ගිහිව සිත නිවන් දැකිය හැකිද?

ගිහිව සිත නිවන් දැකිය හැකිද?

බුදු දහමෙහි පරම නිෂ්ඨාව හෙවත් අවසාන බලාපොරොත්තුව නිර්වාණය සාක්ෂාත් කරගැනීම වේ. එය සසර ගමනෙහි කෙළවරය. නිවන සාක්ෂාත් කරගත් උතුමන් යළි පුනර්භවයට නොඑති. දුකෙහි සංසිදීම දුක්ඛ නිරෝධය හෙවත් නිර්වාණය යනුවෙන් එය හදුන්වා තිබේ. එය තෘෂ්ණාක්ෂය වශයෙන්ද නම් කෙරේ. බෞද්ධ විමුක්ති මාර්ගය අනුගමනයට බැසීමේ වයස් සීමාවක් නැත. කුඩා රාහුල කුමාරයාටද එය අනුගමනය කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසුන අතර එකසිය විසි වයස්හි සිටි බ්‍රාහ්මායු පඩිවරයාටද එය අනුගමනය කිරීම ආරම්භ කළ හැකි විය. විමුක්ති මාර්ගය වෙනුවෙන් කැපවී එයම මූලික අරමුණු කොට ගෙන ජීවිතය ඒ වෙනුවෙන්ම මෙහෙය වූ පිරිස පබ්බජිත (පැවිදි) හා ශ්‍රමණ යන නම් වලින් හදුන්වා තිබේ. බුදු සමයෙහි එබදු තැනැත්තා ආර්ය ශ්‍රාවකයා වශයෙන් හදුන්වා ඇති අතර එම පිරිස භික්ෂු, භික්ෂුනී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසගෙන් යුක්ත වන බව බුදුරජාණන් වහන්සේ විඩින් වදාරා තිබේ. කාලයාගේ ඇවෑමෙන් භික්ෂුනී ශාසනය පිරිහී ගොස් භික්ෂු සමාජය පමණක් ඉතිරි විය. බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගන ලද එම ආර්ය සමාජ ව්‍යක්ත විශාරද, විනීත, පරවාදමථනයෙහි සමත් පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු යැයි බුදුරදුන් අපේක්ෂා කළ බව පරිනිර්වාණ සූත්‍රයෙහිලා සදහන් වේ. බෞද්ධ විමුක්ති මා‍ර්ගයෙහි අංශ ද්වයක් පිළිබද විස්තරයක් මජ්ඣිම නිකාය මහාචත්තාරිසක සූත්‍රයෙහි විස්තර වේ. ඒ අනුව විමුක්ති මාර්ගය ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් දෙයාකාරයකින් යුක්තය.

ශ්‍රද්ධාව හා බුද්ධිය ඇති තැනැත්තාට කෙලින්ම ලෝකෝත්තර මාර්ගයට පිවිස එය අනුගමනය කිරීම ආරම්භ කළ හැකිය. එසේම ලෞකික මාර්ගයෙන් ආරම්භ කර අනුක්‍රමයෙන් ලෝකෝත්තර මාර්ගය කරා අවතීර්ණ වීමටද පිළිවන. මෙය වනාහි ගිහිභාවයේ සිටද ආරම්භ කළ හැකි ක්‍රියාමාර්ගයකි. දිනක් බුදුරදුන් බරණැස ඉසිපතනයෙහි වැඩ සිටි අවස්ථාවක එහි පැමිණි ධම්මදින්න උපාසකතුමා ස්වාමීනී, අපට බොහෝ කලක් සුව පිණිස යම් ධර්මයක් ඇතොත් එ‍ය දේශනා කරනු මැනවයි ඉල්ලීමක් කළේය. ධම්මදින්නයෙනි, තෙපි ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර ශුන්‍යතා ධර්මයෙහි හික්මී වාසය කරව් යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ. ස්වාමීනී, අඹුදරු ගැහැට සහිත වූ ගිහිව වසන්නා වූ කසී රට උපන් සදුන් කල්ක පරිභෝග කරන්නා වූ, රන්රිදී පරිහරණය කරන්නා වූ, අපට මේ ගැඹුරු දහමෙහි හික්මීම අපහසුය. පඤ්ච පදයෙහි පිහිටියා වූ අපට ඊට වැඩියෙන් ධර්මයක් දේශනා කරන සේක්වායි ඉල්ලා සිටියේය. එසේනම් තොප සෝතාපත්ති අංග පිරිමෙහිලා වෙහෙස විය යුතු යැයි බුදුහු වදාළහ. ස්වාමීනී, එම අංග අප කෙරෙහි ඇතැයි එවිට ධම්ම දින්නයෝ පිළිතුරු දුන්හ. අඹුදරු ගැහැට සහිත ගිහි ගෙයි වසන්නා වූ ධර්මකාමීන්ට සෝතාපන්නභාවයට පත්ව විසිය හැකි බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වේ. සාරිපුත්තය, මේ “සෝතය” යන්නෙන් කුමක් ප්‍රකාශ කෙරේ දැයි බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන්ගෙන් විමසූහ. ස්වාමීනී, ආර්යඅෂ්ඨාංගික මාර්ගයම සෝතය නම් වන්නේ ‍යැයි සැරියුත් තෙරණුවෝ පිළිතුරු දුන්හ. එසේ නම් සාරිපුත්තය, සෝතාපන්න යනුවෙන් කුමක් අදහස් කෙරේදැයි බුදුහු අනතුරුව විචාළහ. ස්වාමීනී, යමෙක් ආර්යඅෂ්ඨාංගික මාර්ගයෙන් යුක්ත වූවේද, මේ තෙමේ සෝතාපන්න යැයි කියනු ලබන්නේ යැයි උන්වහන්සේ පිළිතුරු දුන්හ. සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තයේ සෝතාපත් අංග සූත්‍රයේ සදහන් වන මෙම විස්තරය අනුව සෝතාපන්න වීම යනු ආර්යඅෂ්ඨාංගික මාර්ගයට බැස අනුගමනය කිරීම බව පැහැදිලි වේ. එය දහම් සෝතයට බැසීම ලෙස හදුන්වා තිබේ.

දහම් සෝතය යන්න පිළිබදව වරක් බුදුරජාණන් වහන්සේ ගෝධ නම් ශාක්‍යයාට කරුණු පැහැදිලි කරමින් ශාක්‍යය, යමෙක් බුදුරදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, ධර්මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තද, නොකැඩුණු, සිදුරු නොවූ, කබර සහිත නොවූ, කැළැල් සහිත නොවූ, නොදොස් වූ ආර්යයන් විසින් ප්‍රශංසා කරන ලද්දා වූ තෘෂ්ණා දෘෂ්ඨීන් විසින් පරාමර්ශණය නොකරන්නා වූ, සමාධිය පිණිස පවත්නා වූ, ආර්යයන් කැමති ශීලයෙන් යුක්ත වූ පුද්ගලයා අපායෙහි නොවැටෙන ස්වභාව ඇති රහත් බවට නියත් වූ මතු මාර්ගත්‍රය (සකෘදාගාමී, අනාගාමී, අරහත්) යන මාර්ගත්‍රය පිහිට කොට ඇති සෝවාන් පුද්ගලයා වන්නේ යැයි බුදුහු වදාළහ.

මෙය අනාථ පිණ්ඩික සූත්‍රයෙහිලා සදහන් වන්නේ ගෘහපතිය යම් තැනක පටන් ආර්යශ්‍රාවකයා යම් භය පසක්, වෛර පසක් සංසිදුනාහු වෙත්ද, සිව්වැදෑරුම් සෝතාපත්ති අංගයන්ගෙන් යුක්ත වූයේද, ඔහු විසින් ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් මනා කොට දක්නා ලද්දේද, මනා ප්‍රතිවේද කරන ලද්දේද ඔහු ක්ෂය කරන ලද නිරය ඇත්තේ වේ. අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තා වූ මතු මාර්ගත්‍රය පිහිට කොට ඇත්තා වූ සෝවාන් වූවෙක් වන්නේ යැයි ප්‍රකාශ කරමින් වදාළහ. නන්දිය, සක්ක සූත්‍රයෙහිලා මෙය තව දුරටත් විස්තර කරන බුදුරජාණන් වහන්සේ නන්දිය, යමෙකුට සෝතාපත්ති අංග සතර සියළු ආකාරයෙන් සම්පූර්ණව නැද්ද මම ඔහු ආර්යන්ගෙන් බාහිර වූ පෘතග්ජන පක්ෂයෙහි සිටියෙකැයි ප්‍රකාශ කරන්නෙමියි සදහන් කළ සේක. මාර්ග ධර්ම අනුගමනයේදී පෘතග්ජන පුද්ගලයා සහ ලෝකෝත්තර පුද්ගලයාගේ වෙනස මේ අනුව පැහැදිලි වේ.

වෛද්‍ය සමන් කංකානම්ගේ

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *