අනාදිමත් කාලයක් තිස්සේ අපේ රටේ පැවති සමාජ ක්‍රමය බෞද්ධ ධර්මය විසින් මෙහෙයවන ලද්දකි. එනිසාම අපේ සිතුම් පැතුම් මෙන්ම කතා බහටද නිතර දෙවේලේ මෙම බෞද්ධ ආකල්ප මුසුව පවතී. කිසියම් කෙනෙකුගේ ජීවිතයට සම්බන්ධ දුක්ඛදායක සිදුවීමකදී අපේ පැරැණ්නෝ “ඒ ඉතින් එයා ලබා උපන් හැටි තමයි” යනුවෙන් කීමට පුරුදුව සිටියහ. මේ කියමන ඉතා හොදින් විමර්ශනයට ලක් කර බැලුවහොත් එයින් අදහස් වන්නේ කුමක්ද? ඒ අත්දැකීමට සම්බන්ධ පුද්ගලයා හෝ සිද්ධිය සම්බන්ධයෙන් හැඩීමක්, වැළපීමක්, අනුන්ගේ දුක බෙදා ගැනීමක්, තමන්ද දුකට බැස ගැනීමක්, ඒ වචන තුළ නැත. ඒ සිද්ධියෙහි යථාර්තය දෙස ධර්මානුකූල වූ දැකීමක් ප්‍රකාශ වූ සැටියක් මෙහි පෙනේ. කුමක්ද ඒ දැකීම? කෙනෙකු උපතින් ලබා ගෙන ආ කර්ම ශක්තිය අනුව මෙය ආකාර සිදුවීමකට මුහුණපා ඇති බවයි. කර්ම විපාක පිළිගන්නා පුනර්භවය පිළිගන්නා නිවරදි බෞද්ධ සිතිවිලි රටාවකින් පෝෂණය වූ කෙනෙකුගේ ප්‍රකාශනයක් මෙහිදී මතු වී පෙනේ.පෙර කරන ලද කුසලාකුසල කර්ම මත පුනර්භවයක් හෙවත් උපතක් සිදුවන බවත් එසේ උපන් සත්වයාගේ උපතට හේතු වූ කර්ම වේගයට අනුව යහපත් හෝ අයහපත් විපාක විදිනබව අවබෝධයෙන් පිලිගැනීම නිසා මෙසේ නිතැතින්ම “ලබා උපන් හැටි” යන අදහස මතුවී ගනී.
ඉහත සදහන් ව්‍යවහාරයේ ඇති වැදගත්කම කුමක්ද? එකී වචන ප්‍රකාශ කරන්නට අරමුණු වූ දුක්ඛදායක සිදුවීම අසන දකින පුද්ගලයා ඒ සිද්ධියෙන් කම්පා වූයේ නැත. අනුන්ගේ දුක තමා විසින් අල්ලා ගත්තේද නැත. ශෝක වූවේද නැත. හැඩීම් වැළපීම් වෙනුවට ජීවිතය පිළිබදව යථාර්තය සිහියට නගා ගනියි. එසේ යථාර්තය සිහියට නගා ගැනීම සංවේගය වශයෙන් අප ධර්මයේදී හදුන්වමු. බෞද්ධ සිතුම් පැතුම් ඇති කෙනෙකු තුළ මෙබදු අවස්ථාවකදී ඇතිවිය යුත්තේ ශෝකය නොව සංවේගයට පත් වීමයි. අදාළ කාරණය සම්බන්ධයෙන් ජාති, ජරා, මරණාදී ධර්මයන් හෝ කුසල අකුසල කර්ම විපාක ආදිය ගැන හෝ නුවණින් සිහි කර ගැනීම, සිහිය පිහිටුවා ගැනීම, සංවේගයට පත් වීමේ ප්‍ර්‍රායෝගික ස්වභාවයයි. අවමංගල්‍ය අවස්ථා වලදී සිදු කරන”බැනර්” නම් වූ ලිඛිත ප්‍රකාශන වලදී “අපගේ බලවත් ශෝකය” යන්න නිවැරදි නොවන බවත් අපගේ බලවත් සංවේගය යන්නම ඊට යෝග්‍ය බවත් මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමි.
බුදුවරයෙකුගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම, පළමු දම්සක් පැවැත්වීම හා පිරිණිවීම යන සිදුවීම් සිදු වූ ස්ථාන දැක ගැනීමෙන් සංවේග උපදවා ගැනීමට සුදුසු ස්ථාන වශයෙන් බුදුන් වහන්සේ විසින් හදුන්වා දී ඇත්තේද සංවේගය යහපත් ධර්මතාවයක් වන හෙයිනි. මාගේ ශාස්තෘන්වහන්සේය යන හැගීම මුල් කොට ගත් බලවත් ශ්‍රද්ධාව සමග උන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට අනුවද (අනිත්‍ය,දුක්ඛ, අනාත්මාදී) සිතුවිලි උපදවා ගැනීමක් මෙයින් අපේක්ෂා කෙරෙයි. එහිදී සංවේගය කුසල පක්ෂයට නැඹුරු වූවක්ම වෙයි.
සත්වයෝ මනුෂ්‍ය හෝ තිරිසන්, ප්‍රේතාදී යෝනින්හි උපදින්නේ කර්මයට අනුවයි. “කම්මස්ස කෝම්හි, කම්ම යෝනි, කම්මබන්ධු, කම්මපටිඝරණෝ, කල්‍යාණංවා, පාපකං වා යං කම්මං කරිස්සාමි, තස්ස දායාදෝ භවිස්සාමිති” මේ බුද්ධ වචනයෙන් ප්‍රකාශ වන්නේ උපන් සත්වයාගේ ජීවිත පිලිවෙල කර්මානුරූපවම සකස් වන බවයි.
උපත කර්මය විසින්ම සකස් වෙයි. කරමය අනුවම උපදින්නේ කවර යෝනියකද? (නරක, තිරිසන්, මනුෂ්‍යයාදී) යන්න තීරණය වෙයි. උපන් සත්වයාට ලගින්ම සිට දුක සැප හදාදෙන ඥාතියාද කර්මයයි. සැප ආදී විදීම් සමූහයට මුල් වෙමින් පිළිසරණ හෝ කර්මයන් සිදු කලේ නම් ඊට ලැබීම් හෙවත් දායාද වශයෙන් සුභ හෝ දුක්ඛ විපාකව ලැබේ. මේ ආකාරයෙන් උපත ලබන සත්වයාගේ ජීවිත පිිළිවෙල සකස්වන්නේද එකී උපත ලබා දුන් ජනක කර්මයාගේ ස්වභාවය මතමය. මෙසේ වූ හේතු ඵල ධර්මය ඇසීමෙන් හා ධාරණය කරගැනීමෙන් හා යලි යලිත් මෙනෙහි කිරීමෙනි. එසේ ලබාගත් අවබෝධය තුළින් ඉහත සදහන් කියමන තවත් විස්තරව ඉදිරිපත් කෙරෙන අවස්ථාවකි.” ලබා උපන් හැටියටයි බබා වැනෙන්නේ”යන්න
බබා වැනෙන්නේ නලවන විටදීය. ආදරබර මව් තුරුලක නැලවෙන්නට, සුවපහස විදින්නට, දරුවෙකු උපත ලැබිය යුත්තේ එබදු සැප ලබා දිය හැකි දෙමාපියන් වෙතය. දරුවෙකු පෝෂණය කිරීමටවත් ශක්තියක් නැති මව් පියන් වෙත උපත ලබාගත් දරුවාට මව් කිරි ටිකවත් නැත.නැලවිලි ගී නැත. දුක සේ හඩා දොඩා ජීවත් විය යුතුය.
මනුෂ්‍යයා පමණක්ද, මේ දහම තිරිසන් සතාටත් දිව්‍ය බ්‍රහ්මාදීන්ටත් පොදුය. මහ මග ගැවසෙන බැල්ලියකට පැටවු රංචුවක් උපන්නේ යැයි සිතන්න. ඒ පැටව් කිසිම හව්හරණක් නැතිව අව්වැසි සුලගින් පීඩා විදිමින්, කුසට අහරක් නැතිව හඩමින් පාර අයිනේ සිටිති.මේ දකින පුර්ෂයෙක් ඔවුන් දෙස බලයි.එකකු කෙට්ටු වුවත් පෙනුම හොද බලු කුක්කෙකු බව දැක ඌ ගෙදර ගෙනයයි. නාවා කවා පොවා සුව පහසු තැනක තබා ආදරයෙන් හදා වඩා ගනී.අනෙක් පැටව් තවමත් දුක සේ කුසට අහරක් නැතුව, අනෙකුත් අයගෙන් පහර කමින්, ඇවිදින ඇට සැකිලි ලෙස හැසිරෙද්දී අර පෙර කී බලු පැටියා සුවසේ වැඩෙන්නේ කර්මානුරූප විපාක විදීමේ අයිතිය නම් වූ ලෝක ධර්මතාවයේ විනිශ්චයට අනුවයි. බැල්ලියක කුස ඉපදීමට තරම් බලවත් අකුසලයකින් එකී ප්‍රතිසන්ධිය ලැබුවත්, පෙර භවයන්හීදී අනුන්ගේ සැප සලකා දානාදී කුසල් කල හෙයින් ආහාරපාන ආදිය ලබමින් අවම දුකකින් ජීවිතය ගෙවීමට අවස්ථාව උදා වී ඇත. බැල්ලියකගේ කුස ඉපදීමට තරම් ඒකාකාර අකුසල් කල හෙයින් සියලු දෙනාම එක්ව එසේ උපත ලැබුවත් එකිනෙකාගෙ ජීවිත පුවතට බලපාන කුසල අකුසල ශක්තීන් වෙනස් වූ හෙයින් මෙසේ එකිනෙකාගේ විදීම්ද වෙනස් වූ හැටි සිතන්න. මේ සියලු දෙනාම ලබා උපන් හැටියට වැනෙන බබාලා” ම වෙති.
එක් අවස්ථාවක මහ මුගලන් තෙරුන් වහන්සේ ලක්ඛණ තෙරුණ් වහන්සේද සමග රජගහ නුවර පිණ්ඩපාතයෙහි වැඩ ගිජුකුළු පවුවෙන් බසිද්දී දුටු දර්ශනයක් බුදුන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළ සේක.
”ගිජුකුළු පව්වෙන් බසින විට මම අහසේ ගමන් කරන ඇටසැකිල්ලක් දුටුවෙමි. අහසේ හැසිරෙන ගිජුලිහිණියෝද කපුටෝද උකුස්සෝද ඒ පසු පස එලවමින් ඇටසැකිල්ලට කොටති.ඇටසැකිලි සත්වයා වේදනාවෙන් කෑගසයි.මට මෙහිදී පුදුම සිතිනි. මෙහෙමත් සතෙක් සිටීද? මෙහෙම යකෙක් සිටීද?මෙවැනි ආත්ම භව ලැබීමකුත් වේදැයි සිතිනි”
මේ කතාව ඇසූ බුදුන් වහන්සේ මහණෙනි, මේ සත්වයා පෙර රජගහ නුවරම ගෝඝාතකයෙක් (ගවයින් මරන්නෙක්) විය. ඔහු ඒ කර්ම විපාකයෙන් බොහෝ අවුරුදු ගණන්, අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් නරකයෙහි පැසී ඒ කර්මයේම ඉතිරි විපාක වශයෙන් මෙබදු ආත්ම භව ලැබීමක් විදි, යනුවෙන් ඔහු ලබාගත් කර්ම දායාදය පැහැදිලි කල සේක. තවත් එබදු සිද්ධියක් ඔබේ අවධානයට යොමු කරවමි. බුදුන් වහන්සේ වෙත යොමු වූ සිද්ධිය මෙසේය.
“ඇවැත්නි, මම අහසින් යන භික්ෂුවක් දුටිමි. ඔහුගේ සිවුරත් ගිනි ඇවිලී දිලිසෙයි. පාත්‍රයත් ගිනි ගෙන ගිනිදැල් නගී. පටියත් ශරීරයත් ගිනි ඇවිලගෙන දිලිසෙන ගිනිදැල් සහිතය. ඔහු මහත් වේදනාවෙන් හඩා වැටෙයි. මේ පිළිබදව විස්තර කල බුදුන් වහන්සේ” මොහු කාශ්‍යප බුදුන්ගේ සාසනයේ පාපී දුසිල් මහණෙකි. එහි කර්ම විපාක විදිමින්මෙතෙක් ආයේ ඒ කර්මයේ ශේෂයෙන් මෙවනි ආත්ම භාවයක් ලබා දුක් විදී. ” යනුවෙන් වදාළ සේක.
සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තකයේ සදහන් මෙම සූත්‍ර දේශනා තුලින්ද ලබා උපන් හැටියට වැනෙන බබාලා ගැනම සදහන් වෙයි. අකුසල විපක වශයෙන් පමණක් නොව කුසල විපාක වශයෙන්ද සතුන්ගේ ජීවිත පුවත සකස් වන බව මෙහිදී ඔබ විසින් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු වේ.
මෙකල අප සමාජය දෙස බලන විට උපතින් ඉතා දිළිදුව මහත් දුෂ්කරතා මැද, උත්සාහයෙන් කටයුතු කරමින් දියුණුවට පත් වූ පුද්ගලයින් ඕනෑම තරම් අපට හමුවෙයි. එසේම ධන සම්පත් ඇති පවුල් වල උපත ලබා කුඩා කල විවිධ සුව පහසුකම් මැද ජීවත් වී අවසන මහත් දුකට පත් ජීවිතද අපට දැකිය හැකිය. මේ සියල්ලම පෙර කරන ලද කුසලාකුසල මතම සිදුවේ යයිද නිගමනය කල යුතු නැත. සියල්ල කර්මයෙන් සිදු වේ යැයි බුදුන් වහන්සේ දේශනා නොකල සේක. එහෙත් මනුෂ්‍යයකු හෝ දෙවියෙකු හෝ තිරිසන් සතෙකු හෝ වේවා එවන් උපතක් සදහා කුසලාකුසල කර්මයට හේතු වෙයි. කර්මය හේතුවෙන් ලබන ඵලයට අනුව ඊලග භවයේ විදීම් ස්වභාවය තීරණය වෙයි.
ඔබ මිනිසෙකු වශයෙන් මෙම භවය ලබා ගත්තේ පෙර භවයකදී ඔබ විසින්ම ක්‍රියාත්මක කරන ලද කර්මයකට හෝ කර්ම රාශියකට විපාක විදීම සදහා එවැනි කයක් ලැබිය යුතු හෙයිනි.එහෙයින්ම ඔබට එකී දුක්, සැප, වේදනා, විදීම් ලැබීමට උචිත පරිදි සුදුසු පරිදි ඔබගේ කායික ස්වරූපයන්ද ලැබී ඇත. රෝගී ශරීර මෙන්ම නිරෝගී ශරීරද, ඇස, කන, නාසාදී ඉන්ද්‍රියයන්ද, සකස්වෙයි. එපමණක් නොව ඔබගේ මව්පියන්, ඥාති මිත්‍රාදීන් පවා එම කර්ම ශක්තීන්ට අදාළ විපාක ගෙනෙන පරිසර ලක්ෂණ බවට පත්වෙයි.
මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් පැත්තක්ද වෙයි. එක් අයෙකු ඇතැම් විට තනි තනිව කර්ම විපාක විදින අතර සාමූහිකව කල ක්‍රියාවලට විපාක වශයෙන් සාමූහිකවද විපාක විදින බවයි. නොබෝ දිනකට පෙර රූපවාහිනී සේවයේ වෛද්‍ය සාකච්ඡාවක් විය. එහිදී එක් මවක් තම දරුවා ගැන සදහන් කරමින් හඩා වැටී වෛද්‍යවරයාගේ පිහිට පැතූ සැටි අසන්නට ලැබිණි. ඒ මවගේ දරුවා උපතින් දුරවලයෙක් විය. පාසල් ගියත් වර්ෂ12 කට පසුවත් දෙවන ශ්‍රේණියේ දරුවකුගේ දැනුම ලබා නැත.මුරණ්ඩුය. සියලු දෙනාටම අසුවන දෙයකින් ගසයි. වයස වැඩිවත්ම දරුවා අසල්වාසීන් පමණක් නොව මවද සපාකන්නට පෙළඹී ඇත. ඒ මව ජීවත් වන්නේ මහත් බියෙනි. දුකෙනි.
ඉදින් මේ දරුවා උපතින් ලබා ගත් මානසික හා ශාරීරික තත්වයන් මත ඔහුගේ ජීවිතයට වෙනත් දරුවනට මෙන් සැප සම්පත් අහිමිය. අම්මාට හා පවුලේ අනෙකුත් අයටද ඔහු නිසා සැනසීමක් නැත. එසේනම් එවන් දරුවෙකු ලබා ගැනීමට තරම් ඒ මවද පව්කාරියක නොවූයේදැයි සිතන්න.
මේ ලිපිය කියවන ඔබ ජීවිත කාලයටම දුක් විදින රෝගියකු විය හැකිය. හදවත් රෝගයක්, අංග විකලබාවයක්, හෝ වෙනත් දුක් ලබාදෙන ශාරීරික ආබාධිතයෙක් විය හැකිය. ඇතැම් විට උණක්,සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අතපය බිදීමක් සිදුවූයේනම් ඊට වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබිය හැකිය. එහෙත් කර්මානුරූපව ඔබට වැටහීමක් නැතත් කම්ඵල අදහා ගෙන සිත සකස් කර ගැනීම අවශ්‍යම වෙයි. තවත් අකුසල සිතිවිලි ඉපද වීමකි. ඔබේ දුක වෙනුවෙන් අනෙකුට දෝෂාරෝපණය කිරීම තවත් අකුසල සිතිවිලි ඉපැදවීමකි. ඔබේ රෝගය සුව නොවූයේ සිය වෛද්‍යවරයාට වෛර කිරීමද, යථාර්තය නොදැනීමේ ප්‍රතිඵලයක් පමණි.
මේ බුදු වදනද සැලකිල්ලට ගන්න. මහණෙනි! සංසාරය අනවරාග්‍රය. විරූප වූ දිලිදු වූ යමෙකු දුටු විට, මෙහිලා “අපත් මේ දිග් මගෙහි මෙවැනි දේ විදින ලදැයි කියා නිශ්චය කළ යුතුයි.මක් නිසාද? සංසාරය අනුවරාග්‍ර හෙයිනි. එබැවින් මිදීමට සුදුසු ය.”
අයි.ඩබ්ලිව්.ආයුපාල(විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති)