මුලාවේ යදම බිදගන්න

මුලාවේ යදම බිදගන්න

සප්ත මහා සාගරයේ දිය බිංදු බිංදු වෙන් කරතත් මිනිස් සත්ත්වයාගෙන් එක් සත්වයෙකු සසර ඇවිද ගිය භවයන් ගැනිය හැකි නම් නොහැකිමය. ඒ භවයන් අතරින් අපායේ සිටි භවයන්, සත්ත්ව යෝනියක සිටි භවයන් ගණන විශාල වෙමින්ද මිනිසත්ව, දෙව්ව, බඹුව සිටි භවයන් අල්ප වෙමින්ද සිටින මිනිස් සත්වයෝ සසරේ කළ පිනින් හෝ පවින් ප්‍රතිමණ්ඩිතව ජීවත් වන්නෝ වෙති. කෙනෙකු සුර සැප විදින තරමටම මිල මුදල් සොයති. තරු පහේ හෝටල්වල තරමට නිවෙස් සක්‍රීය වී ඇත. යාන වාහන දැසි දැස්සන් පිරිවරා ගෙන සිටිති. එහෙත් තාත්තේ, අම්මේ කියන්න තරම් තමන්ගේ කිරි සප්පයෙකු නැතිනම්… ඇති ඵලය කුමක්ද?

තවත් කෙනෙකු දරුවන් කිහිප දෙනෙකු හදා වඩා ගෙන කන්දොස්කිරියාවක් තරමට ළමා ළපටියන්ගේ ශබ්දය… තාත්තේ මට බඩගිනියි, අම්මේ මට බඩගිනියි… කියන විට පිටි වීදුරුවක් හදා දෙන්නට වත්කමක් නැත්නම්… මට ශීතලයි කියන විට පොරවන්න රෙදි කඩක් නැත්නම්… ජීවිතය දුකකින් ජීවත් කරවීමේ ඵලය කුමක්ද?

දරුවන් සිටී මිල මුදලුත් තිබේ. හැමවිටම රෝ බියෙන් නම්… දිනක් දෙකක් වත් නිරෝගී දවසක් සතියකට නැත්නම්… දොස්තර මහතුන්ගේ නම් ගම් මෙන්ම බෙහෙත් වට්ටෝරු කට පාඩම් වන තරමටම ආහාරවලට වඩා පෙති, ඉන්ජෙක්ෂන් ගිල දමනවානම්….   ජීවත්ව ඇති ඵලය කුමක්ද?… සසර පුරා ප්‍රාණඝාතයෙන්, කාමමිච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, අදත්තාදානයෙන් ගෙවූ ජීවීතයේ විපාකය විදින්නට සිදුවී ඇත්තේ… එසේ නම් කුමක් කරන්නේද?

දරුවන් නැත්ද? අපි දරුවන් හදා දෙමු, මුදල් නැද්ද? ලොතරැයියේ අංක කියාදෙමු. රෝගාබාධයෙන්ද? අපි දින හතෙන් සුව කරන්නෙමු.

එසේ දුටුවහොත්…

ඔබ… පිම්මේ දුවනවා නේද? එවන් මිනිස් සිත බුදු දහමේ මුවාවෙන් කොයිතරම් නම් මුලාවේ දමනවා ද?

කළ හැකි සියලු පස් කම් සැප විදිමින් ලෙඩක්, රෝගාබාධයක්, අසරණභාවයක් ඇති වූ විට පමණක් බෝධීන් වහන්සේ, බුදුන් වහන්සේ මතක් වන ඔබගෙන් මුදල්  ටිකක් ගරා ගන්නට බලාගෙන සිටින ගෝස්තරවාදීන් එක් අතකට හරි වන්නටත් පුලුවන. යහපත්ව ඇති මෙත් සිතකින් බුදුන් පුදනවා හැර දස අකුසලයෙන් ඉවත්වෙමින් බුදු සරණ පතනවා හැර නින්දෙන් අවදි වූවා සේ බෝ ගස, පන්සල මතක් වෙන විට ඒ දෙසට ප්‍රශ්න ගැටළු ඇති වන විට ඉන් මිදීමට දුව ගියහොත් පිළිසරණක් ලැබේවිද? නැත.

නියම බුදු පුදය වන්නේ ඒ උතුම් දහම තුළ හැසිරීම මිස මහාමායා දේවිය ලෙස ඇදුම් ඇද ගැනීම හෝ බෝ මුල් කුණු වෙනකම් කිරි නෑවීම හෝ අන්ධ භක්තියෙන් යැදීම නොවේ. එසේ කරන්නේ නම්…  නැවත නැවතත් පාටාචාරාවන්, කිසා ගෝතමීලාත් වන කාන්තාවන් බිහි වීම හැර අසරණ තත්වයෙන් ඵල ප්‍රයෝජන ගන්න උප්පරවැට්ටිකාරයින් බිහි වනවා හැර බුදු පුදුය තුළින් බුදු මග සතර මගින් සතර ඵලය සොයන්නා වූ පිරිසක් නොවණු ඇත.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *