සත්ව යනු ඇළුනු යන අර්ථයෙන් යුතු වචනයකි. සත්වයා කුමක ඇළුනේද? ඉෂ්ඨ ආරම්මණ වල හෝ අනිෂ්ඨ ආරම්මණ වල ඇළුණෝ වෙයි. කුමක්ද ඇලෙන්නේ. සත්වයාගේ සිතයි. (චිත්තයයි) ඉෂ්ඨ ආරම්මණ හෝ අනිෂ්ඨ ආරම්මණ මොනවාද? ඇස, කන, නාසය, දිව, කය යන පසිදුරන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර රූපයෝයි. කැමති හෝ අකමැති නොඑසේ නම් ප්‍රිය හෝ අප්‍රිය අරමුණු වල ඇලීම සිතෙහි ස්වභාවයයි. එසේම සජීවී මිනිස් සිතට කිසිවිටෙක අරමුණක නොඇලී සිටීමටද නොහැකිමයි. එසේ නම් සත්වයා යනු සිතක් ඇති, ඒ සිත විසින් ක්‍රියාත්මක කරවනු ලබන්නා වූද, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයින්ගේ ඒකරාශී වීමකින් හට ගත්තා වූද කිසියම් ස්කන්ධමය නිර්මාණයක් යැයි අපි මෙහිදී හදුන්වමු. එය වෙනත් විදියකින් කියන්නේ නම් නාම (සිත) හා රූප යන දෙකින් යුක්ත නිර්මාණයකි.
ගහක්, ගලක්, මේසයක්, පුටුවක්, වස්ත්‍රයක්, ආදී අප්‍රාණික වස්තූන්ට සිතක් නොමැති හෙයින් ඒවා සත්ව ගණයට ඇතුළත් නොවේ. ඇස, කන, නාසය, දිව, කය ශරීරාංග සියල්ලම හෝ කීපයක් සහිත වූ කයක් හෝ සිරුරක් එහි ස්වයං පැවැත්මට ඉඩ සලසන සිතක් සමග එක්ව පහළ වේද, උපදීද ඒ සත්වයෙකි.එසේ සත්වයෙකු හට ගැනුනාසේම ඒ සත්වයා යන එකතුව තුළින් යළි සිත ඉවත්ව ගිය කල්හි (මරණය) එතැන සත්වයකුද නැත්තේය.
“ජුද්දෝ අපේත විඤ්ඤාණං නිරත්වංච බලිංගරං” යයි බුදුන් වහන්සේ වදාලේ. “මේ කයින් විඤ්ඤාණං” ඉවත්ව ගිය කල්හි ඉතිරිවන සිරුර ප්‍රයෝජනයක් නැති දරකඩක් මෙන් වැතිර සිටින්නේය යන අරුතෙනි. එසේ මරණයෙන් අනතුරුව වැතිර සිටින රූප ස්කන්ධයකනම් නොවේ. දැන් දරකඩක් වැනි රූප ස්කන්ධයක් බවට පත් වී තිබුණත් ඊට පෙර එම රූප ස්කන්ධය විවිධ අරමුණු පසුපස දුවමින්, ජීවිතය නමැති රගමඩලේ නළුවෙකු බවට පත් කලේ ඒ රූප ස්කන්ධයෙන් වෙන්ව හදුනා ගැනීමට නොහැකි වන අයුරින් ඒ හා බැදි සැගවී ක්‍රියාත්මක වූ “සිත” හෙවත් විඤ්ඤාණය මුල් වීමෙන් බව බුද්ධිමත්ව පසක් කරගත යුතු කරුණකි.
ලෝකය විවිධ ධාතූන්ගෙන් සමන්විත වූවකි. මිනිසා, බල්ලා, ගංගාව, ගහ, ගල, ඇදුම, පැළදුම ආදී කොට ඇති සියලුම අවිඤ්ඤාණක හා සවිඤ්ඤාණක වස්තු සියල්ලම එම ධාතූන්ගේ නිර්මාණයෝයි. ” නානා ධාතුමය වූ මේ ලෝකයෙහි අන් සියලු ධාතූන් මැඩ පවත්වා සිටින්නා වූ සියලු ධාතූන්ම ස්ව වශයෙන් පැවැත්වීමට සමථ වූ සියල්ලටම ප්‍රධාන වූ එක් ධාතුවක් ඇත්තේය. එනම් සත්වයාගේ සිතයි. (රේණකානේ චන්ද්‍රවිමල හිමි – චිත්කෝප ක්ලේශධර්ම)
මෙලෙස සලකන විට සිත මෙලොව ඇති සියලුම ශක්තීන් අභිබවා සිටින මහා බලයක්ම බව කියමු. මේ මහා බලය ලෝකයාට මතුකර පෙන්වා දුන් බුදුන් වහන්සේ,
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසතිවා කරෝතිවා
තතෝනං සුඛ මන්වේත
ඡායාව අන පායිනි…
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන
භාසතිවා කරෝතිවා
තතෝනං දුක්ඛ මන්වෙති
එක්කංච වහතො පදං…
ආදී ගාථා ධර්මය තුළින් සියලු ධර්මයන්ට සිත පෙරටු කොට සිටින බවත් සිත මුල්කොට කරන කියන දෙයින් සත්වයා සැපතට හා දුකට පත් කරන බවත් දේශනා කළ සේක.
මිනිස්, තිරිසන්, දිව්‍ය, බ්‍රහ්ම ආදී සියලුම සත්වයෝම සිත මුල්ව සිත විසින්ම ඒ ඒ තැන පමුණුවනු ලබන්නේය. මනස උසස් වූයේ මිනිස් නම් වේ. එනිසා සිත නිවැරදි ලෙස හසුරුවන, සොබා දහම් නිසි ලෙස අවබෝධ කරන මිනිසා අහස් යානා, චන්ද්‍ර යානා පවා නිපදවා සිය ප්‍රයෝජනයට යොදා ගනිති. එසේම චිත්ත ඒකාග්‍රතාවයේ බලය භාවිතා කොට විවිධ ඍද්ධි ප්‍රාතිහාර්‍ය කරන්නටද මිනිසාට හැකියාව ඇත. ලෝකය පිළිබද භෞතික සත්‍යන් ගැඹුරින් ගවේෂණය කරන මිනිස් සිත මනුෂ්‍යාගේ ජීවිත වලට ඵලදායක වන නිර්මාණ බිහි කිරීමට සමත් විය. අද ලෝකයෙහි ඇති නවීන නිපැයුම් සියල්ල මෙහිලා සදහන් කිරීම කිසිසේත් නොකළ හැකි වන අතර එසේ සදහන් කිරීම අනවශ්‍ය තරමටම මිනිසා නවීන විද්‍යාත්මක නිර්මාණයන් පරිහරණයට පුරුදු වී සිටින බව පමණක් කිව යුතුය.
මිනිසා ස්වභාවයෙන්ම සැපපහසුව ප්‍රාර්ථනා කරන අතර කායික මානසික පීඩාවන් වශයෙන් ගැනෙන දුක ප්‍රතික්ෂේප කරයි. සම්මුති ලෝකය තුළ මිනිසා කායික සුව පහසුව හා පසිදුරන් තුළින් ලබන ආශ්වාදයෙන් ” සැපය” සේ සලකා ඒවා ලබා ගැනීමට ක්‍රියා කරයි. කායික හා මානසික සුව පහසුව සොයා මිනිසා මුළු ජීවිත කාලයම කරන්නේ සැපය සොයා වෙහෙසීමයි. මෙසේ සැප සොයා සත්වයා එකී ආශාවන්හි ඇලීමේ සත්ව ස්වභාවය ඉක්මවීමට නොහැකිව සැප වේදනාවන්ට හා ඊට මුල් වන කාම වස්තූන්ට ඇලීම,බැදීම නම් වූ තෘෂ්ණාවට නතු වෙයි. කවර අයුරකින් හෝ එකී කාම වස්තූන් පිළිබද ආශාවන් ඉටුකර ගැනීමට දැඩි සේ පෙළඹීම නිසා අන් සතුනට සිදුවන දුක් ගැහැට වේදනාවන් හා හිංසා පීඩා නොසලකා කටයුතු කරන සිතුවිලි උපදවා ගනිමින් සිත කෙළෙසා ගන්නේය. කෙළෙසුන සිතේ වෙහෙස වීමෙන් සිතින්, කයින්, වචනයෙන් අනුන්ගේ ජීවිත වලට පවා හිංසා පීඩා කරන මහත් අකුසලයෙන් සිදු කිරීමට නිසා උසස් මිනිස් බව කෙළෙසා ගෙන නරක, තිරිසන් ප්‍රේත අසුරාදී දුගති වලට තමා විසින්ම පැමිණෙන්නේය. නැතහොත් ඉහත ආත්මයේ මහත් දුකටද පත් කරවන මිනිස් තිරිසන් මිනිස් ප්‍රේත ආදී තත්වයන්ද හිමිකර ගත්තේය.