සැමට යහපත සලසන්න, මැනවින් වචනය හසුරුවන්න.

සිත තුළ ඉපදෙන්නා වූ අපගේ විවිධ වූ හැගීම් අප ප්‍රකාශයට පත් කරනුයේ වචන භාවිතයට ගෙනය. එබැවින් වචනය අපගේ හැගීම් ප්‍රකාශ කරන මාධ්‍යය ලෙසද හැදින්විය හැකිය. වචනය බලවත් ආයුධයක් වන්නේ ඒ තුළින් කෙනෙකුට අයහපතක් මෙන්ම යහපතක්ද විය හැකි වීමය. ජීවිතයක් නැති කිරීමටත්, උපද්ද වීමටත් අරුම පුදුම හැකියාවක් වචනය තුළ ඇත. එබැවිම් අප සැම විටදීම සමාජයට හිතකර පරිදි වචනය හැසිරවිය යුතුය. වාග් සුචරිතය ශීල විසුද්ධියේ එක් අංගයක් බව අපි දනිමු.වචනයේ සංවර බවක් නොමැතිනම් ශීලය සම්පූර්ණ නොවේ. ශීලයේ පිරිසිදු බවක් නොමැතිනම් සමාධිය හරි ආකාරව පවත්වා ගත නොහැක. කෙනෙකු ප්‍රකාශයට පත් කරන වචන තුළින් එම පුද්ගලයන්ගේ සම්භාවය කෙබදු දැයි බොහෝ විට හදුනා ගත හැක. සිත තුළ මොනයම් විදිහේ ආවේග ශීලී හැගීම් තිබුණද ඒවා පාලනෙයෙන් තොරව මුවින් පිටකර හැරීමෙන් තමාටත් සමාජයටත් අවැඩක්ම සිදුවන බව කල්පනාවට ගත යුතුය. අප නිතරම භාවිතා කළ යුත්තේ කෙනෙකුට අයහපතක් වන සිතට පීඩාකාරී, වේදනාකාරී වචන නොවේ. කෙනෙකුගේ සිතට සතුටක් උපදවන සිතට සුවයක්, සහනයක්, ශක්තියක් ගෙන දෙන සහනශීලී අර්ථවත් ම වචනයි. අප මුදා හැරිය යුත්තේ අපගේ වචනවලින් කෙනෙකුගේ පීඩාවට, වේදනාවට, අසහනයට පත්කළා නම් එය අප පව් රැස් කරගත්තා වෙයි.

බුදු පියාණන් වහන්සේ සෑමවිටම දීම ශ්‍රී මුඛයෙන් දේශනා කළේ අර්ථවත් වූත් මිහිරිත ම වූත් වචනයි. ධර්මයෙන් සිත පහදා ගැනීමට පෙර උන්වහන්සේ ගේ ආදරය, කරුණාව, මෛත්‍රිය කැටි වූ වචන පෙළින් ම කෙනෙකු සුවපත් වූවා යි කිව හැකිය. මළ මිනියකට බැද දමා තිබූ සෝපාකට උන්වහන්සේ ආමන්ත්‍රණය දිව්‍ය ඖෂධයක් බදු විය.

“සෝපාක, දරුව මෙහි එන්න, බිය නොවන්න මම ඔබට පිහිට වෙමි.” දයාව, කරුණාව, මෛත්‍රිය කැටි වූ වදන් පෙළින්ම සෝපාක සුවපත් විය. බිය සැක පහ විය. මරණ භයින් තැති ගැන්වී සිටි කුඩා දරුවාට නව පණක් ලැබිණි. ගුණාත්මක බවින් හා අර්ථවත් බවින් යුතු වූ වචනම අප සමාජයට දිය යුතුය. කෙනෙකුගේ කනට මිහිරි වන ප්‍රියමනාප උපදවන ආකාරයට වචනය භාවිතා කළ යුතුය.

තමන්ගේ ශිෂ්ඨ සම්පන්න බව රැකෙන පරිදිත් සමාජයේ ශිෂ්ඨ සම්පන්න බව ආරක්ෂා වන පරිදිත් අප වචන මුදා හැරිය යුතුය. කෙනෙකුගේ සතුට උදුරාගන්නා පරිදි ද්වේෂ සහගත සිත් ඇතිවන පරිදි දූෂ්‍ය වචන පිටකළ යුතු නොවේ. බොහෝ ජනයාගේ හිතසුව පිණිස මනාප ලෙසත් වචන හැසිරවිය යුතුය. සදාකාලික සතුරු බවක් ඇතිකර ගන්නා ආකාරයටද කෙනෙකුට වචන භාවිතා කළ හැක. පොඩි ළමයෙකු හට අප තදින් සැර පරුෂ ලෙස කතා කරන්නේද,ආදරයෙන්, කරුණාවෙන් කතා කරන්නේද එම අවස්ථා දෙකම පිළිබද මනා දැනීමක් සිතෙහි සටහන් කරගන්නා ළමයා ඒ අනුවම කටයුතු කරයි.තදින් සැර පරුෂ ලෙස කටයුතු කරන පුද්ගලයා කෙරෙහි ළමයා දක්වන්නේ අප්‍රිය බවකි. එවන් අයගේ ඇසුර ළමයා ප්‍රතික්ෂේප කරයි. රෝගා බාධ නිසා දුකට වේදනාවට පත්ව සිටින කෙනෙකුගේ සිත සතන් සතුටු කරවන ආකාරයේ කතා බස් කිරීමට අපට හැකියාව ඇත. වෙදකම මෙන්ම හෙදකමද රෝග සුවය කෙරෙහි බලපායි. රෝගියාගේ සිත නිතර සැහැල්ලුවෙන්, සතුටෙන් තැබීමට හැකිනම් ඉක්මන් සුවයක් ලගා කරගත හැකිය. රෝගියෙකුට ජීවිතය එපා වන ආකාරයෙන් සැර පරුෂ රළු ලෙස ඔහු අපට වදයක් වී ඇති බව හැගී යන පරිදි වචන පැවසීමෙන් රෝගියාගේ සිත අප්‍රසන්න බවක්, කළකිරීමක්, වේදනාවක් ඇති වීමෙන් රුධිර පද්ධතියේ අපිරිසිදු බවක් ඇති වී රෝගය උත්සන්න විය හැකිය. එබැවින් වචන පිට කිරීමේදී පුද්ගලයාගේ ස්වභාවය ගැන ද සිතිය යුතුය. කෙනෙකු වෙහෙසට පීඩාවට පත් කරන වචන ප්‍රකාශ නොකළ යුතුය.

වචනය ඉතා බලගතුය. අප වචනය දුබල කරගත යුතු නැත.වචනය දුබල වන්නේ රළු බවක් ඇති වූ විටය. වචනය රළු වන්නේ සිතේ ස්වභාවය මතයි. කෙනෙකුගේ යහපතට ද අයහපතට ද වචනය බලපායි.

වචනය නිසා සිදුවන වැරදි සතරකි. මුසාවාදය, පිසුනාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්ඵලාපය. බොරු කියනුයේ කෙනෙකු මුලා කිරීමටය, රැවටීමටය. යම් කෙනෙකු බොරුවෙන් මුලා කරයිද රවටයිද සමාජය තමා කෙරෙහි තැබුවා වූ විශ්වාසය නැතිව යයි. පිළිකුලට භාජනය වෙයි. විශ්වාසවන්තයෙකු නොවන නිසා කිසිම අවස්ථාවක පිළිගැනීමක් නොකරයි. කෙනෙකු රැවටීම නිසා පවක් සිදුකර ගන්නා අතර එය ගැන සිතමින් දුක් වුවහොත් අකුසලයක්ද කරගත්තා වෙයි. තමන්ගේ වාසිය පතා හෝ අනුන් රැවටීමට මුලා කිරීමට හේතු වන වචන පිට කිරීම යහපත් නොවේ.

වචනය මුල් කරගෙන සිදුකරන අනෙකුත් පාපකාරී ක්‍රියාව පිසුනා වාචාය. කේලාම් කියා දෙදෙනෙකු අතර හොද හිත පළුදු කිරීම සුදුසු නොවේ. අද සමාජයේ බෙහෙවින්ම දක්නට ලැබෙන්නකි. නිවෙස්වල,ආයතන වල,පාසල් වල යාළු මිත්‍රාදීන් අතර සහෝදර සහෝදරියන් අතර බහුල ලෙස දක්නට පිළිවන.
පරුෂ වචන බොහෝ දුරට පිටකරනුයේ තරහව, ක්‍රෝධය, වෛරය වැනි දේ ඉස්මතු වන විටය. මෙවැනි ආවේගශීලී බවක් පුද්ගලයන් තුළ ඇතිවන විට තමා කියන්නේ කරන්නේ මොනවාද යත් තමාම නොදනී. අවසානයේදී සමාජය පමණක් නොව තමාද අසරණබාවයට පත් වෙයි. එබැවින් අප පිට කරන වචන අපට මෙන්ම අන් අයටද කෙසේ බලපායිද යන්න අප සිතිය යුතුයි.
අකුරු කිහිපයක් එක්තැන් කරමින් සකස් කරගත් ඔබේ වචනයෙහි අර්ථවත් බව, මිහිරිතම බව, රළු බව, මෘදු බව, ප්‍රියමනාප බව ඔබ මොහොතක් සිතුවාද? නැත. වේලාවක්, අවේලාවක්, සුදුසු බවක්,නුසුදුසු බවක්,තැනක් නොතැනක්,සුදුස්සා නුසුදුස්සා ගැන නොසොයා නොබලා පිට කරන වදන් පෙළ ඔබට අනර්ථයකටම, අයහපතකටම, විනාශයකටම හේතු වන්නාක්, මුල පුරන්නක් විය හැකිය. එබැවින් අප වචනය හැසිරවීමේදී වගකීමකින් මෙන්ම මනා පාලනයකින් යුතුව වචන පිට කළ යුතුය. එය අප සැමගේම හිත සුව පිණිසම වනවා ඇත. වචනයෙන් ප්‍රකාශ වන්නේ සිතෙහි ඉපදෙන්නා වූ හැගීම් බැවින් ඒ ගැන වඩාත් අවධානය යොමු කිරීමෙන් ඒවා පාලනය කිරීමෙන් අපගේ අකුසල් ඇති වීම, වර්ධනය වීමද වලකා ගැනීම මෙලොව වශයෙන්ද පරලොව වශයෙන්ද වැඩදායි වේ.

එස්.එච්.ශ්‍රියාලතා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *