පන්සලේ අධිපති නම් – ටිකක් සිතන්න වෙයි

පන්සලේ අධිපති නම් - ටිකක් සිතන්න වෙයි

සග සතු වස්තුව – තනි මතයට කනු එපා.

දඹදිව සුරට්‍ඨ ජනපදයෙහි ආලාර බාල පටුනෙහි පෝරිමායි ගංතෙර කොණ්ඩපුදී නම් විහාරයක් ඉය. එහි ප්‍රධාන භික්ෂුනම අධිපතිකම නිසා ඒ විහාරය විෂම ලෙස පරිහරණය කරනු ලැබීය. ඔහු මරණාසන්න වූ විට දරුණු රෝගයක් හටගත්තේය. වෙද්දු ඔහු පරීක්ෂා කර බලා මේ භික්ෂු නමට පැන් බීමට දෙන්න එපා යැයි ද පැන් දුන්නහොත් රෝගය සුව කළ නොහැකි යැයිද උපස්ථායකයන්ට කීය. ඔවුහු යහපතැයි කියා තෙරුවන් වහන්සේට පැන් නුදුන්හ. රෑ මැදියමෙහි පැන් නොලබා පිපාසාවෙන් පීඩිත වූ තෙර නම එය ඉවසිය නොහැකිව නැගිට තමාගේ පැන් පෙරා ගන්නා භාජනය අතගා බැලීය. එය හිස් විය. කාමරයෙන් පිටතට අවුත් බොන පැන් කළය බැලීය. එහිද ජලය නොවීය. ඉක්බිති ආරාමයේ පොකුණට ගොස් බැලූ නමුත් එයද හිස් විය. ඉන්පසු පෝරිමාසී ගග කරා ගියේය. එයද වියළී තිබුණි. හෙතෙම දිය නැති ගගෙන් එතෙරට ගොස් මෙසේ සිතීය. මගේ අකුසල කර්මයෙන් සෑම තැනකම දිය සිදී ගියේය. ඒකාන්තයෙන්ම මම ප්‍රේත ලෝකයේ උපදින්නෙමි. මේ පෙර නිමිත්ත ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනේ. රාත්‍රිය ඉක්ම ගිය කල්හි මා කියන කතාව භික්ෂූහු පිළිගන්නේ නැතැයි සිතා තමාගේ නාන කඩ ගගෙන් එගොඩ ගසක බැද තබා නැවත හැරී අවුත් නිදා ගත්තේය.

රාත්‍රිය ඉකම ගිය කල්හි හෙතෙම භික්ෂූන් අමතා සිදුවූ සියල්ල කීවේය. ඇවැත්නි මම රාත්‍රී පිපාසයෙන් පීඩිත වූයෙමි. ඉවසුව නොහැකි හෙයින් පැන් පෙරාගන්නා භාජනය අතගා පැන් නොලැබුවෙමි. එසේම බොන පැන්සැලි ආදිය ද මහ පැන් සැලියද මා ස්පර්ශ කළ විට දිය සිදී යයි. අදුන් පැහැති සිසිල් ජලය පිරුණු විලද හිස් විය. සදා කල්හි ගලා බසින පිරිසිදු ජලය ඇති පොරිමාසි ගගද සිදී ගියේය. ඒ ගංගාවෙන් එතෙරට ගිය මා ගං ඉවුරෙහි සිටගෙන මෙසේ සිතුවෙමි. අහෝ! පෙර ආත්මයක මා විසින් කරන ලද අකුසල කර්මයක් විපාක දෙන ලදී. භික්ෂූහු මේ කීම විශ්වාස නොකළහ. එවිට ගංතෙර එල්ලූ නාන කඩ ගෙනැවිත් සැක දුරු කරගනු මැනවැයි කීය.

භික්ෂූහු ගගෙන් එතෙරට ගොස් නානකඩය ගෙනාහ. එය දැක භික්ෂූහු සංවේගයට පත්වූහ. රෝගී භික්ෂු නම භික්ෂූන් අමතා මෙසේ කීය. මම අල්ප වූ හෝ බොහෝ වූ සග සතු වස්තුව මා කැමති ලෙස යෙදෙව්වෙමි. අසවල් හිත මිතුරාට ටිකක් දෙන්න ඥාතිවරයාට හුගක් දෙන්න තව කෙනෙකුට නොදෙන්න යැයි නියම කෙළෙමි.

මෙසේ අධිපතිකම නිසා සග සතු දෙය තමන් සතු දෙයමෙන් සලකා මම මගේ කැමැත්ත අනුව බෙදා දුනිමි. මා දැක ඔබ සියලු දෙනාම සගසතු වස්තුවට බියවනු මැනවි. එසේ බියපත් වී අප්‍රමාදව භාවනානුයෝගීව සිල් ආරක්ෂා කර මරණින් මතු සුගතියක ඉපිද නිවන් දැකීමට උත්සාහ කළ යුතු යැයි කියා මිය ගොස් ප්‍රේතලෝකයෙහි උපන්නේය.

වෛද්‍ය සමන් කංකානම්ගේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *