පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්… හිරු රැස් දුටු විගස පිපී යයි…

පිපෙන්නට තරම් සුදුසු සුදු නෙළුම්... හිරු රැස් දුටු විගස පිපී යයි...

මිහිතලය එළිය කරනා… මොහදුර දුරු කරනා මහා සත්හු බුදු වූ දිනේ පටන් උන් වහන්සේගේ බුද්ධ රශ්මියෙන් කම්පනය වන සසර කුසල් ඇත්තෝ බුදුන් දැක දැකම නිවන් ලබා ගනිති. ඒත් මේ සසර පුරා මෝහයෙන් පිරී ඇති සත්වයෝ නම් බුදුන් දැක දැකත් “නිවන්” නම් නොදකිති. නෙළුම් පොහොට්ටුවකට කොතරම් හිරු රැස් ලැබුණත් නොපිපෙන්නා සේම පිපෙන්නට තරම් වර්ධනය වූ නෙළුම් පිපෙන්නේමය.

පෙර සංසාරයේ ජීවිතයේ යථාර්ථය සොයා යමින් අනිත්‍යාදී දහම් පිණ්ඩය සිත තුළම අවදි ක‍රගත් ස්කන්ධාදී ධර්මයන් අවබෝධ කර ගැනීමට සසර පුරා පාරමී පෙරුම් පිරූ විදර්ශනා නුවණ ලගා කර ගත් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වූ ත්‍රිහේතුක පුද්ගලයෝ බුදු බණ කෙසේ වෙතත් බුද්ධශ්‍රීය දුටු පමණින් ම නිවන් දැකිය හැකිය. සසර පුරා දන් දුන්නත් සිල් රැක්කත් කොසොල් රජතුමා මෙන්ම මල්ලිකා දේවිය පරිද්දෙන්ම බුදුන් වහන්සේ කෙනෙකු ජීවමානව දුටුවත් දන් දෙන්නට, සිල් රකින්නට, දහම උපයෝගී කරගන්නට නිතැතින්ම පෙළඹිය හැකිය. කොසොල් රජතුමා බුදුන් වහන්සේගේ වැඩිම ප්‍රමාණයක් බණ අසා ඇත. සුනක්ඛත්ත භික්ෂුව බුදුන් වහන්සේට උවටැන් කළ සමීපතමයෙක් විය. එහෙත් සෝවාන් වන්නට තබා බණ පදයක් තේරුම් ගන්නටවත් උත්සාහ කළේ නැත. එසේ නම් මල් පුදමින් සිල් රකිමින් බුදුන් දැක නිවන් දකින්නට උත්සාහ කරන පින්වතුන්ට නිවන් කෙසේ වෙතත්… සිල් නිසාම, පින් නිසාම බුදුන් නම් දැකිය හැකිය. එය සසරින් එතෙර වීමට නම් ප්‍රමාණවත් නොවන බව ඔබට වැටහිය යුතුය. සසරදී සිදුකරන ලද

  • කුසල් ඉපදවීමේ බලය
  • පාරමිතානුභාවය
  • ස්කන්ධාදී ධර්මයන්හි දැනීම
  • සිත දමනය කිරීමේ පුරුද්ද

ආදී උතුම් අවස්ථාවන් ජීවිතය තුළ අවලෝකනය කරගත් ප්‍රමාණයට ලැබෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය මත මේ භවය තුළ ඉපදෙන මිනිසුන්, නිවන් මග ගමන් ගන්නා ආකාරය මත සතර ආකාරයකට වෙන් කළ හැකිය.

  1. සංක්ෂේයෙන් දෙසන ධර්මයක් අසා නිවන් අවබෝධ කරගන්නා අය, එනම් බුදුවරයකු විසින් හෝ රහත් උතුමකු විස්න් දේශනා කරන ධර්මයක් අසා නිවන් අවබෝධ කරගන්නා උද්ඝටිතඥ පුද්ගලයන්ය.
  2. විස්තරාත්මකව දේශනා කරන ලද ධර්මය අසා අවසානයේ නිවන් අවබෝධ කරගන්නා අය එනම් උතුම් ධර්ම කරුණු විස්තරාත්මකව දේශනා කරද්දී එය සිතේ ධාරණය කර ගනිමින් නිවන් දකින මොවුන් විපඤවිතඥ නමින් හදුන්වයි.
  3. ධර්මය ඉගෙන ගනිමින්, සද්ධර්මය ශ්‍රවණය කරමින්, එම ධර්මය නැවත ආවර්ජනා කරමින් කලණ මිතුරු ඇසුරින් ආදීයෙන් පොහොසත් වී වීර්යයෙන් ‍යුක්තව සිත දමනය කරගනිමින් නිවන අවබෝධ කරගන්නා මොවුන් “න්‍යෙය” පුද්ගලයෝ වෙති.
  4. කොතෙක් බණ ඇසුවත්, කොතෙක් බණ භාවනා කළත්, බුදුන් වහන්සේ ජීවමානව වුව සද්ධර්මය දේශනා කළත් නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි අය සිටිති. ඔවුන් “පදපරම” පුද්ගලයෝ වෙති.

පෙර ජාති වලදී සිත දමනය කිරීම සදහා උතුම් අයුරින් උත්සාහ කරමින් මහා ප්‍රඥාව අවදි කරගැනීමට වෙර වීරිය දරමින් එය සාර්ථක කරගත් උද්ගටිතඥයින් සසර පුරාම පින් දහම් කරමින්, ශීලයෙහි සමාධියෙහි ප්‍රඥාවෙහි හැසිරීමේ උතුම් පිළිවෙතත් අකුසල් ඩ්ගහම් වලින් ඈත් වීමත් විශේෂයෙන් මෝහයෙන් ඉවත් වීමට ගත් උත්සාහයේ උතුම් ප්‍රතිඵලයක් මත ශ්‍රී සද්ධර්මය කන වැකුන ක්ෂණයෙන් නිවන් පසක් කරගැනීම විමතියට කරුණක් නොවේ.

ලෝභයෙන් හැකිතාක්ද ද්වේශයෙන් හැකිතාක්ද මෝහයෙන් වැඩි යමක්ද ඉවත් කරගත් අය සිත දහමට විවර කර ගනිමින් යම් උත්සාහයක් මත අවබෝධයේ කඩයිම පසු කර ගනී.

ලෝභයෙන් යම් තරමකට, ද්වේශයෙන් යම් තරමකට, මෝහයෙන් සාමාන්‍ය තරමකට ඉවත් වූ අය දැඩි උත්සාහයක් කර නිවන් අවබෝධ කර ගත යුතුය, සමහර විට ඔබද මේ ගණයට වැටේ. අමාරුවෙන් ශ්‍රී සද්ධර්මය සොයමින් ගමන් කරමින්, මොහදුර ඉවත ලීමට තරම් ප්‍රඥාවෙහි ආලෝකට දැල්වීමට දැඩි වෙහෙසක් ගත යුතුය. ඇතැම් විට සිත සමාධියට ගැනීමට කරනා උත්සාහය භාවනාව එපා කරවීමට තරම් විය හැකිය. ඒත්.. සසර පුරුද්ද වූ නිවන් මගෙහි පැමිණීම… ඔබ සිත තුළ පවතිනතාක් ඔබ ඒ ආර්යය මගින් නම් පිටත නොයන බව ඔබටම විශ්වාස බව මාගේද හැගීමයි.

එහෙත් හොදින් විමර්ශනය කරන්න. සමාජය දිහා හොදින් නෙත් යොමන්න. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් ද්වේශයෙන්, මෝහයෙන්, පස්පව්, දස අකුසලයේ යෙදෙමින් සිටින මිස දෙටුවන් දිහා. ඔවුන් ධර්මය අවබෝධයට තබා ජීවිතයේ වටිනාකම හෝ නොදන්නවා විය හැකිය. සසර මැරි මැරී උපදිමින් සතර අපායෙහි අවීචියෙහි ගැලෙමින්, තිරිසන් යෝනියෙහි උපදිමින් අනේක දුක් විදින්නට සූදානම් වන ඔවුන් ප්‍රයෝජනය ගන්නට තරම් වත් ජීවිතයේ යථාර්තය විදින්නට තරම් ප්‍රඥාවක් ඇතිව ඉපදී නොමැතිවා සේය.

ඔබ කළ යුත්තේ කුමක්ද… අවබෝධ කරගත්තා නම් වහ වහා ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අත්මිදෙන්න. සිත සමාධියට හා දැහැනට, ධ්‍යානයට ගන්නටත් අභිඥාව හරහා සෝවාන් වී රහත් භාවයට යන්නටත් පෙර මග ආලෝක කරගන්න.

වෛද්‍ය සමන් කංකානම්ගේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *