කොතැන ගියත් නැත මරුහට බාධා කුමන නැටුම් කෙළි කවට සිනාදා…

කොතැන ගියත් නැත මරුහට බාධා කුමන නැටුම් කෙළි කවට සිනාදා...

පෙර අතීතයේ එක්තරා බමුණෙක් නිසි වයසට එළඹි කළ විවාහයක් කර ගත්තේය. ඔහු එම බිරිදට ඉතා හොදින් සැලකුවේය. ඉතා ආදරයෙන් කරුණාවෙන් ඇගේ කුදු මහත් කටයුතු පිළිබද සොයා බැලුවේය. අලුයම අවදි වූ විගස ඇගේ හිස අතගා හිස තෙල් ගල්වා, සුවද වශී තවරා, සුවද මලින් සරසා ඉතා ආරක්ෂිත කාමරයකට යවා හොදින් දොර යතුරු ලා රාජකාරියට ගියේය.

ටික දිනක් යනවිට මෙම බමුණා පළමු බිරිදගේද කැමැත්ත හා උදව් උපකාර ඇතිව තවත් බිරිදක් කැන්දාගෙන ආවේය. සත්‍ය ලෙසම පළමු බිරිදටත් වඩා ජවසම්පන්නව ක්‍රියාකාරීව රූමත්ව බමුණාගේ සිත ප්‍රබෝධමත් කිරීමට තරම් දෙවැනි බිරිද සමත් වූවාය. ඇය සමග ජීවත්වනවිට බමුණා ආඩම්බරයෙන් උදම් වී සිටියේය. අන් අයට ඇයව පෙන්වා සතුටු වීමට ඇයව බොහෝ දුර ගමන් පවා කැදවා ගෙන ගියේය. පළමු බිරිදගේ සහයද ඊට ලැබිණ.

තවත් කලක් ගතවිය. බමුණාට දැන් වැඩ කටයුතු බොහෝය. මේ දෙදෙනාගේ සහය මදි බව වැටහුණෙන් බමුණා තුන්වැනි බිරිදක්ද කැදවාගෙන ආවේය. ඇගේ ස්වභාවය මුල් දෙදෙනාටම වඩා වෙනස් විය. බොහෝ උපකාර මෙන්ම අපකාරද ඔහුට ඇගෙන් සිදුවිය. බමුණාගෙන් තමාට අවාසියක් වූ අවස්ථාවක් ඔහුව අතහැර යාමට ඇය නොපැකිළව ඉදිරිපත් වූවාය. බමුණා තමාට අදරයෙන් සලකන විට වඩාත් ලංව වාසි ලබා ගැන්මටද ඇය අතිදක්ෂ වූවාය. කලක් යනවිට මෙම තිදෙනාම තමාගේ රැකවරණයට සුදුසු මදි බැව් බමුණාට වැටහිණ. දැන් ඔහු වයස 60 ඉක්ම වූ අයෙකි. ඔහුට මේ තිදෙනාටම කළ නොහැකි කුදු මහත් කටයුතු රැසක් කිරීමට තවත් කෙනෙකු උවමනා විය. ඒ නිසාම සිව්වැනියාද කැදවා ගෙන ඒමට බමුණා උත්සුක විය. ඇය ඉතාම ගුණ යහපත් කාරුණික අයෙකු වුවද බමුණා මුල් තිදෙනාට තරම් ආදරයක් කරුණාවක් ඇයට නොදැක්විය. ඇයට ආහාර පාන ඇදුම් පැළදුම් පවා ලබා දුන්නේ නොකර බැරි කමට මෙනි. තවමත් ඔහු පළමු හා දෙවන බිරින්දෑවරුන් ආදරයෙන් සතපවාලමින් ඔවුන් වෙනුවෙන් තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරමින් තෙවැන්නියටද යම් පමණකට සලකද්දී සිව්වැන්නියට ඔහේ ඕනෑවට එපාවට සැලකීමට බමුණා පුරුදු විය. එහෙත් ඇය සත්‍ය ලෙසම යහපත් කෙනෙක්ම වූවාය. ඇයව බමුණා කිසි දිනෙක ගමනක් බිමනක් රැගෙන ගියේද නැත. සිතුණ විටක කලාතුරකින් පමණක් එසේ කළේය. එහෙත් අනිත් තිදෙනාට වඩා ඇය ඔහුට දැඩි සේ ආදරය කළාය.

තවත් වසර කිහිපයක් ගතවිය. බමුණා සුව කළ නොහැකි රෝගයකින් ඔත්පල විය. සිය බිරින්දෑවරුන්ට තමා ගොඩගත නොහැකි සේ බමුණාට දැනුණි. තවත් දිනක් හෝ දෙකක් පමණක් තම දිවි රැකෙන බව ඔහුට තේරුම් ගියේය. ඔහු ආදරයෙන් ඔවුන් ඇමතුවේය. “මේ ඇහුණද… මෙහාට එන්නකෝ… ” එක්වරක් පමණක් යන්තම් හඩ ඇසෙන විටම දිව ආවේ සිව්වැන්නියයි. තෙවැන්නිය ඔහේ ඕනෑවට එපාවට මෙන් ආවාය. “දැන් ඉතින් ඔහේගෙන් ඇති ඵලේ මොකක්ද අපට” කියන්නාක් මෙනි. පළමු හා දෙවන බිරින්දෑවරු පැමිණියේ තුන් වතාවක් කථා කළාට පසුවය. ඔවුන් ළගට නොපැමිණ ඈතට වී සිටියහ.

බමුණා ඔවුන් අමතා මෙසේ කීවේය. “මා දැන් මිය යාමට ආසන්නයි. තවත් හෝරා කිහිපයක් මාගේ ප්‍රාණය රැදේවි. මා මෙපමණ කලක් නුඹලා වෙනුවෙන් මගේ මුළු ජීවිතයම කැප කළා. ආදරය කළා. කරුණාව දැක්වූවා. දැන් මට නුඹලාගේ උදව් අවශ්‍යයි. මා මිය යනවා සිකුරුයි. මාත් සමග යාමට එන්නේ කව්රුන්ද?”

බමුණාගේ දුක් මුසු මුහුණ බලා පළමුවැන්නිය කට ඇද කර ගස්සා දමා අහක බලාගෙන මෙන් මුමුණන්නට වූවාය. “මට මොකටද මේ දර හැවක්, මම දැනටමත් ලස්සන තරුණ ඔබේ වැඩිමහල් පුතාගේ බිරිද වෙලා ඉවරයි. එයා ඔබටත් වඩා හොදට මා ආදරයෙන් රැක බලා ගන්නවා.” කියා ගස්සා දමා නිවස තුළට රිංගා ගත්තාය.

බමුණා කදුළු පිරි දෙනෙතින් දෙවැන්නියගේ මුහුණ දෙස බැලුවේය. ඇයද විසුළු මුහුණක් පා අහක බලා ගත්තාය. “ඇයි ඔයා නිශ්ශබ්ද? ඔයාටත් මා ගැන දුකක් නැද්ද? බමුණා ඇසුවේය. ඇය සෙමෙන් බිම බලාගෙන පිළිතුරු දෙමින් “මම දැන් සතියකට කලින් ඉදලා ඔබේ දෙවන පුතාගේ බිරිද වී ඉවරයි. මා ඔබ සමග පැමිණ කුමක් කරන්නද? මට තව වැඩ ගොඩක් තියෙනවා. ඔබ සමග කාලය නාස්ති කරන්න වෙලාවක් නැහැ.” කියමින් ඇයද නිවස තුළටම රිංගා ගත්තාය.

තෙවැන්නිය වික්ෂිප්ත මුහුණකින් යුතුව ඔහු දෙස බලා දෙස බලා සිටිනු දැක බමුණා අයැද විමසුවාය. ඇය පිළිතුරු දෙමින්… “ඔබ වැඩිපුරම ආදරය කළේ සැලකුවේ පළමු හා දෙවැනි බිරින්දෑවරුන්ටයි. මා ගැන ඒ තරම්ම සැලකුවේත් නැහැනේ. ඒත් කමක් නැහැ. යුතුකමක් හැටියට මා ඔබේ සොහොන තෙක් එන්නම්. සොහොන ළගට පමණක් මට ආ හැකියි. ඉන්පසු මා ආපසු එනවා” බමුණාගේ ශෝකය නිම්හිම් නැති විය. තමා මෙතෙක් කර ඇත්තේ ගගට ඉනි කැපීමක්ම පමණයි. ඔහුට සිතුණි. සිව්වන බිරිද දෙස බලන්නටත් පෙර ඇය වහා ඔහු අසලට දිව ආවාය. ආදරයෙන් හිස අතගෑවාය. දෑස් වල කදුළු පිස දැමුවාය. කරුණාවෙන් සෙමෙන් මෙසේ මිමිණිය. “පිංවත් මහත්මයා… ඔබ කණගාටු නොවන්න. ඔබ මට ඒතරම් ආදරයකින් කරුණාවකින් නොසැලකූ බව ඇත්තයි. ඒත් ඔබ සමග ඔබ කියන ඕනෑම තැනකට මා එන්නම්. ඔබේ සෙවනැල්ල සේ බව රැක බලා ගන්නම්… සත්තයි මාව විශ්වාස කරන්න. මෙසේ කියන විට ඇගේ කරුණාබර දෙනෙතින් කදුළු වැගිරෙන්නට විය. බමුණා සැනසුම් සුසුමක් හෙලා මිය පරලොව ගියේය.”

මේ කතාව මෙතනින් අවසන් වුවත් මේ බිරින්දෑවරුන් පිළිබද ඔබ තවමත් දන්නේ නැත. පළමු බිරිද ලෙස හදුන්වා ඇත්තේ බමුණා ආදරයෙන් උපයා සපයා ගත් ධන සම්පත් ය. ආශාවෙන් තෘෂ්ණාවෙන් දුම් අල්ලමින් සුරක්ෂිතව තැන්පත් කරමින් දොරගුළු ලමින් රැක ගනා ධන සම්පත් තමා මිය යන විට කවුරුන් හෝ සන්තක කර ගනී. දෙවැනි බිරිද ලෙස ගේ දොර, වතුපිටි, යානවාහන, ඉඩකඩම් හැදින්වේ. ඒවායින් බැබළෙමින් ජීවත් වුවද අප මිය යන විටම/ ඊට පළමු ඒවා අන්සතු වී හමාරය. තෙවැන්නිය ලෙස නම් කළේ නෑ හිතවතුන්ය. නිතර වෙනස් වන සුළු මොවුන්ට සලකන තරමට අපට ආදරය කරති. නොසැලකුවහොත් දොස් කියති. වාසි ඇත්නම් ලං වෙති. දුප්පත් වූවොත් අතැහැර දමති. කෙසේ වෙතත් මිය පරලොව ගිය විටෙක ලෝක ලජ්ජාවට හෝ කනත්තට එති. එසේනම් මේ තිදෙනාටම වඩා වටින්නේ කව්රුන්ද?

අපේ අය වල පයත් ගොඩ පයත් ඇති විට තෝරා ගන්නා සිව්වැන්නියයි. ඇය කිසිදු ලාභ අපේක්ෂාවක් නැත. ඇය නම් පින හා කුසලයයි. යන යන තැන සෙවනැල්ල මෙන් එයි. නිරතුරුව පිහිට වෙයි. එහෙත් අප ඇය ගැන දක්වන සැලකිල්ල මදක් සිතන්න. ආදරයෙන් අත පත ගාමින් රැක බලා ගන්න ගේ දොර, වතුපිටි, ඉඩකඩම්, යානවාහන මෙන් කාගේ හෝ අවදානයක් පින හා කුසලයට තිබේද? එසේ තිබේනම් ඔබ පරලොව ජයගන්නේමය. මිය යන මොහොතේ පවා තනි නොතනියට ලගට පැමිණ ඔබේ අතින් අල්ලා ගත්තේ ඇයයි.

ඩී. ආර්. තිලිණි භාග්‍යා

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *