රළ

මහා සයුර ඇල, දොල, වැව්, පොකුණු, ආදියෙන් වෙන් කර හදුනා ගන්නට ඕනෑම කුඩා දරුවෙකු ට වුවද හැකියාව ඇත.මහ සයුර හෝ… හෝ… හඩ නගමින් නැගෙන… බිදෙන… රැල්ල.. එහි සැබෑ වෙනසක් ඇති කර ඇතුවා නොවේද…..?

කිමෙක්ද මේ වෙනස…

සුන්දරත්වයෙන් අනූන වූ ස්වභාව දහම විසින් තිලිණ කල දායාද මේ විශ්ව ගම්මානය තුළ අනන්තයි. මේ මහා සයුර… මහා වේගයක් ලෙසින් ජල කද ඔසවා තබන්නට හැකි හැම වෙරක්ම දරන්නේ තමා තුළ වූ ජවය නිසොල්මනේ තබන්නට නොහැකි නිසා නොවේ…? මේ ජල කදෙහි රැලි, ලොකු, කුඩා ලෙසින් නගනා විට කෙතරම් සුන්දරද? මේ නගනා “රළ” පෙල තමයි මෙහි විශේෂත්වය.

සාගරය තුළ කොතරම් කලබල, නොසන්සුන් වුවත්, සෙමෙන් ජල කද පෙරලෙන සීමාවන ද වේ. පාසිකුඩා, නිලාවැලි වැනි ලෝ ප්‍රකට වී ඇත්තේ එවැනි විශේෂත්වයන් නිසාමය. ඒ නොගැඹුරු මුහුදු ය. රළෙහි වෙනස ගැඹුරු නොගැඹුරු බව මතද රදා පවතී.

ස්වභාව දහමත් සමග පසිදුරන් පිනවමින් අප ලබනා මේ වින්දනය විනිවිද දැකිය යුතු යථාර්තය වසා දමන කඩතුරාවකි.

අප තුළද මෙලෙස රළු හා සෞම්‍ය ලෙසින් රළ ගැනීමක් පවතිනවා නොවේද? ස්වභාව දහම අවට පරිසරයේ පෙන්නුම් කරන්නේ අප තුළම වූ දේ නොවේද? අප තුළ සැගව ඇති විශ්ව යථාර්තය සැසදිය හා ගැලපිය හැකි නියදියන්, මේ විශ්වය තුළ ඇති නමුත් එය අර්ථාන්විතව විමර්ශණය නොකිරීම… මෝහයම නොවේද… අප තුළ සැගව ගත් දේ, බාහිරින් පියවි ඇසට දැකිය හැකි තැන ස්වභාව දහමයි. මෝහය හා විෂම දුෂ්ඨිය නිසා තනි, තනි ඒකක ලෙස වූ මිනිස් ජීවිත තුළ තැන්පත්ව ඇත්තේ ද මේ ස්වභාව දහම තුළ විවෘතව දකින්නට ඇති දේමය. එහෙත් අප කරන්නේ එවැනි දෑ, හොද නරක, අඩු වැඩි, ලෙසින් එක් කරමින් අප තුළ සගවාලන්නට උත්සාහ කරමින් දරාගත නොහැකිව පීඩාවක, තෙරෙපෙමින්, තමා, ස්වභාව දහම සමග නොව තවත් තමා වැනිම අයෙකු සමගම ගලපන්නට හා සසදන්නට උත්සාහ ගැනීමයි.

නෞකා ගමන් කළ හැක්කේ ගැඹුරු මුහුදෙහිය. ඒ ගැඹුර ගැන දළ අදහසක් ගැනීමට නැව් තටාංගනයන්ගේ ප්‍රමාණය සිතා බලන්න.ඒ තුළ පුරවා දමන ජල ප්‍රමාණය ගැන සිතා බලන්න. එහි ගැඹුරු හා ඒ තුළ පිරී ඇති ජල ධාරිතාවය ඇතිකරවන පිඩනය …. ඉතා අධිකය. ජල කද සමබර නොවූ කල්හි ආරක්ෂිත කවුලු ඇර දමා පීඩනය අඩු කරලයි. එවිට හානියක් නැත.

මෙලෙස න්‍යායක් නොවේද අපගේ වාරි කර්මාන්තයට යොදා ඇත්තේ වැඩිපුර එක්රැස් වූ ජලය වාන් දොරටු හැර මුදා හරින්නේ එක්රැස් වන ජල ධාරිතාවය වැඩිවන තරමට ගැඹුර හා පීඩනයත්, වැවේ වපසරිය සීමාව තුළ වැව් බැම්ම ට ඇතිවන තෙරපීමෙන් වන හානිය අවම කිරීමටය.

පාසිකුඩා වැනි වපසරිකයක පැතිරුණු නොගැඹුරු මුහුද දුර ප්‍රමාණය වැඩි වුවත් ගැඹුරු බව වැඩිවන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි.ජළ කද පැතිරී ඇත. පොළවේ සිට ජල කද ඇත්තේ ඉතා කුඩා අගල් ගණනක උසකි. සිරවූ ජල සීමාවක් නොවේ.පීඩනයක් හෝ පීඩනය වැඩිකරවන බාධාවන් අවමය. බාධා ඇතත්, ඒ සදහා ජල කද ගමන් කළ යුතු දුර ප්‍රමාණය වැඩිය ඒ දුර කාලය ගෙවා බාධාව අසලට පැමිණෙන විට බොහෝ විට ජල කදේ වූ පීඩනයද, මන්දගාමී වී සෞම්‍ය වී ඇත.බලන්න…. ඔබ මෙවැනි දෑ නිරීක්ෂණය කලාද කියා… සියල්ල තීරණය වන්නේ ජල පහරේ ප්‍රවේගය අනුව ය.

අප වෙසෙන සමාජය තුළ ත් මෙලෙස ම නොවේද?… ඔබ තුළත් මෙලෙස  “රළ” ඇති වෙනවා නොවේද?…..

අප ගෙවන්නෙ ලෞකික ජීවිතයකි.අප ගමන් කළ යුතු අධ්‍යාත්මික මගත් මෙලෙසම නොවේද…? ලෞකික ජීවිතයේ , වපසරිය, බාධා, පීඩා නොගැඹුරු මුහුදේ “රළ” වගේ නොවේද? එහි ඇති කුඩා රළ පහර සේය. ලෞකික ජීවිතය තුළ අප මුහුණ දෙන ගැටලු එහෙත් වෙන යමක් නැති බැවින් අප සිතන්නේ එය මහ විශාල ලෙසින්.

සමාජ පරිසරය විශාලයි… අරමුණු හා බලාපොරොත්තු විවිධයි, අප්‍රමාණයි… ඒත් බාධා වැඩිනම් අත් හැර දැමිය හැකි ප්‍රවනතාවයක් ඇත.

එක කුඩා රැල්ලක් වෙරල දෙසට ළගා වීමට සෑහෙන කාලයක් ගනී.එයත් බොහෝවිට මගදී නැති වී ගොස්, නැතිනම් වෙනත් රැල්ලක් සමග වෙනත් ඉසවුවකට ගසා ගෙන ගොස්‍ ය. එසේ නම් මේ රැල්ලෙන් අපට මිදී සිටිය හැකි නොවේද… එසේම නොවේද ලෞකික ජීවිත ය තුළ ඇති ගැටලු වලින් පීඩා වලින් අපට මගහැර සිටිය හැකි බව.

අප කෙදිනක හෝ අධ්‍යාත්මය වෙතට යොමු විය යුතු ය. එය ගැඹුරු මුහුදේ “රළෙහි” ස්වභාවය සේය. ගැඹුරු බව වැඩි වූ නැව් තටාංගනයක් වැනිය. කුඩා සීමාවන් තුළ වැඩි පීඩන ධාරිතාවයට එකම අරමුණක්, හේතුවක් වෙනුවෙන් අරගල කරන ඔබට මුහුණ දිය යුතු වන්නේ දැඩි පීඩාවන්ය. විෂම බාධාවන්‍ ය. දරා ගැනීම අපහසුය. ඔරොත්තු දීමේ සීමාවන් සිතා ගත නොහැක.ගැඹුරු මුහුදේ ජල රළ පහර සේ.

එබැවින් නිවරදි සිහිය තුළ රළ පහර හරස් නොකොට මහහැර සිටීමට දැනගත යුතුය. අධ්‍යාත්මික ජීවිතයේ ගැඹුර උතුම් සද්ධර්මයයි. එහි සීමාව උතුම් බුදුන්වහන්සේම ය. ඉතිං නම් එහි ස්වභාවය ගැඹුරු මුහුදේ රළ සේම නොවේද? ඔබ අප තවමත් නොගැඹුරු මුහුදේ ය… ගැඹුරු මුහුද ද තරණය කර සයුරු ඉමට යා යුතුය. එය කළ යුත්තේ සංයමයකින්ම ය.

බෝසත්වරු ගැඹුරු මුහුද මෙනි… එහි රළ පහර මෙනි… නොගැඹුරු බව හරහා ගැඹුරු බව වටහා ගැනීමට උන්වහන්සේලා පිරූ පාරමිතා මග හරහා අපටද මග පෙන්වති.

එබැවින් විදර්ශණා නුවණින් අපද තරණය කළ යුතු වන්නේ මේ ගැඹුරු අධ්‍යාත්මයයි. එබැවින් ඔබ තුළ ඇතිවන “රළ” කෙසේ සමබර විය යුතුද යන්න තීරණය කිරීමට ඔබටම භාර කරමි.

ස්වර්ණමාලි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *