ජයපාල ගුරුවරයෙකි. වයස 40 පමණ ඉක්ම නොවූවත් බැලූ බැල්මට වසර 60ට වැඩි වයසක් බැලූ බැලූ අයට පෙනෙන ආකාරයට ජරාවට ගොස් ය. හම රැළි වැටී ඇත්තේ කුෂ්ඨ රෝගයකින් පීඩා විදින සුනඛයෙකු පීඩා විදින ලෙසිනි. හැමවිටම ඔහු සමාජයෙන් කොන් වූයේ ගද ගසන කට නිසාය. එහෙමත් නැත්නම් සසර පුරුද්දටදෝ මන්දා… ඔහුගේ මුවින් පිටවන නොසුරුප් වචන හේතුවෙනි. සමාජයේ කිසිම යහපත් දෙයක ඔහු හොදක් දකින්නේම නැත පළමුව ඔහු දකින්නේ ඇදයක්මය. හොදින් තාර දැමූ පාරක ගමන් කළහොත්… මේක හදපු එකා හොද ගාණක් යටි මඩි ගහන්න ඇති. ඡන්දයක් දිනුවොත්… හොර ඡන්ද නැත්නම් කොහොම දිනන්නද? හිමි නමක් මග වැඩියොත්… වෙන මොනවා කරන්නද?… කාලා බීලා ඇගට අල්ලන්න ඇවිදින්න එපෑය. දියුණුවන කෙනෙක් දැක්කොත්… මොකක් හරි හොර සූදුවක් ඇති. ඒ ඔහුට එකවරම පැමිණෙන සිතිවිලි ගොන්නකි. සත්‍ය ලෙසම ඔහු ඕනෑම දෙයක වැරදි අර්ථය සොයන්නටම දත කාගෙන සිටී. මෙසේ කාලය ගත විය. වයස 40පනින විට ජයපාල ජයපාලටම අප්‍රිය විය. ඔහු දොස්තර මහතුන්ගේ නම් ගම් කියන්නේ කට පාඩමෙනි. හේ ඒ තරමට වසර 2 -3ක් ඇතුළත චැනල් සේවාවේ යෙදී ඇත. අවසානයේ එක් දොස්තර මහතකුගේ නිගමනය උගුරේ පිළිකාවක් බවයි. දෙයියෝ සිහි විය. වසර දෙකක්වත් ජීවත් විය නොහැකි බව දැනගත් ඔහු තවත් බිය විය. ඔය අතරේ අසපු භූමියට එන්නටද කව්දෝ පිංවතෙක් පාර සකසා දී තිබිණි. අධි නිද්‍රා රෝග නිර්ණය අසපු භූමීයේදී ලැබිණි. උගුරේ පිළිකාවක් බව සනාථ විය. දින 467 කින් මියෙන බවද ප්‍රකාශ විය. ගැළවෙන්නට බැරිද? ඔහුගේත් භාරකරුවන්ගේත් එකම ප්‍රශ්නය විය. පුළුවන් කර්මය ක්ෂය කරගන්න. නිවැරදිව මෙත් සිතින් ප්‍රතිකාර ගන්න. ඔහු දැන් අපහසුවෙන් සිල් ගනියි. භාවනා කරන්නට උත්සාහ දරයි. පරණ පුරුද්දට මෙසේද කියවේ. මේ වයසක උන්දෑලා අසපුවට එන්නේ කාලා බීලා යන්න වෙන්න ඇති. නැත්නම් මේ කියාදෙන ඒවා කොහොම තේරුම් ගන්නද? මේ වයසට… පසුවදාම නැවත රෝගය උත්සන්න විය. හැකර කට… සසර කර්මය නැවත අවුස්සා ඇත. කටින් වැගිරෙන කුණු සෙම ගුලිය අසල අයට කුණු මාළු සිහිවේ. මොනවා කරන්නද? මේ ගැන හොදින් දන්නා බෝසත් මොහුට බැණ වදී. සිල් ගත්තා කියලා ලෙඩ සනීප වෙන්නේ නෑ ගොයියෝ. ඔය හිතේ කුසලයක් වැඩෙන්නට ඉඩ හරිනවා. නැත්නම් වෙන්නේ කට හින්දා නැහෙන මාළුවට වගේ තමයි. ටිකක් මෙත් සිතක් හදාගෙන අනුන්ට නිදහසේ කරන දෙයක් කරන්නට දීලා තමන්ගේ වැඩක් බලගන්නවා. නැත්නම් මේ අසපුව පැත්තට පස් පාගන්නවත් එන්න එපා. ඒ පීඩනය ඔහුට හොදින් දැනෙන්නට විය. වැරදීමකින් හෝ අසපුවත් නැති වුණොත්… අනේ මගේ දෙයියෝ එහෙමනම් කරන්න එපා ඔහු ටිකෙන් ටික තේරුම් ගත්තේය. වැරදි හදා ගන්නට උත්සාහ කළේය. සිත සමාධියට ගන්නට ගත් උත්සාහයද සාර්ථක විය. රෝගා සුව අතට හැරිණි. මරණ බිය පහ විය. අන් අයට ප්‍රිය දේ ඔහු දැන් කථා කරයි. මරුවා තවත් වසර 10කට 15කට ඔහු අමතක කළේය. මෙන්න ඒ සසර කර්මය.
බවුන් වඩන දහස් ගණනක පිරිසකි. ඒ පිරිස නොමග යවා ඇතැම් විට මොහො ලාභ සත්කාර ගනී. යෝගීන්ට කන්නට ඇති දේ හොදම හරිය තනියෙන් භුක්ති විදී. ඇතැම් කැපී පෙනෙන භාවනා යෝගීන්ට කට කථා පතුරුවයි. මෙසේ කරමින් සිටින ඔහු අවසානයේ මග ඵල ලබමින් සිටි උතුමකුටද අපහාස කළේය. ඒ උතුමා මොහු හට අනුකම්පා කළේය. වසර සිය ගණනකට පසු මේ භවයේදී ඔහු කළ කර්මය “කයට” වද දෙන්නට පටන් ගත්තේය. ඒ තමන්ගේ “වචනය” හික්මවා නොගත් නිසාය. ඔබත් පරිස්සම් වන්න. දහම තුළ නිවැරදිව හැසිරෙන උතුමන්ට අපහාස නොකරන්න.(මෙහි දැක්වූ නම් ගම් පමණක් මනඃකල්පිතයි.)
වෛද්‍ය සමන් කංකානම්ගේ