ඔබ භාවනා කරන විට නිදි කිරා වැටෙනවාද?

ඔබ භාවනා කරන විට නිදි කිරා වැටෙනවාද?

මුගලන් තෙරුන් වහන්සේ “ඒහි භික්ෂු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා, බුදුන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන, මගධ රට කල්ලවාලමුත්ත නම් පිටිසර ගමකට ගොස් පුරා දින හතක් ම සක්මන් කරමින් භාවනා කළහ. එහෙත් මාර්ග ඵලයක් ලැබීම කෙසේ වෙතත් සිතේ එකග බවක් වත් ඇතිකර ගත් නොහැකි වූ හෙයින්, ථිනමිද්ධයෙන් සිත වසා ගොස් නිදිකිරා වැටෙමින් සිටියහ. මෙම අවස්ථාවෙහි අප භාග්‍යවත් බුදුන් වහන්සේ “මා පුත් මුගලන්, මේ මොහොතෙහි කොහි සිටිමින් කුමක් කරන්නේදැයි දිවැස් යොමා බැලූ සේක. මුගලන් තෙරුන් වහන්සේ සිත එකග කර ගැනීමට අපොහොසත් ව නිදි කිරා වැටෙමින් සිටින ආකාරය බුදුන් වහන්සේ දිවැසින් දුටු සේක.” බුදුන් වහන්සේ සෘධි බලයෙන් මුගලන් තෙරුන් වහන්සේ නිදිකිරා වැටෙමින් සිටි ස්ථානයට වැඩ තෙරුන් වහන්සේ ඉදිරියේ මහත් ආලෝකයක් පතුරුවමින් වැඩ සිටි සේක. මුගලන් තෙරහු මෙම අසිරිය දැක, නිදි කිරා වැටීම නවත්වා වහාම නැගී සිට බුදුන් වහන්සේට අසුනක් පනවා වැද නමස්කාර කොට එකත්පස්ව සිටියහ.

බුදුන් වහන්සේ මුගලන් තෙරුන් ආමන්ත්‍රණය කොට, “මුගලන් ඔබ නිදිබරව සිටිනවා නේද? නිදිකිරා වැටෙනවා නේද?”යි විමසූ සේක. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එය එසේමයි. නිදිබරව සිටියෙමි.” යනුවෙන් මුගලන් තෙරහු පිළිතුරු දුන්හ. එවිට බුදුන් වහන්සේ මෙසේ වදාළහ. “හොදයි, මුගලන්, මා කියනා දෙයට හොදින් සවන් දෙන්න. හුදකලාව, විවේකීව භාවනාවට පිවිස යම් යම් සංඥා ඇතිව භාවනාවේ යෙදෙන ඔබට අලස බව හෝ කම්මැලි බව හෝ නිදිබර බව දැනෙනවා නම් හෝ නිදිකිරා වැටෙනවා නම් හෝ ඒ මොහොතේම එම සංඥාව මෙනෙහි කිරීම නවත්වන්න. එවිට ඔය අලසකම, කම්මැලිකම, නිදිබර බව, නිදිකිරා වැටීම පහ වී යනු ඇත.”

මුගලන් එසේ කිරීමෙන් ද ඔය අලසකම නොයන්නේනම් දෙකන් සිදුරු සහ අතපය අත්ලෙන් හොදට පිරිමදින්න. අතගාන්න. එවිට ඔය අලස බව, කම්මැලි බව, නිදිබර බව සහ නිදි කිරා වැටීම පහ වී යනු ඇත. මුගලන්, එසේ කිරීමෙනුත් ඔය අලස බව කම්මැලි බව, නිදිබර බව, නිදිකිරා වැටීම පහ වී නොයයිද, හුනස්නෙන් නැගිට ගොස්, සිසිල් දියෙන් දෙඇස් පිරිමැද මුහුණ හොදින් සෝදා ගන්න. අහස දෙස, අහසේ තරු දෙස, වටපිටාව දෙස හොදින් බලන්න. එවිට ඔය අලස බව, කම්මැලි බව, නිදිබර බව හා නිදිකිරා වැටීම පහවී යනු ඇත.

එසේ කිරීමෙනුත් ඔය අලස බව, කම්මැලි බව, නිදිබර බව, නිදිකිරා වැටීම පහව නොයන්නේ නම් ආලෝක සංඥා මෙනෙහි කරන්න. දිවා කාලය මෙනෙහි කරමින් ආලෝකය ගැන සිතන්න. එවිට ඔය අලස බව, කම්මැලි බව, නිදිබර බව, නිදිකිරා වැටීම පහවී නොයන්නේ නම් නැවතත් හුනස්නෙන් නැගිට සිත විසිරීමට ඉඩ නොතබා සිත එකග කර ගෙන සක්මන් භාවනාවේ යෙදෙන්න. එවිට ඔය අලස බව, කම්මැලි බව, නිදිබර බව, නිදිකිරා වැටීම පහ වී යනු ඇත.

මුගලන් එසේ කිරීමෙනුත් ඔබේ අලස බව, කම්මැලි බව, නිදිබර බව, නිදිකිරා වැටීම පහ වී නොයන්නේ නම් වෙන කරන්නට කිසිම දෙයක් නැත. පැය කිහිපයක නින්දක් ශරීරයට අවශ්‍ය ව ඇත. නැගී සිටිය යුතු වේලාව හොදින් සිහියේ තබා ගෙන මනා සිහියෙන් යුතුව සිංහ ස්‍යෙයාවෙන් සැතපෙන්න. නිසි වේලාවේදී නැගී සිට යළිත් භාවනාවට අවතීර්ණ වන්න.

මේ ආකාරයට බුදුන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේට ධර්මාවවාද ලබා දී අතුරුදහන් වූ සේක.

බුදුන් වහන්සේගෙන් කර්මස්ථාන ලබා ගත් මුගලන් තෙරණුවෝ විවේක ස්ථානයක් වෙත පැමිණ කෙලෙස් තවන වීර්යය ඇතිව විදසුන් වඩා රාග, ද්වේශ, මෝහ ආදී සකල ක්ලේශයන් ප්‍රහීන කොට මහරහත් භාවයට පත්ව සෘද්ධි විෂයෙහි බුදුන් වහන්සේට පමණක් දෙවැනි වූ, මහරහතන් වහන්සේ කෙනෙකු බවට පත් වී, පසුව වමත් සව් තනතුරටද පත් වූ සේක.

ථීනමිද්ධය තුරන් කර ගැනීම සදහා බුදුන් වහන්සේ මුගලන් තෙරුන්ට ලබා දුන් මෙම ධර්මාවවාදයෙන් නිදි බර ගතිය හා නිදිකිරා වැටීම නවත්වා ගැනීමට පියවර හතක් විස්තර වේ.

ඔබ ද මෙම උපදේශය අනුගමනය කිරීමෙන් ඔබේ භාවනාවද සාර්ථක කරගෙන භාවනාවෙන් දැහැනටද, දැහැනින් ධ්‍යානයටද, ධ්‍යානයෙන් අභිඥාවටද, අභිඥාවෙන් සමාපත්තියටද ළගා වන්නට හැකි වනු ඇත.

(අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ පචලායන සූත්‍රය ආශ්‍රයෙනි.)

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *