ඉපදෙන්නට හේතු සොයමු… විදවන්නේ ඇයි දැනගමු !

ඉපදෙන්නට හේතු සොයමු

අගක් මුලක් නොපෙනෙන භව සංසාරය දුකෙහි ගිලෙමින් කෙලෙස් විපාකයෙන් තැවි තැවී එහිම ගැලෙනා මිනිස් සිත උතුම් අවබෝධතා නුවණින් පෝෂණය වන්නේ නම් මේ නොපෙනෙනා විශ්ව යථාර්තය අවබෝධ කරගත හැකිමය. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරමින් අප මහ බෝසතාණෝ උතුම් බුදු පදවිය ලබමින් පුද්ගලයා සසර බැද තබන දම්වැලෙහි බැද තබන දම්වැලෙහි පුරුකක් පුරුකක් ගානේ අවබෝධ කරගනිමින් දේශනා කළ සේක.

මෝහය තුළ පසිදුරන් සංතර්පනය කරමින් එහි මොහොතක ආශ්වාදයක පැටලී සිටින මිනිස් සිත් බැද දමා ඇති මේ දම් වැල අවබෝධ කර ගැනීම උතුම් නිවන පසක් කර ගැනීමට මහත්ම රුකුලකි.

  • අවිද්‍යාව නිසා – සංස්කාර පහළ වේ.
  • සංස්කාර නිසා – විඥ්ඥානය පහළ වේ.
  • විඥ්ඥානය නිසා – නාමරූප පහළ වේ.
  • නාමරූප නිසා – සලායතන පහළ වේ.
  • සලායතන නිසා – ස්පර්ශ පහළ වේ.
  • ස්පර්ශ නිසා – වේදනාව පහළ වේ.
  • වේදනාව නිසා – තෘෂ්ණාව පහළ වේ.
  • තෘෂ්ණාව නිසා – උපාදාන පහළ වේ.
  • උපාදානය නිසා – භවය පහළ වේ.
  • භවය නිසා – ඉපදීම ඇතිවේ.
  • ඉපදීම නිසා – ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ඇති වේ.
  • අවිද්‍යාව නිසා – සංස්කාර පහළ වේ.

චතුරාර්‍ය සත්‍ය පිළිබදව නිවැරදි අවබෝධයක් නොමැති වීම අවිද්‍යාවයි. එනම් දුක හා දුක ඇති වීමත් සැපය හා නියම සැපය ලබා ගැනීමේ මාර්ගය නොදැනීමයි. තවත් ආකාරයකින් විමසුවහොත් දුක, දුක ඇති වීම, දුක නැතිකර ගැනීම, හා දුක නැති කර ගැනීමේ මාර්ගය නොදැකමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥානය යන උපාදානස්කන්ධයන්හි ඇති වීමට බලපාන්නා වූ තෘෂ්ණාව තුළ ඇතිවන අවිද්‍යාව නිසා මිනිස් සත්වයා සසර ඇලෙයි. ඒ නිසාම මිනිස් සත්වයා පින් පව් නැමති සසර බැද තබා ගන්නා දායාද එකතු කර ගනී. පින් රැස් කර ගනිමින් දෙව් මිනිස් තල තුළ දුක සැප විදීමත් පව් රැස්කර ගැනීම තුළ නරක තිරිසන් අපාය තුළ දුක් විදියි. පින් පව් හේතුවෙන් තව තවත් සසර දික්වන බව වටහා ගැනීම කාහටත් නිවැරදි මග දැක ගැනීමට පහසු කරයි.

සංස්කාර නිසා – විඥ්ඥානය පහළ වේ.

ඉහත දැක්වූ කුසලා කුසල කර්මයන් (පින්/පව්) නිසා සසර ගමන කළමණාකරණය වේ. එය මේ අයුරිනි.

  1. පුඤ්ඤාහි සංඛාර
  2. අපුඤ්ඤාහි සංඛාර
  3. ආඤේජාහි සංඛාර

 

  1. පුඤ්ඤාහි සංඛාර

දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම තුළ සිත් හි ඇතිවන චේතනා ශක්තියයි. එම කුසල කර්ම තුළ ඇතිවන ක්‍රියා චින්තයයි.

  1. අපුඤ්ඤාහි සංඛාර

දශ අකුසලයන් තුළ ඇතිවන ක්‍රියා චින්තනයයි.

  1. ආඤේජාහි සංඛාර

සිතින් කයින් වචනයෙන් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, සිදුකරන අවස්ථාවක් තුළ ඇතිවන ක්‍රියා චිත්තය හඹා යන අරූපාවචර අකුසල් සිත් තුළ ඇතිවන ධ්‍යාන ශක්තියයි. මේ අයුරින් ඇතිවන චිත්ත ක්‍රියාංගය ප්‍රතිසන්ධි විඥ්ඥානය වේ. එනම් අකුසල් සිත් තුළ සසර අපායන් කුසල් සිත් තුළ දෙව් මිනිස් සම්පත්තියත් රූපාවචර විපාක සිත් තුළ රූපී බ්‍රහ්ම තල වලත් අරූපාවචර සිත් තුළ අරූප බ්‍රහ්ම තල වලත් ප්‍රතිසන්ධිය ඇතිවේ.

 

විඥ්ඥානය නිසා – නාමරූප පහළ වේ.

මෙසේ ඇතිවන ප්‍රතිසන්ධි විඥ්ඥානය නිසා වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධ 3 සමග රූපස්කන්ධ පහළ වේ.

මිනිස් ලොව සත්වයන්ට පංචස්කන්ධයක්ද අසඥසත්වයින්ට රූපය පමණක්ද අරූපී බ්‍රහ්මයින්ට වේදනා, සංඥා, සංස්කාර, විඥ්ඥානය යන ස්කන්ධ 4ද ලැබේ.

 

නාමරූප නිසා – සලායතන පහළ වේ.

නාම රූප ඇති හෙයින් දෙව් මිනිස් ලොව තුළ සත්වයින්ට ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යන ආයතන ඇතිවෙයි.

රූපාවචර බ්‍රහ්ම ලෝකය තුළ ඇස, කන, නාසය, මනස පමණක් ඇතිව උපදි. අනික් ආයතන තිබුණත් එහි ප්‍රසාද රූපයක් නොමැත.

 

නාමරූප නිසා – සලායතන පහළ වේ.

ඇස, කන, නාසය, දිව, ශරීරය මනස තුළ බාහිර ප්‍රපංචයන් අරමුණු වීමෙන් ඒ තුළ ගැටීම් ලෙස ස්පර්ශය ඇතිවේ.

 

ස්පර්ශ නිසා – වේදනාව පහළ වේ.

ඇසට පෙනීමෙන්, කනට ඇසීමෙන්, නාසයට ගද සුවදත්, දිවට රසයත්, ශරීරයට ස්පර්ශයත් සිතට සිතිවිලිත් ඇතිවෙමින් එම අරමුණු ස්පර්ශ වන විට ඇතිවන විඥ්ඥානය තුළ යහපත් දෙයක් ස්පර්ශ වූයේ නම් සුඛ වේදනාවක් හෝ අයහපත් දෙයක් ස්පර්ශ වන විට දුක්ඛ වේදනාවක් ලෙස ඇතිවේ. මැදහත් වේදනාව තුළ දුක හෝ සැපය හදුනාගත නොහැක. ඇතැම් විට දෙකම විදියි.

 

වේදනාව නිසා – තෘෂ්ණාව පහළ වේ.

පසිදුරන් තුළ විදීම කලින් පරිදි සුඛ, දුක්ඛ හා උපේක්ෂා යනුවෙන් ත්‍රිවිධය. සැප සිතිවිල්ලක් තුළ තව තවත් ඇලෙයි. දුක් ඇති විට වහා ඉවත් වීමට තතනයි. මධ්‍යස්ථ වන විට එයද ලැබුන නිසා අත නොහරී. මෙසේ ඇති කරගන්නා ක්‍රියාදාමය කුමන අයුරකින් විමසුවත් තෘෂ්ණාවකි. මේ අනුව තණ්හාව පහල වීමට වේදනාවත් මේ වේදනාව තුළ ගැලෙන්නේ අවිද්‍යාව නිසාම බවත් පැහැදිලිව අවබෝධ කරගත හැකිය.

 

තෘෂ්ණාව නිසා – උපාදාන පහළ වේ.

මෙසේ පසිදුරන් සැප, දුක් හෝ මධ්‍යස්ථ ලෙස ගනිමින් තමාගේ හෝ බාහිර හේතූන් තුළ කලම්බා ගන්නා සිත තණ්හාවෙන් පිරෙයි. තණ්හාව යනු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ආශාවන් ය. මෙහි ඉටු කර ගැනීමට නොහැකි වූ ඉටුකර ගැනීමට නම් නැවත ප්‍රතිසන්ධි භවයක් අවශ්‍යම වෙයි. එබැවින් නැවත භවයක් අල්ලා ගනී. එය උපාදානයයි.

 

උපාදානය නිසා – භවය පහළ වේ.

සිතෙහි, කයෙහි, වචනයෙහි අසමතුලිත මිනිස් සත්වයා තමන්ගේ තෘෂ්ණාව සමබර ගැනීමට නොහැකිව ඉටු කර ගත යුතු ආශාවන් සිත තුළ පොදි බදිද්දී යටි සිතෙහි එනම් ප්‍රතිසන්ධි සිතෙහි වගකීම, එය ඉෂ්ඨ කර දීමටයි. ඒ නිසාම එයට සමානරූපී වූ උපාදානස්කන්ධයක හිමිකරුවෙකු වීමට ප්‍රතිසන්ධි සිත භවයක් ගනී. ඒ තුළ ” මම ” ඇතිවේ.

 

භවය නිසා – ඉපදීම ඇතිවේ.

මේ ආකාරයට උපත සැලසුම් කරගන්නා ප්‍රතිසන්ධි චිත්තය කුමන හැඩ රුවක, කුමන ලතාවකට තාලයකට කර්ම ගෙවිය යුතුද යන්න තීරණය කරමින් සත්ව ලෝකය තුළ සත්ව ඒකකය තීරණය කර ගනී. මේ සදහා දිගින් දිගටම රැස් කරගත් භාවගාමී කර්ම හේතු වේ.

 

ඉපදීම නිසා – ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ඇති වේ

දැන් සිතන්න….. ඔබ ඉපදී ඇත. ඒ නිසාම ඔබගේ උපත, පැවතීම හා මරණය දක්වාම සුභදායකද? නැහැ නේද? සැමවිටම දුකකි, වේදනාවකි. කය ගැන සිතුවත් දුකයි. රෝගයට ආකරය, සිත ගැන සිතුවත් දුකකි, පීඩාවට ආකරයකි. සිදුකළ යුත්තේ කුමක්ද?…..

ශරීරයෙන් ශරීරයට, භවයෙන් භවයට යන්නා වූ මේ ප්‍රතිසන්ධි සිතෙහි භවගාමී කෙලෙස් ක්ෂය කරගනිමින් මේ සසරින් ඉක්මනින් මිදීම නොවේද?

සමන් කංකානම්ගේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *