උතුම් වූ ගෞතම බුදුන් වහන්සේගෙන් ලෝ වැසියා දහම් පිපාසය සංසිදුවා ගෙන දැනට වසර 2550ක් ගෙවී තිබේ. එහෙත් ඒ දහම අමා සයුර තුළ ගිලෙමින් ගැලෙමින් කී දෙනෙක් නම් අමෘත වූ නිවන සොයා ගන්නට ඇත්ද? ඒ දහම් අමා සයුර එදා දුටුවෝ, ගිලුණෝ, ගැලුණෝ තවත් කී දෙනෙක් මේ ලෝ තලය තුළ අනේක දුක් ගංගා ඉවසමින් සිටින්නන්ද? එදා බුදුන් උපන් දේශයේදී බුදුන් වහන්සේගෙන් බණ අසා, පැන් පූජා කර, ආහාර පූජා කර රහත් ආදී වූ මග ඵල ඇත්තන් වෙනුවෙන් ඇප උපස්ථාන කරමින්, ඒත්… මෝහයේ සරදමින් ප්‍රඥාව අවධි කර ගැනීමට තරම් නොහැකි වූ පුද්ගලයෝ කොතෙක් නම් මේ බුද්ධ කල්පයේ ඉතිරි වී ඇත්ද? එදා දීපංකර බුදුන් වහන්සේගෙන් පළමු විවරණය ලැබුණු දා ගෞතම නමින් බුදු වූ සුමේධ තාපසයාණන්ට දීපංකර බුදුන් වහන්සේට තරම්ම පුද පූජා සුමේධ තාපසයාණන්ට ලැබෙද්දී, ඒ ජන ගංගාව කුමක් නම් ප්‍රාර්ථනා කරන්නට ඇත්ද? අනේ! සුමේධ තාපසයාණෙනි, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අප හට නිවන් දකින්නට තරම් පිං මදි වුවොත් ඔබ වහන්සේගේ බුදු පදවිය ලබන දා අපවත් මේ දුකින් මුදවන සේක්වා! එදා සිට ඒ බෝසතුන් පසුපස ඔබ සැමද ඒ අදිටනින්ම ගමන් කරන්නට ඇත. ඒත් උන්වහන්සේ බුදුවන විටත් ඔබ රැස් කරගත් පින් මදි වෙන්නට ඇති. කුමක් නිසාද? බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින්ටම පමණි. ලෝභයෙන්, ද්වේශයෙන්, අත් මිදෙමින් මිනිස් ශරීරයක් ගත්තත් මෝහයෙන් දුරු වෙමින් ප්‍රඥාව වර්ධනය කර නොගතහොත් මේ මහා පංචස්කන්ධය කුණු මස් ගොඩකට නම් සමාන කළ හැකිය. අද සිදු වී තිබෙන්නේද එයමය. ගිහි වුවත් පැවිදි වුවත් ප්‍රඥාව නැත්තා සැමවිටම මෝඩයෙකි.
ලබා ගෙන තිබෙන්නා වූ මේ මිනිස් භවය ගැන හැමෝම උදම් අනන්නේ අන් සතුන්ට වඩා අප ඉහළින් සිටින්නේ යැයි හැගෙන බැවිනි. නමුත් මේ උදම් අනන මිනිසා තමන්ගේ මිනිස් භව හැම භවයකම රැක ගනීද? සිතා බැලිය යුතු තත්වයක් නේද? බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ මග වඩින විට පවිටු බස් තෙපළු මසුරු සිටාණන් කෙනෙකු මරණයෙන් මතු ඒ නිවසේම බල්ලෙක් සේ ඉපිද උන්වහන්සේට බලු භාෂාවෙන් ගෝර නාඩු කරද්දී පෙර ආත්මභාවය ගැන අන් භික්ෂූන් අමතා කළ කතාවෙන් මෙය මොනවට පැහැදිලි වේද? ලබන ප්රතිසන්ධි භාවයක් ඇතත් නැතත් මේ භවය තුළ මනා හික්මීමකින් තමන්ව අන් අයට හැම අතින්ම උපමා කර ගනිමින්, සිටින්නේ නම් තමන්ට ඇති වන යහපත සිතන්නට යමෙකුට හැකිනම්, එයද නොදැනීම ජීවිතයට අර්ථයක් නොවන්නේද? නමුත් නිවැරදිව ප්‍රඥාව ගොඩ නගා ගන්නා පුද්ගලයාට මේ සංසාරය පමණක් නොව මතු සංසාරය ද අලෝක කර ගැනීමට තරම් ශක්තියක් උදා වන බව නම් රහසක් නොවේ. කළාතුරකින් ලැබෙන මිනිස් භව ඇතැම් විට අප හරි ආකාරව තේරුම් ගැනීමට වුවමනාවක් නැත. තෘෂ්ණාව තුළ ගැලෙමින් සිටින පෘතග්ජනයා එම තේරුම් ගැනීමට උත්සාහ නොකරයි. හැම දෙනාටම ළමා වියක්, තරුණ වියක්, මැදි වියක්, මහළු වියක් තිබේ. තරුණයා මැදි විය ඉක්ම වුවත් ඇතැම් විට මහළු වියක් තිබේ. තරුණයා මැදි විය ඉක්ම වුවත් ඇතැම් විට මහළු වන බව නොසිතයි. නමුත් කවුරුත් එකා සේම වයසට යයි. හම රැළි වැටෙයි. ආදරයෙන් ඔපමට්ටම් කළ මුහුණ හැකිළෙයි. ලෙඩ රෝග වෙයි. ආදරය, කරුණාව හෝ නොමැතිව මරණයට පත් වෙයි. මොළය පෑදෙන්නේ එම අවස්ථාවේදීය. නමුත්… ඔබ… ප්‍රමාදයි…
නමුත්… සිතන්නට යමක් ඉතිරිව තිබේ. ප්‍රඥාව කොහේ නම් තිබෙන ප්‍රඥාවක්ද? උපන් දා සිට මේ වන තෙක් ජීවත් වුණා. අන් අය වගේම සමාජයේ වැඩ කටයුතු කරමින් සිටියා. මේ ප්‍රඥාව නොවන්නේද? යමෙක්… පණ්ඩිතයෙක් වූ පමණට… මහා උගතෙකු වූ පමණට… සමාජය තුළ නම්බු නාම ලබා ගත් පමණට කෙනෙක් ප්‍රඥාවන්තයෙක් නොවේ. එමෙන්ම බුද්ධිමතෙක්ද නොවේ. නමුත් උගතෙක් නම් විය හැකිය. උගත් කමක් නම් පොතක් පතක් කට පාඩම් කරගත් පමණින් යමෙක්ගෙන් අසා දැන ගත් පමණින් විභාගයක් පාස් කරගත් පමණින් ලබා ගත හැකිය. නමුත් බුද්ධිමත් බව ඒ අනුසාරයෙන් ලබා ගැනීමට නොහැකියි. බුද්ධිමත්කම සදහා උගත්කමක්ද තිබිය යුතුයි. නමුත් බුද්ධිය යනු සිත තුළ පහළ වන නිර්මාණශීලී දැනීමයි. එහෙත් ප්‍රඥාව ඊට හාත්පසින්ම වෙනස් වූවකි. එය සිත තුළ පවතින නිර්මාණශීලී හැකියාව තුළ මතුවන සංසාරික බුද්ධි ඵලයකි. මෙම බුද්ධි ඵලය ඇත්තා සසර වසන හැම අත් භවයකම බුද්ධිමය ඵලයක් නෙළා ගැනීම සදහා තමන්ගේ සිත නැමැති යන්ත්‍රණය මෙහෙය වූවෙකි. එනම් ක්ෂණයක් පාසා වෙනස් වන සිතිවිලි වේගය අවම කරමින් විශ්වය ගැන අව්‍යාජ අත්දැකීමක් ලබා ගත්තෙකි. දීපංකර බුදුන් වහන්සේ මෙළොව පහළ වූවාට පසුව තවත් බුදු වරු 23 දෙනෙකු ලොව පහළ විය. එනම් බුදුවරු 23 දෙනෙකුට ඉහතදී සුමේධ නම් වූ තාපස තෙම සමථ භාවනාවේ කෙළ පැමිණියෙකි. හේ පංච අභිඥාලාභියෙකි. අෂ්ඨ සමාපත්තිලාභියෙකි. ක්ෂණයකින් දෙව්ලොව පසුකරන චිත්තාවේග උපදවා ගත් අයෙකි. බලන්න අරුමය… බුද්ධ විවරණය ලබා ගන්නා අවස්ථාවේ වන විටත් ඔහු නිවන් පුරය අභියස නේද? ඒත් එතැන් සිට පාරමී පිරුවේ නිවන් දකින්නද? ඔව්… ඒත්… සම්මා සම්බුද්ධත්වයට පත්වී නිවන් අවබෝධ කරගන්නට නේද? එසේ නම් එවැනි මහා ඵලයක් පොතකින් පතකින් හෝ පණ්ඩිතයෙකුගෙන් උගත හැකිද? බැහැ නේද? කඩා වැටෙන සිත නැවත ප්රකෘත්තියට පත් කර ගත හැක්කා නම් මහා ජගතෙකි. කඩා වැටෙන හිරු සදු අල්ලා නැවත ආකාශයේ සවි කරන්නා ලඝු මිනිසෙකි. තවත් ලෙසකින් කියන්නේ නම්… පිහි අමෝරාගෙන ආයුධ දරාගෙන පිරිස් රැස් කරගෙන යමෙකු තවකෙකු මෙල්ල කරයි නම් හේ චණ්ඩියෙකු නොවේ… යමෙකු වේගයෙන් විසිරෙන මේ සිත මෙල්ල කරයි නම් ඔහු මේ ලොව සිටින හොදම චණ්ඩියාය.
සිතන්න… මදක් ලෝභයෙන් මිදුණු තරමට, ද්වේශයෙන් මිදුණු පමණට අපට නිවන් දැකිය හැකිද? නිර්ලෝභී සිත තුළ අදෝශ සිත තුළ පවතින්නේ යහපත් හැගීමක් බව නම් සැබෑය. නමුත් යහපත හා අයහපත (පිං/පව්) දෙකම සසර දික් වීමේ තවත් අංගයකි. මේ සංසාර භවයේදී අප විසින් භුක්ති විදින්නේ එසේ පෙර සංසාරයේදී ලෝභයෙන්, ද්වේශයෙන් ඉවත් වීමේ ප්රතිඵලයයි. මේ භවයේදී කොතරම් මේ තත්වයෙන් ඈත් වූවාද යන්න මත මතු ආත්ම භාවයේදී එහි ප්‍රතිඵලය භුක්ති විදිය හැකිය. නැවත සිතන්න… අප පෙර භවයේදී හොදින් යමක් අපගේ ක්‍රියාදාමය තුළ රැස් කරගෙන තියෙනවා නේද? ඒ නිසාම මේ භවයේදී මේ ශරීරයත් මේ නෑදෑ හිත මිතුරන්, මුදල් ආදිය ලැබී මිදෙන්න මිදෙන්න සියලුම ලෞකික සැප සම්පත් ඊළග භවයේදී අපට උරුම වීම නිරන්තරයෙන් සිදුවේ. අප දැන් සිදු කළ යුත්තේ කුමක්ද? කළාතුරකින් ලබා ගත් මේ පිංවන්ත ආත්ම භවය නිවැරදි වූ ආධ්‍යාත්මය තුළ සකසුරුවම් කිරීම නොවන්නේද? එනම් ලෝභයෙන් ද්වේශයෙන් මිදුණා වාගේම මෝහයෙන් මිදීම (ප්‍රඥාව තුළ ගොඩනැගීම) අප අනිවාර්යයෙන් සිදු කළ යුතුය.
මේ සදහා අප පිං කළ යුතුද? ඔව්… සත්තකින්ම ඔබ පිං කළ යුතුමය. නමුත් ඒ ඔබ මෙතෙක් කරගෙන ආ “පිං” නම් නොවෙයි. අපට පිං කළ හැකි ක්‍රම තුනකි. ඉහත සදහන් කළේ අප කරන පළමුවන පිංකමයි. දාන මාන දීම, අන් අයගේ යහපත සදහා කටයුතු කිරීම, අසරණයින්ට පිහිට වීම, සතුන්ට ආහාර ලබා දීම, ආරක්ෂා කිරීම, දුගී මගී යාචකයන්ට දීම ආදිය ඒ පළමු පිංකම තුළ සිදුකළ යුතු යහපතයි. නමුත් කොතරම් එය යහපත් දෙයක් වුවත් සසර ඇවිද්ද වීමට තරම් මේ පිං හැර වෙනත් පිං හේතු නොවන බව නම් කිව යුතුමය.
දෙවන පිං කිරීමේ ක්‍රමය වන්නේ සිතෙහි ඇති කරගන්නා “සමාධි”යයි. ඉන් සමථ සමාධියයි. වේගයෙන් ක්‍රියාත්මක සිත සමථ භාවනාවක් තුළ ගොඩනගා ගන්නා බලය තුළ සසර ආ මග ඇති සියලු අකුසල යටපත් කරන්න හේතු වෙයි. මරණින් මතු බ්‍රහ්ම ලෝක තුළ අවුරුදු කෝටි ගණන් බ්‍රහ්ම ආයුෂ ලැබීමටද හේතුවෙයි. මේ භවයේදීම අභිඥා ශක්තීන් උපදවා ගැනීමට හේතුවෙයි. නමුත් මේ සමථ සමාධිය තුළ ලබාගන්නා ශක්තිය ද අපට අවාසනාව කැදවයි. එම සමාධි බලය තුළ ඇති වූ ශක්තිය ගිලිහුණු විට නැවත යටපත් වූ අකුසල් මතු වී සසර තැවෙන්නට හේතුවක් වෙයි. ඇතැම් විට අවුරුදු කෝටි ගණනක් බ්‍රහ්ම තලයක ආයුෂ භුක්ති විදින අතරතුර බුදුවරු දහස් ගණනක් බණ කියා අපගේ හත් මුතු පරම්පරාවක්ම සසර දුකින් එගොඩ කරමින් සිටිනවා විය හැකිය. එයත් වාසනාවක් ලෙස පෙනුනද මහත් අවාසනාවක් නේද?
මෙන්න ඔබ විසින් කළ යුතු තුන් වෙනි පිං කම…. පෙර සංසාරයේ දාන, ශීල, භාවනාවෙන් යුක්ත වූ ඔබ මේ භවයේදී උතුම් ප්‍රතිසන්ධියක් ලබා ගෙන තිබේ. දැන් සිදු කළ යුතුව ඇත්තේ… විදර්ශනා සමාධිය තුළ ඔබ, ඔබ දෙස බැලීමයි. ඔබ ඔබගේ සිත දෙස බැලීමයි. ඒ සදහා ඔබ කළ යුතුව ඇත්තේ බඹයක් පමණ වූ ඔබගේ ශරීරය තුළ ක්‍රියාත්මක භවය මැනවින් අවබෝධ කර ගැනීමයි. සියුම් ලෙස කිවහොත් මුළු විශ්වයේම රහස ඇත්තේ ඔබගේ සිත කය හා බැදෙන තැනයි. උතුම් නිවන සොයා ගැනීම සදහා විදර්ශනාව වැඩිය යුතුමයි. විදර්ශනා නුවණ තුළ සසර ආ මග ඇති සියලු කෙලෙස් නැවත මතු නොවන පරිදි එකින් එක ක්ෂය වෙයි. නැවත ඇති නොවන පරිදි විනාශ වෙයි. උතුම් “ප්‍රඥාව” අවබෝධය තුළින් අමෘත වූ නිවන ලැබෙයි. නමුත් අද අපි කරන්නේ කුමක්ද? භාවනා පන්ති යන්නේ මුදල් ගෙවා නේද? භාවනාව… සමාධිය හදුන්වන්නේවත් නැති පුද්ගලයෝ අහිංසක බුද්ධ භක්තිය තුළ මුදල ගරු නාම විකුණයි. බුදුන් වහන්සේගේ සූත්‍ර, අභිධර්ම පිටක පරිවර්තනය කර විකුණාගෙන කයි. මේ එකදු පව්කාරයෙකු හෝ මුලින් සදහන් කළ තුන් වැනි හොදම පිංකම තබා දෙවෙනි මධ්‍යම පිංකම හෝ පළමුවැනි අඩුම පිංකම හෝ සිදු නොකරයි. මේ ගැටළුව ඔබට නොපෙන්නේ ඇයි? ඒ තෘෂ්ණාව නැමැති ඒ දුෂ්ට මිනිසා ඔබට හොරෙන් ඔබට නොදැනෙන්නට මෝහය නැමැති බදාමයෙන් බැම්මක් බැද තිබේ. ඒ නිසාම ඔබ සංසාර චක්‍රය තුළ තවමත් ඉපදෙමින් මැරෙමින් ගමන් කරයි. මෙම බැම්ම බිදීමට ශීලයෙහි, සමාධියෙහි, ප්‍රඥාවෙහි ශක්තිය ඇති බලකොටු තුනක් අවශ්‍යයි. තෘෂ්ණාව තුළ රත් වී සිටින සිතිවිලි භටයෝ මෙල්ල කිරීමට පුරුදු ජනරාල්වරයකු සිටිය යුතුය. බැම්ම බැද තිබෙන පංච නීවරණයන්, දස සංයෝජනයන් (සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ආදී)එකින් එක මුලිනුපුටා දැමීමට සමත් සමථ විදර්ශනා ක්‍රම නැමැති අවි ආයුධ තිබිය යුතුය.
“ඔබ දැන් හොදින් තේරුම් ගන්න. ඔබට අන් අයගේ රැවටීමට මුලාවට හසු වීමට අවශ්‍ය නැත. වහා සොයන්න. මාර්ගය පවිත්‍ර කරගන්න. පෘතග්ජන මාර්ගය තුළින් ඉවත් වන ඔබ මේ ලං වෙමින් සිටින්නේ ආර්යය මාර්ගයටයි. ගමන් කළොත් ආර්යය ඵලය හමු වේවි.”