ගුණය වැඩෙන විලසා – දුමිදු පුදමු මෙලෙසා

ගුණය වැඩෙන විලසා - දුමිදු පුදමු මෙලෙසා

පොහෝ දින සවස සිදු කරන විශේෂිත සද්කාර්යයකි බෝධි පූජාව. එහිදී සෑම දෙනාටමට අල්ලා ගැනීමට නූලක් ලැබේ. නමුත් එකම තැනක බොහෝ පිරිසක් නූල අල්ලා ගෙන සිටින විට ඇතැමෙකුට අවසානයේ නූල් පටක් අහිමි විය හැකිය. නූල අල්ලා ගැනීමට ලැබුණු අවස්ථාවේ සිට සියල්ලන්ගේම සිත නොසන්සුන් වේ. ඔවුන්ගේ අවධානය යොමු වන්නේ පූජාව කෙරෙහි නොව නූ;අ කෙරෙහිය. බහුතරයකටම ඇති ගැටළුව නම් මා දිගින් වැඩි නූල් පටක් ලබාගන්නේ කෙසේද? යන්නයි. එම හැගීමෙන් සිටිනා අයට නූල් පට කඩා ගන්නා තුරු ඉවසිල්ලක් නොමැත. මද වේලාවක් යනවිට ඔබ දෙපස සිටින දෙදෙනා ඔබට නොදැනෙන ලෙස වරින් ඔවුන් දෙසට නූල සෙමෙන් අදී. ඔබගේ සිතේ තරහක් ඇති වී ඔබ ඔවුන්ට බැණ වදී. ඉවසීමක් නැති තවත් අයෙක් පූජාව අවසන් වීමට පෙර නූල කඩා ගනී. අවට සිටින්නෝද ඔවුන්ට බැණ අනුන්ගේ පව් අනුමෝදන් වෙති. තවත් අය තම දෙඅත විහිදුවා දිග වැඩි නූල් පටක අයිතිය ලබා ගැනීමට තෘෂ්ණාධික සිතින් නූල අල්වා ගත් දෙඅත් නොසොල්වා තබා ගන්නේ තම අයිතිය සුරක්ෂිත කර ගැනීමට විය හැකිය. එසේම තමාගේ නූල් පටෙහි ප්‍රමාණය වැඩි කර ගැනීමට ලග සිටින්නා නූලෙන් අත ඉවතට ගන්නා තුරු බලා සිටින අයද සිටිති.

ඇතැමෙක් අනුන්ගේ වත ගොත සොයමින්/ අවට සිරි නරඹමින් නූල දැඩිව අල්වා ගෙන සිටී. එම මොහොතේදී යාබදව සිටින්නාට ඔරවමින්/ ඔවුන් හා කතා කරමින් කල් ගෙවන ඇත්තෝද නැත්තේම නොවේ. ඉතාම සුළු පිරිසකට එකග වූ සිතින් පූජාවට සහභාගී වීමට අවශ්‍ය වුවත් මෙවැනි වාතාවරණයක් මත ඔවුන්ගේ ද සිත පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිමය. නූල් පට කඩා ගන්නා මොහොතේදී ද ඔවුන්ගේ හැසිරීම නියම උවැසි උවසුවකුගේ චර්යාව මොනවට කියා පායී. මේ බහුරූ කෝලම් හමුවේ කලකිරීමට පත් තවත් යහපත් අයෙක් නූල අල්වා ගැනීමටවත් නොපැමිණේ. එය එසේ විය යුතුද නැත. මා හටද ඉහත සියල්ල ගැටලුවක් වී තිබිණි. බෝධි පූජාවට එකග වූ සිතින් සහභාගී වී එහි ආනුභාවය ලබා ගනිමින් මගේ අතට සරිලන ප්‍රමාණයේ නූල් පටක් මා ලබා ගන්නේ කෙසේද යන ගැටළුවට මම විසදුම් සෙවීමි. මෙය මට පමණක් නොව ඔබටද ගැටළුවක් බව මා දනී.

එහෙත් මෙය හොදින් සිහි තබා ගත යුතුය. බෝධි පූජාවේ ආනුභාවය ලබන්නේ කව්රුන්ද? බෝධි පූජා හෝ අටවිසි බුද්ධ පූජා ද්‍රව්‍ය අන් අයට අත ගස්සවා යන පිරිසද? නැතහොත් ඊට අත ගසා එම පිනට දායක වන පිරිසද? මෙම දෙපිරිසම නොවේ. උදෑසන සිට එම මොහොත දක්වාම බෝසත් තුමාගේ මාර්ගෝපදේශනය යටතේ තම තිදොර මෙහෙයවා අවංකව අවබෝධයෙන් සිහියෙන් දහමෙහි හැසිරුණු යමෙක් වේද හෙතෙම බෝධි පූජාව ආරම්භ වූ මොහොතේ සිටම අවසාන මොහොත තෙක්ම තම ඒකාග්‍ර වූ චිත්තය වෙනසකට බදුන් කර නොගනිමින් මහා හැගීමෙන් බෝධි පූජාවට සහභාගී වෙයිද ඔහු ලබා ගන්නා අගලක ප්‍රමාණයේ නූල් කැබැල්ල වඩා මහා ආනුභාව සම්පන්න වේ. බෝධි පූජාවේ ආනුභාවය ලැබීමට ඔහුම සුදුසු වේ. එසේ නම් ඔබ අනෙකා පරයා ලබා ගැනීමට පොර බදන බෝධි පූජාවේ ආනුභාවය රදා පවතින්නේ නූල/ නූලේ ප්‍රමාණය මත නොව තමා තුළ ගොඩනගා ගත්තා වූ ගුණාත්මකභාවය මත බව ඔබට දැන්වත් වැටහේද? එම මොහොතේදී තෘෂ්ණාව, තරහව, වෛරය පෙ‍රදැරි සිතින් ක්‍රියාත්මක වන අය කොතරම් මෝඩද? ඔවුන් එසේ කිරීමෙ අරමුණ මට හොදින්ම වැටහේ. නමුත්, කිව යුතුමය. එසේ සිදු කර ඔබ ලබා ගත් දිගු නූල පටෙහි කිසිදු ආනුභාවය්ක් නොමැත්තා සේම එය තවත් එක් සාමාන්‍ය නූල් පටක් පමණි. එලෙස වැරදි ලෙස ක්‍රියාත්මක වන්නන්ට සමාව දීමේ හැකියාවද ඔවුන් සිදු කරන පව් වලට සම්මාදම් නොවීමේ හැකියාවද යහපත් වූ ඔබ සතුව පවතින බව කිසි විටක අමතක නොකරන්න.

රසවත් කෑමක් සදහා පොරබදන කපුටන් සමූහයක් සැලකුවහොත් ඔවුන්ට ඇත්තේ පොර බැදීම පිළිබද ගැටළුව නොව. තමාට ලැබෙන කෑම ප්‍රමාණය පිළිබද ගැටළුවකි. ශබ්ද නගා ආහාර සදහා පොරබැදීම ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. නමුදු ඔවුන් අතරට පැමිණෙන හංසයකු කුමක් සදහා වුවද කිසිදා ඔවුන් හා පොර බදින්නේ නැත. හංසයාටද එම කෑම ආහාරයට ගැනීමට වුවමනා නම් ඌ ඊට සුදුසු ක්‍රමයක් සොයා එලෙස ක්‍රියාත්මක වේ. තමාට කෑම නොලැබේ යැයි හංසයා පසුගාමී විය යුතු නැත. එම කෑම හංසයාටද හිමිය. හංසයාට ඇත්තේ කෑම ලබා ගැනීමෙ ගැටළුවයි. උසස් ලෙස ආහාරය භුක්ති විදීමේ අවශ්‍යතාව ඇති වන්නේද හංසයාට මිස කපුටන්ට නොවේ.එසේ නම් කෑමකට පොර බදින කපුටෙක් නොවන්න.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *