ගත හැකි වන්නේය.

තම තමන් කුඩා කල සිට ජීවත් වූ ජීවන රටාව, සිතුවිලි ගොඩනගාගත් ක්‍රම පටිපාටිය වෙනස් කිරීම අපහසු බව මා හොදින්ම දනී. නමුත් කෙලෙසකින් ක්‍රියා කලත් තම තමන්ගේ සිතත්, අන්‍යයන්ගේ සිතත් යන දෙකම කිලිටි නොවන සේ ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් වේ නම් එමගින් පරපණ නොනසන බවට පොරොන්දු වූ ශීලය ආරක්ෂා කරන්නා සේම ඊට නොදෙවෙනි ලෙස කුසලයක්ද ක්‍රියාත්මක වන බව ඔබ දන්නේද?

අන්‍යයන්ගේ නොව තමන්ගේ කය මෙන්ම සිතද දමනය කිරීමට හැකි තැනැත්තා සැබෑලොව දිනූ වීරයෙකු මෙන්ම විශ්වයටම අභියෝග කළ චන්ඩියෙකු නොවන්නේද?

වටිනා බුද්ධ සභාවක උතුම් බුදු පියාණන් වහන්සේනමක පාමුල වටිනා විවරණ සම්පත්තියක් දරාගන්නට, ලැබූ භවයේ උරුම වූ සිත කෙසේ හෝ පාලනය කර ගනිමින් ඒ වාසනාව උදාකර ගැනීමට ඔබටත් මටත්, ශක්තිය ධෛර්යය නිතැතින්ම පසක් වේවා!!

ඉන්දීවරී ගුණතිලක.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *