පින් කිරීමෙන් ලැබෙන අනුසස්…

පින් කිරීමෙන් ලැබෙන අනුසස්...

අතීතයේ බරණැස් නුවර ධර්මපාල නමින් කුමාරයෙක් විය. හෙතෙම ශිල්ප හැදෑරීමට සුදුසු කාලයේ තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමිපයට යවන ලදී. එකල එම විද්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෝ පන්සීයක් පමණ වූහ. දිනක් මේ පන්සීයක් දෙනා අතුරින් හදිසියේම වාගේ එක් ශිෂ්‍යයෙක් මරණයට පත් විය. මේ අවස්ථාවේදී දිසා පාමොක් ආචාරීන් වහන්සේ හා සියලුම ශිෂ්‍යයෝ හඩා වැලපී ශෝකයෙන් භරිතව ආදාහන කටයුතු සිදු කළහ.

ඒ මරණය ආදාහන කටයුතු කරන වේලාවේ ධර්මපාල කුමාරයා හැඩුවේවත්, වැළපුනේවත් නැහැ. ධර්මපාල කුමාරයා සාමාන්‍ය සුපුරුදු ශෝක ගතියක්වත් පෙන්වන්නේ නැතිව සිටියේය. මේ බව අනික් ශිෂ්‍යයින් විසින් දිසාපාමොක් ආචාරීන්ට සැල කරන ලදී. එවිට දිසාපාමොක් ආචාරීන් ධර්මපාල කුමාරයා කැදවා මේ කියන කතාව ඇත්ත දැයි විමසීය. ධර්මපාල කුමාරයා පිළිතුරු දෙමින් “ඔව් ඇත්ත” කියා පැවසීය. ඒ මොකද එහෙම කරන්න හේතුව විමසූ විටදී, අපේ රටේ බාල වයසේදී කිසිම කෙනෙක් මිය යන්නේ නැහැ කියලා කිව්වා.

දිසාපාමොක් ආචාරීන් මෙය ඇත්තද කියා පරීක්ෂා කිරීම සදහා එළු ඇට අතැතිව සේවකයකු ඒ ගමට පිටත් කර යැවීය. සේවකයා ධර්මපාල කුමාරයාගේ දෙමාපියන් සමීපයට ගොස් ධර්මපාල කුමාරයා මැරුණු බව ප්‍රකාශ කළ විට ධර්මපාල කුමාරයාගේ දෙමව්පියන් සිනාසෙන්න පටන් ගත් හ.

සේවකයා මේ බව තවත් පරීක්ෂා කිරීම පිණිස අර එළු ඇට පෙන්වමින් මේ බලන්න බොරුවක්නම් ධර්මපාල කුමාරයාගේ ඇට කැබලි කියා පෙන්වීය. එවිට ධර්මපාල කුමාරයාගේ දෙමව්පියන් ඇතුළු සේවකයින් තවත් හඩ නගා සිනාසෙන්නට විය.

මේ සේවකයා දැන ගත්තා මෙය ඇත්තක් බව. පසුව “මට සමාවෙන්න මම ආවේ අහවල් තැනින්” යයි පවසා සිද්ධිය හෙළි කලා.

හේතුව මොකක්ද කියා ඇසූ විට අපි පොහෝ දිනවල අටසිල්ද, දිනපතා පන්සිල්ද, දස පින් ක්‍රියාවත්ද, ආරක්ෂා කරන නිසා බාල වයසේදී කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ කියා කුමාරයා ප්‍රකාශ කළා. මේ ඇත්තද කියා දැන ගැනීමට තමයි මාව දිසාපාමොක් ආචාරීන් වහන්සේ ඔබ කරා පිටත් කර එව්වේ.

එවිට දෙමව්පියන් මෙසේ ප්‍රකාශ කළා. ඔව් අපි පොහොය දිනවල අටසිල්ද, දිනපතා පන්සිල්ද, දසපින් ක්‍රියාවත්ද ආරක්ෂා කරනවා. ඒ නිසා බාල වයසේදී වත් තරුණ වයසේදීවත් කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ.

මේ පුවත සේවකයා දිසාපාමොක් ආචාරීන්ට සැලකර සිටියේය. ධර්මපාල කුමාරයා කියපු දේ සත්‍ය බව මින් දැනගත්තා.

ඔබ සැම දෙනාත් උතුම් වූ පුර පසළොස්වක පොහෝ දින අධිෂ්ඨාන කරගන්න සෑම පොහෝ දිනකම අටසිල් සමාදන් වීමටත්, දිනපතා පන්සිල් සමාදන් වීමටත්, දස පුණ්‍ය ක්‍රියාවල නිරත වීමටත් දාන, ශීල, භාවනා ආදී පින් දහම්ද කිරීමටත් අද පටන් සිතට ගන්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *