ජර මර අස්සේ බර කරත්ත.

ජර මර අස්සේ බර කරත්ත.

“අනේ මේ ජරමරේ නම් මට කරන්න බෑ” අපේ ගමේ ගොඩේ අය මෙහෙම කියනවා නිතර අහන්ට ලැබෙනවා…. කෙළවරක් නැති වැඩ ගොඩක පැටලි එයින් හෙම්බත් උනාම තමයි මේ වචන ටික පිට වෙන්නේ…..

“එතන හරිම ජරමරේනේ” තව කෙනෙක් මෙහෙම කියන්නේත් තමන්ටත් තේරුම් ගන්න බැරි පටලැවිලි ගොඩක් ඇති බව දැක්කාමයි…. එහෙම නැතිනම් නිසි පිළිවෙලක් නැති කලබල කාරී බවක් දැක්කාමයි.

“ජර මර අස්සේ බර කරත්ත ” කීවලු….. මෙහෙම කියන්නේ කරදර ගොඩක් නිසා අමාරුවට පත් වෙලා ඉන්න වෙලාවට ඊ ට‍ත් වඩා අසීරු තවත් බරපතල වැඩක් හෝ සිද්ධියක් පැටලුනාමයි.

ඉතින් මොකක්ද මේ ජරමර කතාව…? සාමාන්‍ය ගැමි වහර තුළදී නම් බැලූ බැල්මට “කරදර ගොඩක්” යන අදහසයි මෙයින් මතු වී පෙනෙන්නේ…..එහෙම බලන විට සිතට සහනයක් නැති, කයට විවේකයක් නැති වැඩ ගොඩක පැටලී සිටින බවක් මේ “ජරමර” කතාවෙන් අදහස් වෙනවා. ජීවිතය ගැන බලන විට ඇත්තටම සැමදාමත් අවිවේකී කරදරකාරී අසහනකාරී බවක්ම තමා දකින්න ලැබෙන්නේ. ඒ නිසා ජීවීතය පිළිබදව යමක් මේ ජරමර කතාවේ තිබෙනවා.

සිංහල ගැමි ව්‍යවහාරය තුළ ඇති මෙබදු ඇතැම් විශේෂ වදන් තුළ සැගවී තිබෙන්නේ ඉතාම ගැඹුරු අදහසක්. අපේ පැරණි ජන ජීවිතය බුදු දහම හා දැඩි ලෙස සම්බන්ධ වී තිබුණු අතර බුදු දහමෙන් පෝෂණය වුනු සිතුම් පැතුම් රටාවක්ද අපේ පැරැන්නන් ට තිබුණා…. අන්න ඒ විදියට බුදු දහමේ ඉතාම ගැඹුරු තැනකින් ජීවිතය දෙස බැලූ අපේ පැරැන්නන්ගේ මුවට නිරායාසයෙන් ම නැගුනු අදහසක් තමයි මේ ජරමර කතාව.

බුදු දහමේ සාරවත් කරුණු අලලා ලෝවැඩ සගරාව නමින් වීදාගම හාමුදුරුවන් විසින් රචනා කළ උන්වහන්සේ මේ ජරමර කතාව අර්ථවත්ව ඉදිරිපත් කරන්නේ මේ අයුරින්

ඉදිතොත් බෝකල් ජරයෙන් විසිරේ

නැතහොත් වැදයයි මරු මුව කුහරේ

මෙ මහත් ජරමර දෙදෙනා අතරේ

මෙ සැපත් සැපයයි ගනිදෝ කවරේ

බෝ කල් ඉදිතොත්, එනම් වයසට යන්න යන්නම මේ ශරීරය “ජරයෙන්” හෙවත් දිරා යාමෙන් වෙනස් බවටම පත් වේ. එසේත් නැත්නම් මාරයාගේ මුඛය තුළට රිංගා ගැනීමට හෙවත් මරණයට පත්වෙයි. මේ ජරා නම් වූ මෝරා යාම හෙවත් දිරා යාමත්, මර හෙවත් මරණයත් යන දෙදෙනා අතරේ සිටිමින් යම් සැපයක් විදින්නේ නම් ඒ සැපය, සැපයක් යැයි (ඥාණවන්තව) ගත හැක්කේ කාටද?

වීදාගම හිමියන් “ජරමර” දැක්කේ ඒ අයුරිනි. හොදින් බැලුවොත් ජීවිතය කියන්නේ මේ “ජරමර” දෙදනා ටම බව වැටහෙනවා. මව්කුසක පිළිසිදගත් දා පටන් සිදුවන්නේ මේ ජර නම් වූ මෝරා යාමයි. වෙනස් වීමයි. ඒක නවතින්නේම නෑ. ළදරුවා, ළමයා, තරුණයා, තරුණිය, වැඩිහිටියා, මහල්ලා, මැහැල්ල දක්වාම  වෙනස් වීම තමයි ජරාවයේ ස්වභාවය ඔය කී ඕනෑම කලකදී ජීවිතය කෙළවර වේ නම් ඒ තමා මරු ගේ ස්වභාවය. එහෙනම් ජීවිතය යනු ජරමර දෙදෙනා අතරේ , සිටීමක්ම පමණයි. ජරාවට පත් වෙන්න කිසිවෙක් කැමති නැති වුවත් ඒක සිදුවෙනවාමයි. මැදි වයසට ගිය කෙනෙක් තරුණ වයසේම සිටියානම් හොදයි කියා සුසුම් හෙලනවා. මහළු වනවිට ගත වාරු නැති වෙනවා. ඇග රැළි වැටෙනවා. ලස්සන අවලස්සන බවට පත් වෙනවා. දත් හැලෙනවා පෙනීම අඩු වෙනවා. ලෙඩ රෝග බහුල වෙනවා. මේ සියල්ල දකින්නේ විදින්නේ භාර ගන්නේ කැමැත්තකින් නම් නොවෙයි. “දැන් මරණයට ළං වෙමිනුයි සිටින්නේ” කියන එක හැමවිටම සිතට එනවා කියැවෙනවා. ඉතින් කෝ සතුටක්? සැපක්? තමන්ට ඕනෑ හැටියට කිසිවක් සිදුවුනේ නෑ. හරිම දුකයි. ජීවිතේ යම් සතුටක් ලැබුනා නම් ඒ මොහොතේම නැති වුනා මිස ඉතිරි වුනේ නෑ.

මේ සතුට ලබා ගන්නට ජීවිත කාලයේදීම කලේ මහ බර ඇදීමක් පමණයි. පාසැල් යනවා ගුටිකකා නිදිවරා පාඩම් කරනවා. විභාග ගන්නවා. ඒක මදි තව එකක් මහ තරගයක් උඩට නැග ගන්න. මේ මහා වදය විදින්නේ රැකියාවක් ලබා ගන්න ඉගෙන ගත්තත් නැතත් රැකියාවක් සොයා ගන්නවා ඉස්පාසුවක් නැතිව වැඩ කරනවා කෑම සොයනවා ගෙවල් දොරවල් හදනවා…. ඉඩකඩම් ගන්නවා. රැ දහවල් නිදි නැතිව දරුවන් පෝෂණය කරනවා… මරණයට යන විට මේවා කිසිවක් කරලා ඉවර නෑ ජීවිතේ…. දෙමව්පියන්ට දූ දරුවන්ට යුතුකම් ඉටුකරලා ඉවරයක් නෑ. ජීවිතේට ඒක තමයි ජරමර අස්සේ බර කරත්ත කීවේ.මේ බර කරත්තේ බැදුනු ගොනාට කියන්නේ මම කියලයි.

ඉතින් මේ ජරමර දෙක නිකම් නැතිකරන්න බෑ ඒ සදහා බර කරත්තය ක්‍රමයෙන් හෑල්ලු කරගන්න ඕනෑ. හිස් කරගන්න බෑ ඒක කරන්නට බුදුන් වදාල “ප්‍රතිපත්ති මාර්ගයට” කරත්තේ අද ගන්න ඕනෑ. ඒ පාර හරි කෙළින් ඇද නැති පාරක්…..වල්වදින්නේ නැතුව ඒ පාරේම යනවා…යනවා… නොපෙනෙනතෙක්ම යනවා. එතකොට කියන්නේ මේ මිනිසා පේන්න නෑනේ… රහත් වුනාවත්ද…? කියලා… ඔව් රහත්වෙලා තමයි…. ජරමරත් නෑ බර කරත්තත් නෑ පාර නම් සදාකාලිකයි……

ඉළිඹේ විදාන.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *