කෙනෙකු අපා දුක් විදින විට තවත් කෙනෙකු සුගතියක සැප විදී…

කෙනෙකු අපා දුක් විදින විට තවත් කෙනෙකු සුගතියක සැප විදී...

හේතුව…!

හැසීරීම සේවනය කිරීම නම් වූ අර්ථයෙන් කෙනෙකු ලොව තුළ යමක් විද දරා ගනියි. දහමද අදහමද ඒ අයුරින්මය. යමෙක් දහම සේවනය කරයිද අධර්මය ඉවත් කරයිද හේ සුගතියක හැසිරී සැපය සේවනය කරයි. ඒ යහපත තුළ හැසිරීම කුසලය සේවනය කළ නිසාමය. තවකෙක් අධර්මය සේවනය කරමින් ධර්මය ඉවත් කරයිද හේ දුගතියක ඉපදී එහිම හැසිරී දුක සේවනය කරයි. ඒ අයහපත තුළ හැසිරී අකුසලය සේවනය කළ නිසාමය.

අධර්මයේ ගැලීම කයින්, වචනයෙන්, සිතින් යන තුන් දොරින් සිදු කළත් සමානව නම් නොවෙයි.

  1. කයින් තුන් අයුරකින්
  2. වචනයෙන් සතර අයුරකින්
  3. සිතින් තුන් අයුරකින් වන ලෙසිනි.

ඉහත ආකාරයකින් සිදුකරන අධම ගතිය විදහාලන කාරණාවන් ඔබ අතින්ද සිදුවන ආකාරය බලන්න. අවබෝධ කරගන්න. දුගතියක ගමන් කිරීමේ අවධානමෙන්ද මිදෙන්න. මේ කාරණා තුළ ඔබ මේ භවයේදී නොගැලුණත් සසර තුල ගැලී ඇති බව සිතන්න. පල නොදී අළු යට ඇති ගිණි පුපුරක් පරිද්දෙන් වහා ඇවිලී යා හැකි බව සිතන්න. කිසිදු වැරැද්දක් සිදු නොකරන පිංවතෙකු පවා හදිසි කරදරයට පත්ව කැඩී බිදී යන පරිද්දෙන් ඔබද ඒ පීඩාවෙහි කොයි මොහොතක හෝ පටලැවිය හැකි බැවින් අවබෝධයෙන් දහම සේවනය කරන්න.

කය මුල් කරගනිමින්…

  • පරපණ නසමින් නපුරු දුර්දාන්තයකු ලෙස සතුන් කපා කොටා සිදුකරන ප්‍රාණඝාතය නිසාත්

  • තමන්ට අයිති නැති දේ අනුන්ට අයිති දේ සොර සිතින් ලබා ගැනීම මතින් ඇතිවන අදත්තාදානය නිසාත්

  • මව්පියන් නෑදෑයන්, සහෝදරයින් ආරක්ෂා කරන ධර්ම ප්‍රතිපත්තියෙහි බැදී ඇති හා තම ස්වාමියා විසින් විවාහ ගිවිසගත් ස්ත්‍රීන් කෙරෙහි ඔවුන්ගේ චරිත කෙළෙසන අයුරින් කම් සැප සදහා යොදවා ගැනීම නිසා ඇතිවන කාමමිච්ඡාචාරයන් නිසා කෙනෙකු අපා දොර විවර කරගන්නට අවශ්‍ය වන අකුසල් දහම් තම කයින් සිදු කර ගනියි.

වචනය මුල් කරගනිමින්…

  • දැක දැකත් නොදැක්කා ලෙස කීමත් නොදැක දැක්කා ලෙස කීමත් නොදැන දන්නවා කීමත් දැන දැනත් නොදන්නවා කීමත්, තමන්ගේ ආත්ම ලාභය නිසා අල්ලසක් හෝ ලාභයක් අපේක්ෂාවෙන් තවකෙකු අසරණ කිරීමේ අපේක්ෂාවෙන් දැන දැන බොරු කියයි නම් ඒ නිසා ඇතිවන මුසාවාදයත්

  • මෙතනින් අතනටත් අතනින් මෙතනටත් කේළාම් කියමින් දෙපිරිසක වෛරය, ක්‍රෝධය අවුස්සයි නම් සමගි අය බිද වීම සදහා, බිදුණු අය වෙන් කිරීම සදහා කල්ලි ඇති කර ගනී නම් ඒ තුළින් ඇතිවන කේළම හෙවත් පිසුනාවාචාවත්…

  • අසන්නට අමිහිරි සමාධි සිතට බාධා වන කෙනෙකුගේ සිත් බිදෙන ක්‍රෝධය ඇවිස්සෙන ආකාරයෙන් වචන කතා කරයි නම් ඒ තුළින් ඇතිවන පරුෂාවාචාවත්

  • සිතෙහි තැන්පත් කර ගැනීමට නොවටිනා දේ හෝ නොවැදගත් දේ තුළින් කාලය කා දැමීමත් මගින් ඇතිවන හිස් වචන බිනීමත් නිසා අපාදොර විවර කර ගැනීමේ ක්‍රම සතර තම වචනය භාවිතයෙන් සිදු කර ගනී.

සිත මුල් කරගනිමින්…

  • අනුන්ගේ දේ අයිති කර ගන්නට සිතමින් අනුන්ගේ සම්පත් දෙස කෑදරව බලමින් උගුල් අටවමින් තමන් සන්තක කර ගැනීමට සිතයිද ඒ සිතිවිලිත්

  • අනෙකා මැරෙන්න ඕනා, ඌව මරන්න ඕනා, වද දෙන්න ඕනා, වැනසෙන්නට ඕනා, ඌට හොදක් නම් වෙන්න එපා, ඇස් අන්ධ වෙන්න ඕනා, මහමග යනවිට වාහනයකටවත් හැප්පෙන්න ඕනා ආදී ලෙස පවතින දුෂ්ඨ චේතනාවන්ද

  • මිථ්‍යා අදහසින් යහපතෙහි වැරදි දනී නම්, එනම්… දන් දීමෙහි විපාක නැත, පුද පූජාවල විපාක නැත, ඇප උපස්ථානවල විපාක නැත, හොද නරක ක්‍රියා වල විපාක නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවක් පියෙක් නැත, ඕපපාතිකව උපදින අය නැත, ලොවෙහි හොද නරක අවබෝධ කරගත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත ආදී ලෙස කල්පනා කරයි නම්, සිතයි නම් ඒ දේ තුළින් සිතින් කරන කර්මයන් අපාදොර විවර කර ගනී.

මේ ආකාරයෙන් කයින් වචනයෙන් සිතින් අධර්මයේ ගැලෙන්නන් මරණින් පසු අපාගාමී වන්නා ලෙසම කයින් කරන පාපතර ධර්මයන් තුනෙන් ඉවත්ව කුසල ධර්මයේ යෙදීම සදහා ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය අත්හරීද ඔහු සුගතියක හෝ මිනිසත් ලෙස සැප විදී. හදිසි අන්තරාවන් රෝගාබාධයන්ගෙන් දුක් නොලබයි.

වචනයෙන් කරන පාපකාරී ක්‍රියා සතර වන, මුසාවාදයත්, කේළාම් කීමත්, පරුෂ වචනයත්, හිස් වචනයත් භාවිතය ඉවත් කරමින් ධර්මයේ හැසිරේද ඔහු සුගතියක ඉපදේ. තමන් අපහාසයට අගරුවට බදුන් නොවේ. හොද ශරීර සම්පත්තියකට හිමිකම් කියන මිනිසත් භවයන් ලබයි.

සිතින් කරන පාපකාරී හැගීමෙන් ඉවත්ව අන් අයට මෙත් සිත් ඇතිව කටයුතු කරයි නම් සම්මාදිට්ඨියෙන් ජීවත් වෙයි නම්, හේ අපාදොර වසයි. සුගතියක ඉපදී මිනිසත් ලොව ඉපදෙන විට මෝහයෙන් ඉවත්ව නිවනට මග පාදා ගනී.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *