ගෙය නිවහනක් කරගනිමින් නිවනට මාවත සකසා ගමු

ගෙය නිවහනක් කරගනිමින් නිවනට මාවත සකසා ගමු

ගෙය නිවහන යන වචන දෙක ඇස ගැටෙන විට මෙය එකම වචනයක් නොවේද යන්න බොහෝ අදහස් උදහස් පහළ වූවත් ධර්ම විභාගයන්හි නිරතුරුවම යෙදී සිටින පිරිසට මෙය ගැටළුවක් නොවනු ඇත. ගෙය නිවහන එකම අරුතක්ද? ගෙය නම් බාහිර සම්පතකි. ගෙය ඵලදායි එකක් වන්නේ එය සුදුසු ලෙස වාසයට උචිත තැනක් කරගැනීමෙනි. ගෙය තැනීම අප විසින් ම කරන්නක් නොවේ. විවිධ ශිල්පීන්ගේ එකතුවෙන් එය සිදු කරයි. නිවහන නම් එසේ නොවේ. එය අප විසින්ම තැනිය යුතුයි. කව්රුන් හෝ සාදන ගෙය අප විසින්ම නිවහනක් කරගත යුතුවෙයි. ගෙයක් තුළ අයට අවශ්‍ය බඩු බාහිරාදිය තැන්පත් වී ඇත. එහෙත් නිවහනක් තුළ රැදී ඇත්තේ සතුට, සොම්නස, විශ්වාසය, නීරෝගීකම, සාමය යන ගුණයන් ය. අපගේ ප්‍රධාන පරමාර්ථය වූ නිවන ලබා ගැනීමට නම් මුල් අඩිතාලම දැමිය යුත්තේ කුඩාම සමාජ ඒකකය වූ පවුල් පරිසරය තුළිනි. පවුල තුළ අවුල් සහගත බවක් පවතින්නේ නම් එය සිදුවන්නේ අධ්‍යාත්මික ගුණයන්ගේ පිරිහීම් තුළිනි. එවන් පුද්ගලයන්ට නිවන් මාර්ගයට පිවිසීම අසීරු කරුණක් විය හැකියි.

නිවනක් අපගේ සසර ගමන කෙළවර වූවත් ඒ පිළිබදව නොයෙකුත් දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබුණත් අපට එක්වරම නිවන් ලබා ගැනීමට නොහැකි බව අපි දනිමු. මේ සදහා ක්‍රමවත් නොබිදුණු ක්‍රියාමාර්ගයක් අනුගමනය  කරමින් දිගින් දිගටම ගමන්කළ යුතු වෙයි. මනුෂ්‍යයින් වශයෙන් අපට ජීවත් වීමට වාසස්ථානයක් අවශ්‍යවෙයි. මේ නිසා පුද්ගලයන් තම තමන්ගේ හැකියාවන් අනුව නොයෙකුත් ආකාරයට ආරක්ෂාව, සැප පහසුව සැලසෙන පරිදි වාසස්ථාන ගොඩ නගා ගනියි. එය විවිධ වූත්, අලංකාර වූත් සැප පහසුව සලසන්නා වූත් බඩු බාහිරාදිය ඒකරාශී වී ඇත. එහෙත් භෞතික සම්පත් මිළ මුදලින් පිරි මේ ගෙය තුළ සතුටක් ඇති වීමටත් හැකියි. සතුටක් නැතිවීමටත් හැකියි. මිල මුදල් වලින් පමණක්ම ලෞකික ජීවිතයේ සතුට රදා නොපවතී. ගෙය තුළ සතුට සොම්නස සහනය ඇතිවන්නේ එය නිවහනක් වූවොත් පමණි. ගුණධර්මයන්ගෙන් යුත් සිතක් තුළ පමණයි සතුට සොම්නස රදා පවතින්නේ. “ආරෝග්‍යා පරමාලාභා – සන්තුට්ඨි පරමං ධනං – විශ්වාසා පරමා ඥාති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ, උතුම්ම ලාභය වූ නීරෝගීකම, උතුම්ම ධනය වූ සතුට උතුම්ම ඥාතියා වූ විශ්වාසය, ගෙයක් තුළ රැදී ඇත්නම් පමණයි එය නිවහනක් වන්නේ. එසේ නම් අප මේවා ගෙයක් තුළ රැදී තිබේදැයි බැලිය යුතුය.

විශාල ගෙවල් දොරවල්, යාන වාහන, දැසි දස්සන් අඩුවක් නැති සැප සම්පත් පිරී ඇති මේ වාසස්ථානය නිවහනක් යැයි කිව හැකිද? බාහිර පෙනුම සිත් ගත්තක් අභ්‍යන්තර ආරවුල් ගැටළු ප්‍රශ්නවලින් පිරී ඇත. ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ගේ පිරිහීමට හේතුවයි. ජීවිතයේ කිසිම සතුටක් නැත. මිල මුදල් සැප සම්පත් තිබුණත් දැනුම අවබෝධය අහිමි වීම ප්‍රශ්න ගැටළු ඇති වීමට හේතු වී ඇත. සතුට, සාමය, සොම්නස, විශ්වාසය, නීරෝගීකම නිරතුරුව ගෙයක් තුළ රැදී තිබීම අතවශ්‍යයි. පවුලේ සාමාජිකයන් තුළ අවිශ්වාසය. අසහනය අසතුටු බව අසමගිය රැදී ඇත්නම් කිසි දිනක නිවන් මාර්ගයට අවතීර්ණ වීමට නොහැකි වනු ඇත. මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන පුද්ගලයන්ට මෝහයෙන් අයින් වීමට නොහැක. මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත සිද්ධීන් සමග ගැටෙමින් සිත අවුලෙන් පත්කරවා ගන්නවා හැරෙන්නට සසර දුක පිළිබදවත් එයට හේතුව පිළිබදවත් එයින් මිදිය යුතුයි යන අදහසක්වත් ඔවුනට නොහැගෙයි. දුකේම ඇලී ගැලී කෙසේ හෝ කුමක් හෝ කර හෝ බඩවියත රැක ගනිමින් දුකින් පීඩාවෙන්ම දවසින් දවස ගෙවා දමනවා හැරෙන්නට වෙනත් කළ යුතු දෙයක් පිළිබදව ඔවුන්ට කල්පනා නොවෙයි. සිත් පහල නොවෙයි. අන්ධකාරයෙන් අන්ධකාරයටම ගමන් කරනවා මිස ආලෝකයක් දැකීමට මගක් නැත.

මිල මුදල් නැති පුද්ගලයින් ඒවා ලැබීමෙන් තාවකාලිකව හෝ යම් සතුටක් ලබයිද? ඒ මුදල්ම තවත් අයෙකුට ප්‍රශ්න ගැටළු ඇතිකරයි. ධනය තිබුණත් ඒවායේ පාලනයක් නැත. ජීවත් විය යුත්තේ කෙසේ දැයි නොදනී. මුදල් අනිසි ලෙස විය පැහැදම් කරයි. කෑම බීම අනිසි ලෙස ගැනීම නිසා රෝගාබාධයන්ට නිතර නිතර ලක්වෙයි. සමහර විට ජීවිතාන්තය දක්වා දුක් පීඩා ගෙන දෙන රෝගාබාධ ඇති කරයි. බොහෝ මුදල් හිමියන් සුරාවට සූදුවට ඇබ්බැහි වී ඇති පිරිසකි. මේ නිසා මුදල් නාස්තිය මෙන්ම රෝගාබාධ ඇති වී නීරෝගීකම නැති වී යයි. සුරාලෝලයන් බොහෝවිට ස්ත්‍රී ලෝලයන් වනු ඇත. බොහෝ ධන සැප සම්පත් වලින් අනූන වූ අය ඒවාට කර කියා ගත හැකි දෙයක් නොමැති වූ විට පරදාර සේවනයෙහි යෙදෙමින් විනෝදකාමී ජීවිත ගත කරමින් තමන්ගේ මුදල් විනාශ කර ගනී. එසේම විවිධ රෝග පීඩාවලට ගොදුරු වෙමින් අකාලයේ මිය යයි.

ඔවුන් සහ පවුල අතර සම්බන්ධතාවය ඉතාමත් අඩුය. ගෙදර ළමයි හා බිරිද සිරගෙයක සිටින්නාක් මෙන් බිත්ති හතරට කොටුවී සිටියි. කෑමබීම ඇදුම් පැළදුම් අවශ්‍යතාවලින් සම්පූර්ණ වුවද සිතෙහි සතුට සොම්නස නොමැත. උදයේ නිවසින් පිටවූ ගෙහිමියා රාත්‍රියට ගෙදර එන්නේ බීමත්වය. සිහිකල්පනාව නැත. සමහර අය අමනුෂ්‍යන් වැනිය. බිරිද දරුවන් නොරුස්සන්නෙකි. කුමන හෝ වැරැද්දක් ඇද ගනිමින් කලකෝලාහල කරයි. ළමයි බියෙන් මුළු ගැන්වෙයි. හැම දිනයක්ම ගෙවෙන්නේ මේ ආකාරයටයි. ස්වාමියා වෙනත් ස්ත්‍රීන් සමග සතුටු වෙයි. සමහර බිරින්දෑවරුද වෙනත් පුරුෂයන් සමග සම්බන්ධකම් පවතී. ඔවුනොවුන් අතර විශ්වාසය තුරන් වී ඇත. බිරිද හා ස්වාමියා තර නිතර නිතර බහින් බස් වීම් සිදු වී ගැටුම් ඇතිවේ. උතුම්ම ඥාතියා ලෙස බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ විශ්වාසයයි. ඔවුන් තුළ එය නැත. සාමය, සතුට, සොම්නස පළා ගොසිනි. දූ දරුවන්ගේ කටයුතු කෙරෙහිද මෙය බලපායි. කොයි තරම් සැප සම්පත් තිබුණත් ඒවායින් වැඩක් නැත. ගෙදරත් අපායක් වනු ඇත. නිවස අභ්‍යන්තරයේ සිදුවන කිසි දෙයක් එම පුද්ගලයන් විසින් සමාජයට නොපෙන්වනු ඇත. කොපමණ සැප සම්පත් මිල මුදල් තිබුණත් ඒවාට සතුට සාමය, සතුට, විශ්වාසය, නීරෝගීකම රැක ගැනීමට හැකියාවක් නැත. අවබෝධයෙන් ගුණධර්මවලින් පිරිහීම නිසා වටිනා ජීවිත විනාශ කර ගනී.

නීරෝගීකම මිල මුදල්වලට ගැනිය නොහැකිය. එය අප විසින්ම ඇතිකර ගත යුතුයි. නිතරම සතුටින් ඉන්නා පුද්ගලයින් නීරෝගී වෙයි. සතුටින් ජීවත් වීමට ගෙදර පරිසරය වටපිටාව හොදින් සැකසී තිබිය යුතුයි. සතුටින් සිටින පුද්ගලයන්ගේ රුධිර ධාතුව පිරිසිදුව පැවතීම රෝගාබාධ අඩුවීමට හේතුවකි. මිල මුදල් සැප සම්පත් තිබුණත් රෝගියකු නම් එම පුද්ගලයාට සතුටින් සිටීමට හැකිද? සැප සම්පත් වලින් ඔහුට ඇති වැඩක් නැත. කලකිරුණු පසුතැවිලි සිතකින් බෙහෙත් ඖෂධ පානය කරමින් ජීවිතය ගත කිරීමට සිදුවෙයි. එසේම අතත් කකුලත් කැඩී ඇත්නම් වෙනත් ආබාධයකින් යුක්ත නම් ඔවුන් හට සතුටක් නැත. දුක පීඩාව පමණි.

අද සමාජයේ ජීවත් වන බොහෝ පිරිස් හා ගෙවල් අතර ඇති සම්බන්ධතාවය බොහෝ දුරට ගිලිහී ඇත. දවසේ පැය 24න් පැය 8ක් 9ක් රැකියා කරන ස්ථාන වලද තවත් පැයක් දෙකක් බස් නැවතුම් වල බස් රථ දුම්රිය මැදිරි වලද තවත් කාලයක් යහළු මිත්‍ර ආදීන් සමග මත්පැන් හල් වලද ගත කරයි. දවසේ පැය කිහිපයක් පමණක් නිවස තුළ රැදෙයි. ඒ කාල සීමාව තුළද පවුලේ සාමජිකයින්ගේ සතුට වෙනුවෙන් යොදවනවාද යන්න සැක සහිතය. කිසිම කථාබහක් නැත. ගෙදර සිටින්නේ අමුත්තන් සේය. ඔවුනොවුන් ට අයත් රාජකාරිය කරනවා මිස සතුටු බවක් සුහද බවක් පෙනෙන්නට නැත. ජීවත් වනවාට ජීවත් වනවා මිස ජීවිතය පිළිබද කිසිම අවබෝධයක් ඔවුන් තුළ නැත.

ගෙයක් නිවහනක් විය යුත්තේ මේ හේතූන් නිසාය. ගෙයක් තිබූ පමණින් එහි සාමාජික‍යන් සිටි පමණින් වස්තු සම්භාරයක් තිබූ පමණින් එය වාසයට උචිත තැනක් නොවේ. මේ තුළ සතුට, සොම්නස, සාමය, විශ්වාසය, නීරෝගී බව නිරන්තරයෙන් ම රැදී තැබිය යුතුය. අසහනකාරී පීඩාකාරී ජීවිත වලින් මිදිය යුතුයි. එවන් පරිසරයක් ඇතිකර ගතහොත් පමණි. පරලොව ජීවිතයන්ගේ යහපත පිළිබදවත් සිත් සතන් යොමුකළ හැක්කේ පුණ්‍ය භූමියකට ගියද මෙවැනි වාතාවරණයක් තුළ රැදී සිටින පුද්ගලයන් ට සිත ඒ සදහා හසුරුවා ගැනීමට අපහසුය.

නිවන් දැකීමට අපේක්ෂා කරන සියලු දෙනාම ගෙය නිවහනක් කර ගනිමින් ලෞකික ජීවිතය සාර්ථක කර ගනිමින් නිවන සදහා මාවත සලසා ගත යුතුය.

එස්. එච්. ශ්‍රියාලතා.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *