ලොව මවිත කළ බුදු දහමේ එකගතා න්‍යාය හා විෂමතා න්‍යාය

“තයෝ මේ බ්‍රාහ්මණ

අග්නි සක්කත්වා

ගරුකත්වා මාහෙත්වා

පූජෙත්වා සම්මා සුඛං

පරිහාතබ්බං  තථා මේ

තජෝ ආහුණ්‍යෙයන්ති

ගහපතග්ගි

දක්ඛිණ්‍යෙයන්ති.”

ඉහත සදහන් වූයේ අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ මහා සඤ්ඤ සූත්‍රයේ සදහන් වන පාඨයකි. එහි අරුත නම් “යමෙකු භෝග සම්පත් අතින් පිරිහේ නම්, ඥාති හිතෛෂීන්ගෙන් පිරිහේනම්, යසසින් කීර්තියෙන් පිරිහේනම්’එය යමෙකුට විශාල පාඩුවක් නොවේ. යමෙකුගේ ප්‍රඥාව පිරිහේ නම් එය අතිශය පාඩුවකි. මහා පිරිහීමකි. තව ද යමෙකුට ඥාති හිතෛෂීන්ගෙන් දියුණුවක් ඇත්නම් එය මහත් වූ දියුණුවක් නොවේ. ප්‍රඥාව වැඩේ නම් එයම මහත් වූ දියුණුවකි.”

බුදුන් වහන්සේ මෙම සූත්‍රය දේශනා කළේ උග්ගක ශරීර නම් (උස ශරීරයක් ඇති) බ්‍රාහ්මණයාටයි. මොහු මහා යාගයක් සූදානම් කරමින් ඒ සදහා වස්සන් 500ක් ද වැස්සියන් 500ක්ද වැඩුණ ගවයන් 500ක්ද එළුවන් 500ක්ද බැටළුවන් 500ක්ද සූදානම් කර යාග ස්ථම්භය ක් පිහිටුවා මගුල් ගිනි දැල්වීමට ගිනි හුළක් සාදා බුදු රදුන් හමුවීමට ජේතවනාරාමයට පැමිණියේය. පැමිණ සතුටු සාමීචියේ යෙදෙමින් තමා සූදානම් කළ යාගය පිළිබදව පැවසීය. බුදුන් වහන්සේ මනාව ඊට සවන් දෙමින්…

“බමුණ යාග ස්ථම්භ පිහිටුවීමක් මගුල් ගිනි දැල්වීමක් මහත් ඵලයි, මහානිසංසයි.” පවසන විටම මහත් සතුටින් පිනා යමින් ඔහු මෙසේ පැවසීය.

“බුදුන් වහන්ස, අප දෙදෙනාගේම වෘතය කෙතරම් සමානද? අප දෙදෙනා කොතරම් සමානදැ’ යි දෙතුන්වරක් ම ප්‍රකාශ කරන විට එතැනට පැමිණි ආනන්ද හිමි ‘බමුණ ඔය යාගය මහත්ඵල මහානිසංස කරගන්නා ආකාරයට ඔබට අනුශාසනා කරන ලෙස ඉල්ලා සිටිනැ’යි පැවසීය.

ඒ ඇරයුම ලැබීමෙන් පසු බුදුන් වහන්සේ “බමුණ, යමෙක් මෙවැනි මහා යාගයක් කරයි නම් පිනක් යැයි සිතා පවක් සිදු කරයි. කුසලයකැ’ යි සිතා අකුසලයක් සිදු කරයි. සුගතිගාමී මගකැ’ යි සිතා දුගතිගාමී මගක යයි.තුන් දොරම වැරදි ලෙස යෙදීමෙන් ආස්‍රව තුනක් වර්ධනය කරගනී. එසේ වන්නේ කෙසේද..? මේ යාගයට පළමුව ම මේ තරම් සතුන් ඝාතනය කළ යුතුයැයි සිතින් සැළසුම් කරයි. සත්ව ඝාතන සිතක් උපදවා සිත නමැති ආස්‍රවය වැරදි ලෙස යොදවයි. දෙවනුව මේ පිළිබදව අන් අය හා සාකච්ඡා කිරීමෙන් වචනය නමැති ආස්‍රවය වැරදි ලෙස යොදවමින් අකුසල් සිදු කර ගනියි. නැවත අවියක් ගෙන සතුන් ඝාතනය කරමින් කය නමැති ආස්‍රවය වැරදි ලෙස යොදවා අකුසල් සිදුකර ගනියි. මේ නිසා මේ තිදොරම වැරදි ලෙස නොයොදවන්න.”

“තව ද , බ්‍රාහ්මණය, කිසිදා  නොදැල්විය යුතු දුරින් දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු ගිනි 3ක් ඇත. ඒ රාග ගින්න, දෝස ගින්න හා මෝහ ගින්නයි. බ්‍රාහ්මණය, රාගය නමැති ගින්නෙන් ‍රත් වූ සිත් ඇති පුද්ගලයා කුසල් සිත් මැඩලමින් රාග ගින්න මතු වූ කළ තිදොරින්ම අකුසල් පුරයි. අපායේ උපත ලබයි.”

“ද්වේශය කෙසේ ද එසේ වන්නේ… තරහ, ක්‍රෝධ, බද්ධ වෛරය, පලිගැනීම, එකට එක කිරීම ආදී දූෂිත වූ සිත් ඇත්තාගේ සිතිවිලි පරම්පරා ඇතිවීමෙන් කාය, වාග්, මනෝ දුශ්චරිත පුරයි. මියගොස් අනිවා‍ර්යයෙන්ම අපාගත වේ.”

“මෝහය කෙසේ ද එසේ වන්නේ… බ්‍රාහ්මණය, හොද/නරක, යහපත/අයහපත, කුසල්/අකුසල්, පිළිබද වැටහීමක් නැති මෝහ ගින්නෙන් මුලා වූ කෙනා තිදොරින්ම දුසිරිත් කර මියගොස් දුගතිගාමී වේ.

මෙසේ දීර්ඝ අනුශාසනාවකින් පසු බුදුන් වහන්සේ තව දුරටත් ප්‍රතිවිරුද්ධව වැඩිය යුතු මගක් බමුණාට දේශනා කරමින්… බ්‍රාහ්මණය, රාගය ප්‍රහාණය කිරීමට අසුබ භාවනාව වඩන්න. පොදුවේ සමථ විදර්ශනා භාවනා වඩන්න. ද්වේශය දුරු කිරීමට මෛත්‍රිය වඩමින් සමථ විදර්ශනා මාර්ග දෙක වඩන්න. මෝහය දුරු කරගන්නට නම් ආනාපානසතිය වඩන්න. පොදුවේ සමථ විදර්ශනා වඩන්නැයි දේශනා කළ බුදුන් වහන්සේ සත්කාර කළ යුතු, දැල්විය යුතු, පිදිය යුතු, බුහුමන් කළ යුතු, ගරුකළ යුතු, පරිහරණය කළ යුතු ගිනි 03ක් පිළිබදව ද වදාළ සේක, එයනම් … ආහුණ්‍යෙයග්නි, ගහපතග්නි, දක්ඛිණ්‍යෙයග්නි වේ.

බුදුරදුන් මහා සඤ්ඤ සූත්‍රයේදී ආහුණ්‍යෙය වචනය භාවිතා කළේ ආර්යය මහා සංඝරත්නය උදෙසා නොවේ.බුද්ධ දේශිතය අනුවම එය “බ්‍රාහ්මණය, යමෙක් තම මවට පියාට ගරු සත්කාර බුහුමන් සැළකිලි සැප විහරණ ලබා දේ නම් එයයි ආහුණ්‍යෙය ගින්න වන්නේ.ඔය ගිනි දෙවියන් පිදීමට වඩා එය කරන්න.එයයි මහත්ඵල මහානිසංසය.” මවුපියන් එසේ වන්නේ අපව මේ ලොවට බිහිකර පෝෂණය කර අපට මේ ලෝකය පෙන් වූ බැවිනි.

එක්තරා භික්ෂුවක් තමාට ලැබෙන සිවුපසය සිය නිවසට දීමට පුරුදුව සිටි නිසා සෙසු  භික්ෂූන් වහන්සේලා ඒ හිමියන්ට චෝදනා කොට බුදුරදුන් වෙතට කැදවා ගෙන ආහ. ඒ හිමි තම අසරණ වූ වයෝවෘධ වූ දෙමාපියන් ඉන් පෝෂණය කරන බව අසා බුදුන් වහන්සේ තෙවරක් සාධු නද දෙමින් “පින්වත් භික්ෂුව, ඔබ එය දිගටම කරගෙන යන්න. ඔබ හරිම ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මම ඔබට අවවාද කරමි. ඔබට ලැබෙන කුමන හෝ දෙයක් මවට, පියාට දෙන ලෙස මම අනුදැන වදාරමි.” යනුවෙන්ද ප්‍රකාශ කළ සේක.

දැල්විය යුතු දෙවනි ගින්න නම් ගහපතග්නියයි. ගෘහයට අධිපතියා විසින්  සත්කාර කළ යුතු, බුහුමන් කළ යුතු, පිදිය යුතු, දැල්විය යුතු, සැපසම්පත් ලබා දිය යුතු ගින්න කවරේද? එනම් යමෙකු තම ගෘහයේ අධිපතියා වී තම බිරිද ට දරුවන්ට තම නිවසේ/කම්හල්වල ශ්‍රමය වගුරුවන සේවකයින්ට සත්කාර සම්මාන දක්වයි නම් එයම මහත්ඵල මහානිසංස වේ. මුළු ලොවෙහිම දැසි දසුන්ට සත්කාර සම්මාන දැක්වීමට පළමුව දේශනා කළේ අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේම ය.

මීළගට දක්ඛිණ්‍යෙයග්නිය පිළිබදව සදහන් කරමින් “බ්‍රාහ්මණය, යමෙක් තම එකම ආත්මය පරිනිර්වාණයට පත් කරවන, කෙලෙස් සංසිදවන, මද මාන දුරු කරන අදහසින් දන් දෙයි නම් හෙතෙම දක්ඛිණ්‍යෙයග්නිය පුදයි.”මෙම දේශනාවට මනාව සවන් දුන් උග්ගක ශරීර බමුණාට තම වරද මනාව වැටහී ගියේය. සතුටින් ඉපිලෙමින් භාග්‍යවතුන් වහන්ස, ඉතාම කාන්තිමත්ව එය ඔබ වහන්සේ මට පැහැදිලි කරදුන් සේක. මම අද පටන් තෙරුවන් සරණ යමි.මේ සතුන් 2500 ටම අභය දානය දෙමි. ඔවුන් කැමති තැනක ගොස් තණකොළ අනුභව කරත්වා! සිසිල් පැන් බොත්වා!  සිසිල් සුළගේ පහස ලබත්වා! මේ මොහොතේ පටන් කාය,වාග්, මනෝ ත්‍රිවිධ ඡත්‍රයම වරදේ නොයොදව මි. පිදිය යුතු ගිනි පුදමි.” යනුවෙන් සාධුකාර දුන්නේය.

මෙම සූත්‍රයෙන් එදා බුදුරදුන් තුළ පැවති එකගතා න්‍යාය හා විෂමතා න්‍යාය පිළිබිඹු වේ. එයින් වත්මන් මනෝ විද්‍යාඥයින් , දාර්ශනිකයින් මහත් ප්‍රතිඵල උදාකරගෙන ඇත.බුදුරදුන් තමාට අවශ්‍ය පුද්ගලයා පළමුව ආකර්ශනය කරන්නේ ඔහුට එකග වීමෙනි.එදා ආලවක යකු … ‘නික්ඛම සමණ, පවිස සමණ’ යනුවෙන් ගුගුරද්දී  කුඩා දරුවෙකු සේ ඊට එකග වූ ආකාරය ප්‍රශංසනීය වන්නේය. ආලවකයා එක අතින් මිටිකොට පරසක්වල ගසන්නට තරම් හැකියාව ඇති බුදුන් වහන්සේ එසේ කළේ ඇයි..?

තවද උග්ගක ශරීර  බමුණාට  ‘මමත් ඔබ හා එකග වෙමි’ යනුවෙන් පළමුවෙන්ම පැවසූ ආකාරය… අංගුලිමාලට පළමුව එකග වූ ආකාරය… එදා උමතුවෙන් තමා වෙත දිව ආ දරු දරු දුකින් මිරිකී ගිය කිසා ගෝතමියට එකග වූ ආකාරය…’ ඔය දරුවා මැරිලා… ජීවිතය ඔහොම තමයි… එන්න මා ඔබට අනිත්‍යය කියා දෙන්නම්’ යි නොකියා ඇයව මුළු දවසක්ම රස්තියාදු කොට ක්‍රියාවෙන්ම අවබෝධ වන්නට ඉඩහළ ආකාරය… අති ශ්‍රේෂ්ඨ නොවේද?

දෙවනුව උන්වහන්සේ ගේ විෂමතා න්‍යාය ද වැද්ගත්‍ ය. අදාළ පුද්ගලයා තමාට යම් පමණකට එකග වූ පසු තම මතය (දර්ශනය) ඉදිරිපත් කර ඔහු/ඇය නම්මා ගන්නා ආකාරයයි. එය කොතරම් ආකර්ශනීයද? වත්මන් සමාජ තලය තුළ නිල දරුවන්ට , පරිපාලකයින්ට, ගුරු භවතුනට මේ බුදු දහමින් ගතහැකි ආදර්ශ කොතරම්ද? එහෙත් පොතට පතට පමණක් සීමා වී ධර්මය ප්‍රායෝගිකව පරිහරණය නොකිරීම නිසා සමාජය තුළ කෙතරම් ගැටුම් සහගත තත්වයන් උදා වී තිබේද? මවුපිය දූදරු සබදතා, ස්වාමි භාර්යා සබදතා, ස්වාමි සේවක සබදතා,ඥාති සබදතා කෙතරම් පිරිහී ගොස් තිබේද?

‘බුදු බණ පොත්කර, කර පින්නාගෙන පෙරහැරේ යන්නට නොවේ’ යන කියමනෙහි සත්‍යතාවය විමසා බලා ඉන් බිදක් හෝ ජීවිතයට ගෙන පරලොව සුගතිය ළගාකර ගැන්මට උතුම් පිංවතුන් නැණ පහන් දැල්වේවා!

බී.එම්.පියලතා.   

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *