මහා බ්‍රහ්මයාගේ උත්පත්ති කථාව

(පාටික සූත්‍රය ඇසුරිනි.)

මහණෙනි, විකසිත වන ලෝකයේ එනම්, විවට්ඨමාන යුගයේ ආරම්භයේදී ප්‍රථමයෙන් පහළ වූ ජීවියාගේ සිතෙහි මෙවන් අදහසක් පහළ විය. මම මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල දිනූ, සියල්ල දත්, දකින, සියල්ල නිර්මාණය කරන කතෘ වූ නිර්මාතෘ වූ සියල්ල යටතේ තබාගෙන ඒ ඒ දේ ඒ ඒ තැනට යොදන උපන් හා උපදින්නට සිටින සියලු දෙනාගේ පියා වන මහා බ්‍රහ්මයා මම වෙමි. මේ සියලු දෙනා මම මැවීමි.

ඒ කෙසේද යත්, මොහොතකට පෙර මෙහි තවත් සත්ත්වයින් පහළ වන්නේ නම් මැනවැයි මම සිතුවෙමි. ඒ මාගේ අපේක්ෂාව, අධිෂ්ඨානය විය. එම අපේක්ෂාව පරිදි මේ සත්ත්වයෝ ප්‍රාදුර්භූත වූහ.

බ්‍රහ්මයාට පසුව උපන් සත්වයෝ ද මෙසේ සිතූහ. මේ තැනැත්තා, බ්‍රහ්මයා විය යුතුය. සියල්ල දිනූ, සියල්ල දත් සියල්ල නිර්මාණය කරන කතෘ විය යුතුය. නායකයා වූ සංවිධානය කරන්නා වූ සියලු සත්වයන්ගේ පියා වූ මහා බ්‍රහ්මයා ය.

මහණෙනි, මෙසේ මුලින් උපන් තැනැත්තා දීර්ඝායුක්ෂ විය. ප්‍රියංකර විය. බලවත් විය. එහෙත් පසුව උපන් අය අල්පායුක්ෂ විය. මේ අය අතුරෙන් එකෙක් එතැනින් චුතව මනුලොව උපදියි. හෙතෙම ගිහිගෙය අතහැර දමා පැවිදිව තම උත්සාහය, වීර්යය, ශ්‍රද්ධාව, උනන්දුව, බුද්ධිය හේතුවෙන් ධ්‍යාන ලබාගනියි. එම ධ්‍යාන බලයෙන් පෙර ජන්මය සිහිකරයි. එහෙත් ඊට පෙර තත්ත්වයන් සිහිකරන්නට අසමත් වෙයි.

ඔහු සිතන්නේ මෙසේය. ඒ ගෞරවණීය බ්‍රහ්ම තෙම සියල්ල දිනූ, සියල්ල දත්, සියල්ල නිර්මාණය කරන කතෘ හා නිර්මාතෘ වූ සියල්ලන්ටම නායක වූ සියල්ල සංවිධානය කරන්නා වූ උපන් නූපන් හැමගේ පියා වූ මහා බ්‍රහ්මයාය. අපි ඔහු විසින් මවන ලද්දෙමු. හෙතෙම සදාකාලිකය. නිත්‍යය. ශාස්වතය, පරිණාමයට ලක්නොවන්නේය. සදා එක ලෙසම ජීවත්වන්නේය. එහෙත් ඔහු විසින් මවන ලද අප අනිත්‍ය වෙමු. තාවකාලික වෙමු. අල්පායුක්ෂ වෙමු. මරණය උරුම කරගත්තා වෙමු.

එබැවින් මහණෙනි, සියල්ලෙහි මූලාරම්භය බ්‍රහ්මයාගෙන් සිදුවූවාය යන්නෙහි හරය මෙයයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *