නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට

නොසිතා සාදු සාදු කීවත්, එයත් ඇති සසරෙහි සුව ලැබුමට

සාදු! සාදු! සාදු! හඩ සුමග සමාධි අසපුවෙහි බවුන් වඩන පිරිසට හුරු නිතර මුවගට නැගෙන ශබ්දාර්ථයකි. මේ සාදුකාරය මුවින් කියන්නේ උතුම් බුද්ධකාරකාදී ධර්මයෙහි හැසිරීමේදී, ඒ ඒ ක්‍රියාවන්ගේ නිරතවීමේදී, බුද්ධ පූජාවන් සිදු කිරීමේදී, මල් පැන් අටපිරිකර සුවද දුම් පූජාවන්හීදී නැතහොත් වැඩිහිටි උත්තම සංඝ පිරිසට ආචාර කිරීමේදීත් බුදුරජාණන් වහන්සේ ට නමස්කාර කිරීමේදීත් “සාදු” හඩ අපගේ මුවින් ශබ්දාර්ථයක් ලෙස පිට වී යයි. කෙනෙකු සෙමෙන්ද තව‍ත් කෙනෙක් උස් හඩින්ද ඇතැමෙක් ශබ්දය පිට නොකර මුමුණමින්ද තවකෙක් හදවතින් ද මේ හඩ ස්වභාව ධර්මයාට මුසු කරයි. කෙසේ වෙතත් ඒ “සාදු හඩ” මා මුවින් පිටවෙත්ම එහි අර්ථයන් රැසක ඥානයක් බව සිතින් මිමිණෙන කරුණක් ලෙස නැගෙන්නකි.

සාදු හඩ මුවින් නැගෙන්නට තමන් තුළ මෙත්තාව, කරුණාව, උපේක්ෂාවෙන් තෙත් වුණු සිතක් තිබිය යුතුයි. ඒ ගුණ ගොඩනැගුණු පුද්ගලයාගේ මුවින් නිරන්තරයෙන්ම සාදු මුවැගින් හඩ නගා කියවෙයි. එයට සවන් යොමුවුණු පිරිසගේත් සිත සුවපත් කරන්නා වූ මෙත් සිසිලකි. සාදු චර්යාවක නිතර ගැවසෙන පින්වන්ත පිරිස ඒ සාදු හඩින්ම දිවිය ගෙවන්නේ පින්වන්ත ලෙසටමයි.

සාදු හඩ කීමට පැකිලෙන පිරිසක්ද වේ. ඔවුන් ඒ පැකිලෙන ලෙසටම සමාජය තුළ වැරදි හිස් වචන පරුෂාවාචයෙහි යෙදෙන්නන්ය. එවැනි පුද්ගලයන් හට කෙසේ නම් සාදු හිතක් ඇති වේද? නිතර බවුන් වඩන්නට කැමැත්තක් දක්වන ධර්මය මනාව හැසිරෙන්නා නිරන්තරයෙන් වැඩිහිටියෙකු දුටුවත් සාදු යන්න හදවතට හඩ ගාන තැනැත්තෙකි. ඒ හදවත තුළම දෑත් එක්කොට නිතර නමස්කාරයෙහි යෙදෙන්නෙකි.

අපගේ දෑත් එක්කොට හදවතට සමීපව හෝ හිස් මුදුනෙහි තබා සාදු හඩ කීමේදී මනා සංයමයක් තුළ ගොඩනැගීම සිදු වීම නොදැනුවත්ව සිදු වන ආශ්චර්යයකි. පුද්ගලයකුගේ හැසිරීම පවා නිහතමානී බවට පත් කළ හැකි ශබ්දාර්ථයකි. මන්ද සාදු හඩ තුළෙහි ගැඹුර ඔබත් මමත් කීමට පමණක් සීමා නොවුණු ගැඹුරක්, සත්‍යක් ඒ වචනයෙහි ගැබ්වන නිසාමය.

පන්සලකට ගොස් නිකරුණේ මලක්, පහනක් පූජා කරමින් බුද්ධ කාරකාදී චර්‍යාවෙහි යෙදෙනවාට වඩා බෝමළුවෙහි හෝ සක්මනෙහි සාදු! සාදු! සාදු! හඩ හදවතින් මුමුණමින් එය සිදු කරන්න. එවිට ඔබ නොදැනුවත්වම ඔබ සිත තුළ මෙත් ගුණ වැඩෙවි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඔබ හදවත තුළ වඩිමින් ඉන්නා සේම සිතිවිල්ලක් ඒ සියුම් සිත තුළට දැනේවි.

වර්තමාන සමාජයෙහි නොමැත්තේද මේ සාදු චර්‍යාවයි. ඒ උත්තම සාදු හඩයි. සාදු හඩ තිබෙනවානම් මෙවැනි ලෙස සමාජය පිරිහීමට පත් නොවේ. මව, පියා, දරුවා, සහෝදරයා නොහදුනන විෂම සමාජයක් ගොඩනැගෙන්නේද ඒ නිසාමයි. සාදු! සාදු! සාදු! වෙනුවට මත් පැන් පානය කරමින් පරෛසරය දූෂණය වන මහා ආවේග හඩ නැතහොත් ගුවන් විදුලියෙහි, නිවසට පමණක් සීමා නොවුණු ශබ්දයන් මේ ස්වභාවධර්මයාට නිතර වත්මනෙහි රැවුදෙයි. ඔබත් මොහොතකට සිතන්න… ඒ හඩෙහි පිටවන ද්වේශය, වෛරය, ක්‍රෝධය මේ ස්වභාවධර්මයා කෙසේනම් පිළිගනීවිද? ඒ අමිහිරි ශබ්දයන් දෝංකාරයන් විශ්වයෙහි ක්‍රියාකාරීත්වය පවා අභිබවා යන ශබ්දයන්ය. ඇත්තෙන්ම නිහඩව ඒ හැම දෙයක්ම ස්වභාව ධර්මයා දරා සිටියත් ඒ වැරදි ක්‍රියාකාරීත්වය තුළ මේ ස්වභාව ධර්මයා අපටත් රහසින්ම අපට ලබා දෙන සුවපහසුවද ටිකෙන් ටික දුරස් කරන්නේ මහා ආවේගික සිත සන්සුන් කිරීමට වෙන කරුණක් නොමැති නිසාමද යන්න හැගෙන්නකි.

ඔබත් දුෂ්චරිතයෙහි යෙදෙමින් මුවගින් නිතර වැරදි ශබ්දාර්ථයක් පිට කරයි නම් ඒ ගැන දෙපාරක් සිතන්න. එයින් වහ වහාම ඉවත් වන්න. එය වචනාර්ථයෙන්ම ඔබ ගිල ගනිවි. මහා රාක්ෂයෙකු ලෙසටම.නිතර සාදු චර්‍යාවෙහි සාදු හඩින්ම පූර්ණ වූ දිවියකට පුරුදු වන්න.

සාදු චර්යාවක අගය වඩාත් ඔප කිරීමට සාදු චර්‍යාවක් දිවිය ගෙවීමේ අපූරු වූ ගුණයන් ධර්මයෙන් අනුශාසනයෙන්ම නිතර කරමින් නිතර දිරියක් අපට සලසන උතුම් බෝසත් පියාණන් හටත් අනෙකුත් සියලුම කල්‍යාණ මිතුරු පිරිසටත්, අපගේ උතුම් බුද්ධ සභා මණ්ඩපයෙහි වාසනාව වූ උත්තම සිත ගොඩනගා ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා!

සාදු දිවියක ඇත ගිනි නිවුම

ගින්න වන් වූ රාග ද්වේශ මෝහ

සසරෙහි මෙතුවක් නැත දුෂ්චරියට

හිස නැමුම

නැමුවත් ඔහුටත් සිදුවෙයි අයහපත

සාදු දිවියක ඉනිපෙත්ත

තනයි බුදු මණ්ඩපය ජේතවනරාම

එදාටත් අපි සැවොම

සාදු! සාදු! සාදු!

හඩ කියයි

උඩු ගුවනට රැව් දෙන්න.

ඕෂධී ලංකා කරුණාරත්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *