දිනුමත්… පැරදුමත්… ඔබ ළගමය..

දිනුමත්... පැරදුමත්... ඔබ ළගමය..

“දුන් දේ සුවදය” ඒ සුවද සදාකාලිකව අපගේ සිත් තුළ හමා යන්නෙම් මේ සමාජය මේ විශ්වය මල් ගොමුවකි. එහෙත් අවසානාවට ඒ යහපත් ගුණ සුවද ආඝ්‍රහණය කිරීමට තරම් මේ මනුෂ්‍ය ජීවියාට නොහැකි වී ඇත. ඒ සුවදෙහි සුවයෙන් තම සිත ප්‍රාණවත් කරගැනීමට නොහැකි තරමටම මිනිසා තුළ සාරධර්ම පිරීහී යමින් පවතී.

කෙලෙසකද අප මේ සුවද රදවා ගත හැක්කේ… පළමුව… අප හැමවිටම පුරුදු පුහුණු වී ඇත්තේ අපට යමක් ලබා ගැනීමටයි. දෙවෙනුවයි ඒ වෙනුවට යමක් දෙන්නට සිතන්නේ. ආත්මාර්ථකාමී බව හා තමා තුළ පළමුව යන සිතිවිල්ල මූලික කරගත් සමාජය තුළ ඇත්තෙන්ම මෙය සාධාරණීකරණයට ලක්කළ හැකිදැයි නොකියමි. එහෙත් අප ජීවිතයේ යමක් අප තුළ ගොසනැගී තිබිය යුතුමය. ඒ මනුසත් දහමය. එයද අද කළු නික සොයනවා වැනිය…

තමාටත් දුන් නිසා උදව්වක් කළ නිසා කරනවා යැයි සිතීම තමාට කළ උදව්වට, උපකාරයට ණය ගෙවීමක්, නැතිනම් එයට හිලව් වෙන්න යමක් කරනවා වැනි චේතනාවක් නොවේද ඔබ තුළ තිබෙන්නේ?

දැන් බලන්න ඔබ මගුල් ගෙදරකට, පිරිත් ගෙදරකට යාමට සැරසෙන විට ඔබ දෙන තෑග්ග පිළිබදව ඔබ කල්පනා කරන්නේ කොහොමද කියා. “අපිට දුන්නේ මෙහෙමයි. ඉතින් ඒකට හරියන්න අපිත් දෙන්න ඕනනේ.” යම් පමාවකින් ඔවුන් ඔබගේ මගුල් තුලාවකට පැමිණ යමක් නොදී ගියානම් ඔබ සිතන්නේ කෙසේද? එයාලත් ආවා විතරයිනේ… අපිත් ගිහින් විතරක් එමු. “මුකුත් දෙන්න ඕන නැහැනේ, අපිට දුන්නෙත් නැහැනෙ.”

මෙලෙස හිතෙන ඔබේ සිත තුළ… දුන් දෙයෙහි සුවදක් රැදේවිද?

මෙවැනි සිතිවිලි ඔබේ සිත තුළ අනිවාර්යයෙන්ම ඇතිවන බව සත්‍යයක්. ඒ බව තවමත් පෘතග්ජන භාවය තුළම සැමදා ගැලී… ගැලී… සිටීමටද?

බලාපොරොත්තුව ඉන් පුංචි හෝ පියවරක් ඉදිරියටම තබන්න. ඔබ තවමත් කල්පනා කළේ නැද්ද? ඔබ යමක් ඕනෑම කෙනෙකුට දෙනවානම් දෙන්න නම් දෙන්න. ඒ පිළිබදව පසු කුමන හෝ බලාපොරොත්තුවකින් තොරව… අඩුම ගානේ… ඔබ මෙවැනි උදව්වක් කළ බව ඒ තැනැත්තා අමතක කරනවානම් ඔබ සැබවින්ම සතුටු වනවා විනා…, ඔහු ගුණමකු පුද්ගලයකු යැයි නොසිතන්න.

ඔබ දකින දකින වාරය පාසා ඔබ, ඔහු වෙනුවෙන් මෙලෙස යමක් කළා යැයි ඒ ගැන ඒ පුද්ගලයාගෙන් ඔබ නිරන්තරම සිහි කරවීමක් බලාපොරොත්තු වනවා නම් එය වැරදිය. නුසුදුසුය. එයත් නැවත ප්‍රතිඋපකාරයක් බදුය… ඔබ ඔබවම වර්ණනා කර ගැනීමක් බදුය. එයත් ඔබගේ අභිමානය පිණිස වන ප්‍රතිලාභයක් නිසාවෙනි.

ඔබ යමක් දෙනවානම් එය දිය යුත්තේ ඔබට අකැමැති හෝ ඔබට අනවශ්‍ය යමක් නොව ඔබ වඩාත් කැමති යමක් වේද… එවැනි දෑ කිහිපයක් වේද, ඉන් එක් දෙයක් තවත් අයෙකු වෙත දීමට ඔබේ සිත තුළ කැමැත්තක් ඇති කර ගත යුතුය. පළමුව එය, ඔබට අපහසු වනු ඇත. ලෝභය හා තෘෂ්ණාව නිසා… ලෝභයෙහි ප්‍රමාණය හිතට දැනෙන තරම් දැන් ඔබට වැටහෙනවා නොවේද…

එහෙත් දිනෙන් දින මෙය පුරුදු පුහුණු කරගතහොත් ඔබගේ සිත, තදින් ඇලී ඇති දේ තුළින් ඉවත් කර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. ඔබ, ඔබගේ ජීවීතයටද තදින් ඇලී ඇත්තේ එලෙසමය. ඒ ජීවිතයට ඇති තණ්හාව නිසාය…

කොපමණ තදින් ඇලී සිටියත් දිනක මේ කය අතහැරිය යුතුමය. එහෙත් තණ්හාව නිසා… මරණයට බියෙන් අකැමැතිව ජීවිතය හැරයාමට ඇති අකැමැත්ත නිසා මරණ මොහොතද ගෙවන්නේ අසිහියෙනි. ඒ ඇයි…, සසර පුරා අප පුරුදු කර ඇත්තේ ලෝභ කම මිස… අලෝභය නොවුණු බැවිනි… ඇලීම මිස… ඉන් ගැලවීම නොවේ.

තමන්ට උවමනා නොවුණත් ඒ හැම දෙයකම ඇති තණ්හාව නිසා ගොඩගසා ගනී. විසිතුරු දෑ, ඇදුම්, පැළදුම්, යාන වාහන… එහෙත් මේ සියල්ල අධි ප්‍රමාණයෙන් නොව අවම අවශ්‍යතාවය  වෙනුවෙන් පමණක් තබා තව තවත් එක්රැස් කිරීම නවතා… වැඩිපුර ඇති දේ තවත් කෙනෙකුට දීමට අප පුහුණුව සිටියානම්, කොතරම් අගනේද? එවිට අපගේ ජීවීතය අතහැරිය යුතු මොහොතේදී පවා සිතට පීඩාවකින් තොරව එය සිදු කළ හැකි බව වැටහෙනවා නොවේද?

අප කුඩා කාලයේ සිටම හැඩගැසී ඇති ආකාරය ඔබම කල්පනා කර බලන්න. වැඩිහිටියන් ලෙස ඔබේ කුඩා දරුවන් හුරු කරවන්නේද? මෙලෙසම නොවේද? හැමවිටම ඔබේ දරුවා තවත් අයෙක් වෙනුවෙන් දෙයක් ඉල්ලූ විට ඔහුට සැර වැර කිරීමෙන් වළකින්න. හැකි සෑමවිටම ඒ සදහා සහය දෙන්න. එය ඔබේ ශක්ති මට්ටම අනුව කුඩා දරුවන් ද්වේශයෙන් හා ලෝභයෙන් තොරය… ඔවුන්ට එය හුරු කරවන්නේ වැඩිහිටියන්මය. අවසානයේ ඒ ළමා මනස හිරවන්නේ මෝහය තුළය.

සභායෝගීතාව… සමානාත්මතාව බෙදා හදා ගැනීම් වලින් ඔවුන් බොහෝ දු‍රස් වී ඇත. ඒ වැඩිහිටි ඔබගේ තණ්හාව හා ආශාවේ සීමා රහිත කමේ ප්‍රතිඵලයක් නිසාවෙනි. අවසානයේ ඒ කුඩා දරුවා වැඩිහිටියෙකු වී කරන්නේද  එයමය.

ඉතින් කවදාද… මෙය හුරු පුරුදු වන්නේ… මේ තණ්හාව අතහරින්නේ… එබැවින් හැමවිටම… පළමුව ඔබෙන් අරඹන්න… යමක් දෙන්න… ව්‍යංගයෙන් හෝ ඒ වෙනුවෙන් යමක් ලබා ගැනීමෙන්, ලාභ‍යක් ලැබීමේ වචනෙකින් හෝ හැගීමෙන් තොරව…

ඔබට යමක් දෙන්න සිතුණද… ඒ සිතූ පළමු සිතුවිල්ලේදීම එය දී අවසන් කරන්න. දෙවනුව ඇතිවන සිතිවිල්ල ඒ පළමු සිතිවිල්ලේ යහගුණය බාල කරන්නක් බැවිනි. පළමුව සිත තුළ ඇතිවන්නේ සිදු කළ යුතු යහපත්ම දේය…

ඔබ නකුල මාතා හා පියාගේ කථාව මතකදැයි සිතමි. එක් සාඨකයක් පළදමින් දෙදෙනාම දහම් අසන්නට බුදුන් වෙත වැඩි අයුරු නකුල පිතාට, එය බුදුන්වහන්සේට පුදන්නට සිතක් පහළ විය.

එහෙත් තම බිරිද සිහි විය. එබැවින් පළමු සිතිවිල්ල මදක් පමා විය. එහෙත පළමු සිතිවිල්ල ක්‍රියාත්මක කර ගැනීමට සිත අධිෂ්ඨාන කරගනිමින් “මම දිනුවා”යැයි ප්‍රීතියෙන් යුක්තව අය පූජා කළ ආකාරය සිහි කරන්න.

දැන් ඔබත් දෛනික ජීවිතය තුළ සිදු කරන බොහෝ දෑ මෙසේ නොවේදැයි සිහි කර බලන්න.

ඔබ දිනන්නේ කෙසේද… ඔබ දිනන්නට හදන්නේ තවත් කෙනෙකුගේ වස්තු සම්භාරය සමග සසදමිනි. ඒ සදහා සිත තරග කරවන්නේ දෙන්නට නොව රැස් කරගන්නටය… යහපත් ලෙසින් තිබූ ඔබේ සිත හා සිතිවිලි මොහොතකින් මොහොත දූෂණය වන්නේ ලෝභය, ද්වේශය, මෝහය සමගය.

අවසානයේ යහපත් ඔබේ සිත හා සිතිවිලි පරාජය වී ලෝභය, ද්වේශය, මෝහය ජය ගනී. එය ජයගත් බවට සාක්ෂි විද්‍යාමාන වනුයේ ඔබගේ නිවස නවීන භාණ්ඩ වලින් පිරී යන විටය.

තණ්හාව අප ජීවිතය හා බැදී පවතී. එය පීඩාවක් බව නොදැනේ. පීඩාව අපව පෙළා දමන්නේ තණ්හාව ආශාව අවම කර ගැනීමට ගන්නා උත්සාහය තුළදීය. ඒ යමකට ආශාව නැති කර ගැනීමට අපොහොසත් වීමෙන් ඇතිවන කනස්සල්ලය…

දෙනවාද… නොදෙනවාද… යන සිතිවිල්ල හරහා ඔබ දෝලනය වන වේගයේ සීමාව ඔබ සැහැල්ලුව හා පීඩාව තුළ රදවයි. යමක් දෙන්නේ කැමැත්තෙන් නම් ඔබ සැහැල්ලුවෙන් දෙන්නේ නොදී බැරිකමට නම් සිත පීඩාවකටය. වඩාත්ම ලෙහෙසි දේ කිරීමට ඔබ අකැමැතිය. ඒ ලෝභ සිත දුරු කර නොගත් නිසාවෙනි.

නොයෙක් මාදිලියේ භාණ්ඩ වලින් පිරී ගිය නිවසක් හා අවම භාණ්ඩ කිහිපයක් ඇති නිවසක් සිහි කර බලන්න. පිරිසිදු කිරීමේ පහසුව හා අඩු දුහුවිලි ප්‍රමාණයක් ඇත්තේ අවම භාණ්ඩ ප්‍රමාණයක් ඇති නිවසේය. වැඩි වෙහෙසක් ගෙන පිරිසිදු කළ යුත්තේ භාණ්ඩ වැඩි වූ නිවසේය.

අපේ සිතත් ඒ වගේමය. ලෝභයෙන් දුරස්ථ වූ විට පීඩාව නැත. පිරිසිදුය. වැඩි වූ විට විඩාබරය… ඉහත නිවාසයන් සේ…

සසර පුරා ඔබගේ සිහිනය කුමක්ද? සැහැල්ලු දිවියක්… පීඩාව, කනස්සළු බවින් තොර ජීවිතයක්… එහෙත් ඔබගේ ක්‍රියාව… චේතනාව… පැවැත්ම ඊට විරුද්ධමය. ලෞකික් ජීවිතය තුල මෙය ලේසියෙන්ම කළ හැකිය. දීමට යමක් වෙනුවෙන් සිත පළමුව හුරු කර ගත යුතුමය. ඒ සදහා කළ යුත්තේ සිත තුළ සිතිවිල්ල ඒ වෙනුවෙන් යහපත්ව දරා ගැනීම පමණි. යමක් තවත් අයෙකුට දෙනවාටත් වඩා අය මහත් අනර්ඝ ත්‍යාගයක් ඔබට ලැබුණා වැනිය… මෙසේ හුරුවන ඔබ, වෙනදා සිටි පුද්ගලයා නොවන බව ඔබටම වැටහෙනු ඇත… ඒ දුන් දේහි සුවද නිසාවෙනි.

ස්වර්ණමාලි

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn
Share on whatsapp
WhatsApp
Share on pinterest
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *