එදා ලක් වැසියන්ගේ මහා උත්සව දිනයකි. දෙවන පෑතිස් රජතුමා නගර වැසියන් හට දියකෙලි විධානකොට තමා මුව දඩයමට යාමට පිටත්ව 40000ක් සෙනග පිරිවරා ගෙන මිහින්තලා පර්වතයට නැග්ගේය. පර්වතයේ අධිගෘහිත දේවතාවා රජුට තෙරුන් වහන්සේ දක්වනු පිණිස ගෝණෙකුගේ වේසය ගෙන තණ පදුරක් කමින් සිටින්නා සේ දැක්වීය. කෑම කමින් සිටින සතාට විදීම හොද නැතයි සිතූ රජතුමා ගෝනාට ඇසෙන්නට දුණු දිය ශබ්ද කලේය. ගෝනා එය අසා පර්වතයේ අනිත් පැත්තට දිව්වේය. තමා ලුහු බැද ආ රජතුමා මිහිදු හිමියන් දකිනවිට ගෝනා අන්ත්රස්ධාන විය.
හැමදෙන එකවර දුටුවහොත් රජු වැඩියෙන්ම භය වෙතැයි සිතූ මිහිදු හිමියෝ පලමුව තමන් වහන්සේ පමණක් රජුට දැක්වූහ. උන් වහන්සේ පමණක් දැකීමෙන්ද රජතුමා බයට පත් විය. “එන්න, තිස්ස” යැයි කියූ මිහිදු හිමියන්ගේ වචනය ඇසූ රජතුමා ඒ යක්ෂකුයි සිතා වඩාත් භයට පත් විය.
“මහ රජාණෙනි, අපි ධර්මරාජ ශ්‍රාවක වූ ශ්‍රාවකයෝ වම්හ. ඔබට ම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආවහ” යි මිහිදු හිමියෝ වදාළහ. රජුගේ භය පහවිය.තමාගේ මිත්‍රයා වන අශෝක රජතුමා විසින් එවන ලද පණිවුඩය ද රජුට සිහි විය. මේ වනාහී අශෝක රජතුමාගේ ලිපියෙහි සදහන් වන බුද්ධ ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් යැයි නිශ්චය කර ගත් රජතුමා දුනු හී බිම දමා තෙරුන් වහන්සේට ළංව හිද ගත්තේය.
රජතුමා සමග ගිය පිරිසද අවුත් රජු පිරිවරා ගත්තාය.මිහිදු හිමියෝද තමන් සමග පැමිණි අනෙක් සදෙනා දැක්වූහ.රජතුමා උන් වහන්සේලා දැක ,
“මොහු කවදා ආවෝ දැ” යි විචාළේය.
“මා සමග යැ” යි තෙරුන් වහන්සේ වදාළහ.
“මෙබදු වූ තවත් ශ්‍රමණයෝ සිටිත් දැ” යි රජතුමා ප්‍රශ්න කළේය.
“මහ රජ දඹදිව කාෂාය වස්ත්‍රයෙන් බබළන්නේය. එහි වනාහි ත්‍රී විද්යධාරී,ඍධිබලධාරී,පරසිත් දන්නා,දිව්‍ය ශ්රොත්රලාභී මහරහත් වහන්සේලා බොහෝ හ” යි මිහිදු හිමියෝ වදාළහ.
“වැඩියේ කුමකින් දැ”යි රජු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ “ගොඩින් හෝ දියෙන් හෝ නොආමහ”යි පිළිතුරු දුන්හ. අහසින් වැඩි බව රජතුමා දැන ගත්තේය.
රජුගේ නුවණ විමසීම
මෙසේ ටික වේලාවක් පිළිසදර කථාවෙහි යෙදී සිටි පසු මිහිදු මා හිමියෝ රජතුමන් නුවණැති බව දැන දැනම තව දුරටත් සෝදිසි කරනු පිණිස ප්‍රශ්න කළහ.ඇසූ ඇසූ පැනයට රජතුමා ව්‍යක්ත ලෙස පිළිතුරු දුන්නේය.
“මහරජ මේ ගසේ නම කුමක්දැ” යි ලග තිබුනු අඹ ගසක් දැක්වූ මිහිදු හිමියෝ රජුගෙන් විචාළහ.
“ඒ අඹ නම් ” යි රජතුමා පිළිතුරු දුන්නේය. ඊළගට වූ ප්‍රශ්නෝත්තර මාලාව මෙසේය.
මිහිදු හිමියෝ: “මේ හැර වෙනත් අඹ ගස් තිබේද? ”
රජතුමා: “බොහෝ අඹ ගස් ඇත.”
මිහිදු හිමියෝ: “මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් අඹ ගස් තිබේද? ”
රජතුමා: “ස්වාමීනි, බොහෝ ගස් ඇත.ඒ ගස් අඹ නොවේ.”
මිහිදු හිමියෝ: “ඒ අඹත් මේ අඹත් හැර තවත් ගස් තිබේද?”
රජතුමා: “ස්වාමිනී මේ අඹ ගහ”
මිහිදු හිමියෝ: “මහරජ, තෙපි පණ්ඩිතයෙහි.”
“මහරජ තොපගේ නෑදෑයෝ සිටිත්ද? ”
රජතුමා: “ස්වාමිනී, බොහෝ දෙනෙක් සිටිති.”
මිහිදු හිමියෝ: “නොනෑයෝත් සිටිත්ද?”
රජතුමා: “ස්වාමිනී, බොහෝ නොනෑයෝත් සිටිති.”
මිහිදු හිමියෝ: “ඒ නෑයනුත් නොනෑයනුත් හැර අනෙකුත් සිටිත්ද?”
රජතුමා: “ඇයි ස්වාමිනී මම”
මිහිදු හිමියෝ: “මහරජ,තෙපි පණ්ඩිතයෙහි.”
තිස්ස රජතුමා හොද නුවණැතියෙකු බව දැනගත් මිහිදු හිමියන් වහන්සේ රජුහට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කල සේක. දේශනාව අවසානයෙහි රජතුමා 40000ක් පිරිස සමග තිසරණයේ පිහිටියේය.
සුමග භාවනා යෝගී
කල්ප ලොකු විතාන.