ඉවසීම

ඉවසීම

මහණෙනි පෙර මේ සැවැත් නුවර වේදෙහිකා නම් ගෘහණියක් වාසය කළාය. ඇය කරුණාවන්ත, මුදු මොළොක් ගති ඇති සන්සුන් පැවතුම් ඇති තැනැත්තියක ලෙස ප්‍රසිද්ධ වූවාය. වේදෙහිකාට කාලි නම් දාසියක විය. ඒ දාසි දක්ෂ වූ, නොකැම්මලි වූ මනා ලෙස කටයුතු සංවිධානය කළ හැකි වූ තැනැත්තියක් වූවාය. ඒ කාලි නම් දාසිට මෙසේ සිතුණේය. මාගේ ස්වාමි දූව කරුණාවන්ත, මුදු මොළොක් ගති ඇති සන්සුන් පැවතුම් ඇති තැනැත්තියක ලෙස ප්‍රසිද්ධය. ඇය කෝපය නොපෙන්නුවත් එය ඇය තුළ තිබේද? නැද්ද? ඇය තුළ කෝපය ඇතත් ඇය අය නොපෙන්වා සිටින්නේ මගේ වැඩ මාගේ ඉතා හොදින් කරන නිසාද? මා මාගේ ස්වාමි දුව පරීක්ෂා කළ බැලුවොත් හොද යැයි කාලි නම් දාසි සිතුවාය. ඇය දවල් වී අවදි වූවාය.

“ඒයි කාලි” වේදෙහිකා ගෘහණිය දාසිය ඇමතුවාය. කුමක්ද ආර්යාවනි?

“ඔබ දවල් වී නැගිට්ටේ මක් නිසාද?”

“කාරණයක් නැත ආර්යාවනි”

“කාරණයක් නැහැ, එහෙත් ඔබ දවල් වී නැගිට්ටා නොවේද?, පව්කාර කෙල්ල” ස්වාමිදුව අමනාප වී කිපී මුහුණ හකුළුවා රවා ගත්තාය.

එවිට කාලි නම් දාසියට මෙසේ සිතිණ. මාගේ ස්වාමි දුව කෝපය නොගන්වා සිටියත් එය ඇය තුළ ඇත. නැත්තේ නොවේ. මා හොදින් වැඩ කරන ඇය කෝපය නොපෙන්වා සිටියත් එය ඇය තුළ ඇත. තවදුරටත් මා මාගේ ස්වාමි දුව පරීක්ෂා කර බැලුවොත් හොදයි.

කාලි නම් දාසි වඩාත් දවල් වී අවදි වූවාය.

“ඒයි කාලි” වේදෙහිකා ඇය ඇමතීය.

“කුමක්ද ආර්යාවනි”

“ඔබ වඩාත් දවල් වී නැගිට්ටේ මක් නිසාද?”

“කිසි කාරණයක් නැත ආර්යාවනි”

“කාරණයක් නැහැ, එහෙත් නුඹ දවල් වී නැගිට්ටා නෙවෙද? පව්කාර කෙල්ල” වේදෙහිකා නම් ගෘහණිය කෝප වී කාලිට බැණ වැදුනාය.

එවිට කාලිනම් දාසියට මෙසේ සිතුණාය.

“මාගේ ස්වාමි දුව කෝපය නොපෙන්නුවත් එය ඇය තුළ ඇත. ඇය කෝපය නොපෙන්වා සිටින්නේ මා මාගේ වැඩ හොදින් කරන නිසාය. එහෙත් කෝපය ඈ තුළ ඇත. නැත්තේ නොවේ”

තවදුරටත් ස්වාමිදුව විමසීමට සිතූ කාලී නම් දාසිය පෙරටත් වඩා දවල් වී අවදි වූවාය.

“ඒයි කාලී”

“ඇයි ආර්යාවනි”

“නුඹ මෙතරම් දවල් වී නැගිට්ටේ මක් නිසාද?”

“කාරණයක් නැහැ ආර්යාවනි”

“කාරණයක් නැහැ පව්කාර කෙල්ල, නමුත් නුඹ දවල් වෙලා නැගිටිනවා නෙවේද?” කී වේදෙහිකා තම ගෘහණිය අමනාප වී කෝප වී දොරපොල්ලෙන් කාලිගේ හිසට පහරක් ගසා හිස පැළුවාය. එවිට කාලි නම් දාසිය තුවාල වූ හිසින් ගලන ලේ අසල්වැසියන්ට හඩ නගා මෙසේ කීවාය.

“කරුණාවන්ත තැනැත්තිය කළ දේ බලන්න. මෘදු මොළොක් ගති ඇති තැනැත්තිය කළ දේ බලන්න. සන්සුන් තැනැත්තිය කළ දේ ඇති තැනැත්තිය කළ දේ බලන්න. ඇයට ඇති එකම දාසිය දවල් වී නැගිට්ටාය කියා කෝපවී දොර පොල්ලෙන් ගසා හිස පළන්නේ කෙසේද? “

ඉන්පසු වේදෙහිකා ගෘහපතිණියගේ අපකීර්තිය පැතිර ගියේය. “වේදෙහිකා චණ්ඩය, නපුරුය, දයාවක් නැති තැනැත්තියකි.”

එමෙන්ම මහණෙනි, යම්කිසි භික්ෂුවක් තමාට නුරුස්නා වචන නොඇසෙන තුරු ඉතාම කරුණිකය, ඉතාම මෘදු මොළොක්‍ය, ඉතාම සන්සුන්ය, එහෙත් ඒ භික්ෂුව ඇත්තෙන්ම කාරුණිකද? ඇත්තෙන්ම මෘදු මොළොක් ද, ඇත්තෙන්ම සන්සුන්දැයි දැනගත හැක්කේ ඔහුට නුරුස්නා වචන ඇසුණු විට ය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලබාගන්නා අදහසින් පමණක් සුවච වන, සුවච භාවය ඇති කරගන්නා භික්ෂුවක් සුවච යැයි මම නොකියමි. මක් නිසාද? ඒ භික්ෂුව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නොලැබෙන විට සුවච නොවේ. සුවච වීමට තැත් නොකරයි. එහෙත් යම් භික්ෂුවක් ධර්මයම උසස් කොට සලකමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයම පුදමින් සුවච වේ නම් සුවච භාවය ඇති කරගනියි නම් ඔහු සුවච භික්ෂුවක් යැයි මම කියමි. එහෙයින් මහණෙනි, ඔබ මෙසේ හික්මිය යුතුයි. ” අපි ධර්මය උසස් කොට සලකන නිසා ධර්මයම පුදන නිසා සුවච වන්නෙමු. සුවච භාවය ඇති කරගනිමු. එසේය මහණෙනි, ඔබ හික්මිය යුත්තේ….”

මහණෙනි, අනුන් ඔබට කථා කරන විට පස් ආකාරයකින් කතා කිරීමට පුළුවන. ඔවුන් සුදුසු කාලයෙහි හෝ නුසුදුසු කාලයෙහි හෝ යමක් කිව හැකිය. ඔවුන්ගේ කථාව සත්‍ය හෝ අසත්‍ය විය හැකිය. මෘදු හෝ පරුෂ විය හැකිය. යහපත පිණිස විය හැකිය. නැතහොත් අයහපත පිණිස විය හැකිය. මෙත් සිතින් විය හැකිය. නැතහොත් ද්වේශ සහගත සිතින් විය හැකිය. අනුන් ඔබට සුදුසු කාලයෙහි කථා කළත් නුසුදුසු කාලයෙහි කථා කළත්, සත්‍ය දෙය කීවත් අසත්‍ය දෙය කීවත්, මෘදු වචන කීවත් රළු වචන කීවත්, යහපත පිණිස කීවත් අයහපත පිණිස කීවත්, මෙත් සිතින් කථා කළත් ද්වේශ සිතින් කථා කළත් අප සිත වෙනස් වීමට ඉඩ නොදෙමු. අපි නපුරු වචන නොකියමු. අපි මෙත් සිතින් යුතුව, ද්වේශයෙන් තොරව සිටිමු. ඒ පුද්ගලයා කෙරෙහිද මෙත් සිත පතුරුවමු. ඔහුගෙන් පටන්ගෙන මහත් වූ උදාර වූ, අප්‍රමාණ වූ මෛත්‍රී සහගත සිත සියලු සත්ව ලෝකයා කෙරෙහි ම පතුරුවන්නෙමු. මහණෙනි, ඔබ හික්මිය යුත්තේ එලෙසය.

පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *