ඉපදෙන්නේ ඇයි?

ඉපදෙන්නේ ඇයි?

සත්වයා විසින් පංච ඉන්ද්‍රියන් සහිත කය සතුටු කරවන්න, සන්තර්පණය කරන්න උත්සාහ ගත් නිසා සංසාර මේඝයට හසු වී ගමන් කරන්න සිදු වී ඇත. මේ තෘෂ්ණා නැමති ආශාවන් පසු පස හඹා යන සත්වයා නිමක් නැති දුක් ගොන්නක් කර ගසා ගෙන නැවත නැවත භවයන් සකස් කර ගනිමින් තිස් එක තල වලම සැරිසරයි… දිව්‍ය තල, බ්‍රහ්ම තල හා සතර අපාය, මනුෂ්‍ය ලෝකය තුළ පොදි බැද ගත් ආශාවන් ඉටු කර ගැනීම සදහා උපත ලබමින් එසේ ලබා ගත් ජීවීතයට අනුව විපාක විදින්නටද කර්මානුරූපකව සිදු වේ…

දිව්‍ය ලෝකයේ ඉන්න සත්වයා සකසා ගන්නා පුණ්‍ය මහිමයෙන් ලබාගත් සැපත කියන සතුට නිමවන කල් එහි කාලය ගෙවයි. බ්‍රහ්ම ලෝකයේ ගිය යමෙක් සිතේ ඇති කරගත් සමාධිය තුළ ඇති වූ ප්‍රීතියත් සතුටත් නිසා පළමුවන, දෙවන, තෙවන හා සිව්වන ධ්‍යාන බලයෙන් යටපත් කරගත් අකුසල් නැවත මතුවන තුරු බ්‍රහ්ම තල වල සුවයක් ලබමින් සිටිනු ඇත. තිරිසන් බවයක් ගත් සත්වයා සකක් කර ගත් පාපයට අනුව කර්ම ගෙවමින් ජීවත්වේ. අසුර ලෝකයේ ඉපදෙන සත්වයා වෛරයෙන්, ක්‍රෝධයෙන්, යක්ෂ භූත දරුණු කුම්භාණ්ඩව ඉපදී පව් ගෙවයි… නිරයට වැටුණු සත්වයා දස වද වේදනා විදිමින් ගින්දර කකා බිබී පව් ගෙවයි… මිනිසත් භවය ලැබූ යමෙක් පෙර භවයෙන් ගෙනා ආශාවන් ඉෂ්ඨ කරගැනීම පසෙකට දමා පවතින ජීවීතය තුළ තව තවත් ආශාවන් එකතු කර ගැනීමට රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් මුලා වෙමින් මම කියන හැගීමෙන් ක‍ය සතුටු කරවන්න නොයෙක් නොයෙක් වැරදි ආකාරයෙන් සිතමින් ක්‍රියා කරමින් ගත කරයි…

නිදිවරා ගෙන රාත්‍රී කාලයේ නිදි යහනේදී සිතිවිලි අවුලවා දුම් දමයි… දවල් කාලයේදී ගිණි ගනිමින් උමතුවෙන් වෙහෙසෙන මිනිස් ගති ලැබූ සත්වයා ලෝභ, ද්වේශ, මෝහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාමාන්න වලින් මත් වෙමින් සංතර්පණය කරන මමයා වෙනුවෙන් එකතු කරගත් වස්තුව ධනය තුළ දුකට පත්වන බීජයක්  හැර සැපතට පත්වන බීජයක් නම් නැත…

ලෝක ධර්මතාවයට අනුව ඉපදෙන සත්වයා මරණයට පත් වීම සත්‍යයක්… නමුත් මේ මැරෙණ ඉපදෙන සත්වයා නැවත මේ තිස් එකක් වූ භූමි තුළම ප්‍රතිසන්ධිය ලබන්නේමය. නමුත් මිනිසත් බව ලැබූ පුද්ගලයාට ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් ඉවත් වී කරුණාව මෛත්‍රිය ත්‍යාග ගුණය තමන් ලග පුරුදු කරගෙන කර්ම රැස් නොකර කුසල් වැඩෙන ආකාරයට ජීවත් වන්නට හැකියාව ඇත.

ගුණයෙන් පිරි ගුණවත් බවින් ජීවත් වූ කෙනෙක් මරණයට බය නොවේ… ඔහුගේ ජීවිතය තුළ වැරදි සිතිවිලි පහළ කර නොගත් හෙයින් ඔහුට මරණයට සතුටින් මුහුණ දීමේ ශක්තියක් ඇත. ඔහුගේ ජීවිතයේ ඇති කරගත් කුසල් බලෙන් සිත සමාධිය කරා ගමන් කරමින් ධ්‍යාන සිත් තුළ වැඩුණා වූ නිවීමේ ගුණය තුළින් පංච අභිඥා වඩා මග ඵල හා නිවන අරමුණු කරමින් ප්‍රාර්ථනා බෝධියට අනුව නැවත නැවත ඉපදීමේ හේතුව මුලිනුපුටා දමයි… භවය කෙළවර කරයි…

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *